මේ වසරේ දී ත් සිය ගණන් තල්මසු නවසිලන්තයේ Farewell Spit වෙරළට ගොඩ ගසා මිය ගියහ. 2017 පෙබරවාරි 11 ඡයාරුපය
තල්මසුන් වෙරළට ගොඩ ගසා මිය යාමේ නොදන්නා හේතු නිසාවෙන් සිදුවන සිද්ධි සම්බන්ධයෙන්, පෘථිවිය දෙසට ආරෝපිත අංශු විසි කරනු ලබන සූර්ය කුණාටු වග කිව යුතු වන්නට පුළුවන් බවට මතයක් පවතී. මෙය නව උපකල්පනයක් හෙවත් උපන්‍යාසයක් නොවේ. එහෙත්, සූර්ය ලෙළසිළු සහ තල්මසුන් ව්‍යසනයට පත්වන දුක්ඛිත සිද්ධි වැනි විෂම(සමාන නොවන) බවක් පෙනී යන සිද්ධි අතර සංඛ්‍යාලේඛනමය සම්බන්ධයක් තිබේ දැයි සොයා බලනු වස් මේවා පිළිබඳ දත්ත කට්ටල (datasets) එක්කර බැලීමට ආයතන තුනක පර්යේෂකයෝ සැලසුම් කරති. නාසා ආයතනය, සාගර ශක්ති කළමනාකරණ කාර්යාංශය (Bureau of Ocean Energy Management) සහ සත්ව ශුභ සාධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල (International Fund for Animal Welfare = IFAW) මෙකී ආයතන තුනයි. එවැනි සම්බන්ධතාවක් ඇතැයි සොයා ගතහොත් එය ආපදාපන්න (endangered) තල්මසුන් විශේෂ බොහොමක් ආරක්ෂා කිරීම පිණිස උපකාරී විය හැකිවේ.

තාරීය හෝඩුවාවල්
සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයේ උච්චාවචනයන් මගින් ආරෝපිත අංශු ධාරාවක ස්වරූපයෙන් අති දැවැන්ත ශක්ති සම්භාරයක් ගබඩා කර මුදා හරින විට සූර්ය සිද්ධියක් ආරම්භ වේ. එවිට විද්‍යුත් චුම්බක ක‍්‍රියාකාරීත්වයේ ක්ෂණික ගලායාම්, චන්ද්‍රිකාවල කි‍්‍රයාකාරීත්වයට බාධා ඇති කිරීමට, පෘථිවිය මත විදුලිබල ජාලක අවහිරවීම කිරීමට මෙන්ම අභ්‍යවකාශගාමීන්ගේ සෞඛ්‍යයට අවදානමක් එක් කිරීමට ද හේතු විය හැකිය. සූර්ය ලෙළසිළු පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍ර ද විපරිවර්තනය කරයි. පෘථිවි ග‍්‍රහයා වටා ඇති භූ චුම්බක සමෝච්චයන් හි වින්‍යාසය තාවකාලිකව වෙනස් කරයි.
ලොව වටා සරන්නන් හෙවත් ගෝලීය සංචාරකයන් අතුරෙන් වීශාලතමයන් තල්මසුන්ය. වාරිකව සිදු කෙරෙන බිජු දැමීම් (අණ්ඩපාතනය) සහ පෝෂණ ස්ථාන කරා යාමට ඔවුහු මුහුදු මාවත් ඔස්සේ ගමන් කරති. සැතපුම් දහසකටත් වඩා බෙහෙවින් වැඩි මේ චාරිකාවල දී ඔවුන් ගමන් මග සොයා ගන්නේ කෙසේද යන්න තවමත් අභිරහසක්ව පැවතියත් එක් ජනප‍්‍රිය මතයකින් කියැවෙන්නේ තල්මසුන් ගමන් මග හසුරුවා ගන්නේ චුම්බක ප‍්‍රතිග‍්‍රහණයෙන් (magneto reception) බවයි. සිය ගමනාන්තය දක්වා යාමේ දී ඔවුනට මග බලා ගැනීම පිණිස පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍ර රේඛා අනාවරණය කර ගන්නා බව ඉන් අදහස් කෙරේ.
සලකුණු කිසිවක් නොමැති, පාළු මහ සයුරේ සැතපුම් දහස් ගණන් ගමන් යද්දී එවැනි හැකියාවන් බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. එහෙත් එයට සූර්ය කුණාටු මගින් වාරික ව ඇතිවන අවහිරවීම් වලට ඔවුන් පාත‍්‍රවීමට ඉඩ ඇතිවිය හැකියි. තල්මසුන් අතරමං වීම් ගැන ඉතිහාසය පුරාතන ග‍්‍රීසිය දක්වා දිවෙන නමුත් එසේ වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමේ දී ජෛවී විද්‍යාඥයෝ තවමත් අසීරුතා වලට මුහුණ පාති. තල්මසුන් අසනීපයට හෝ අනතුරට පත්වනවා විය හැකියි; විලෝපීයන්ගෙන් බේරීමට පළා යනවා හෝ ගොදුරු හඹා යනවා විය හැකිය; සමහර විට මුහුදු පත්ල අනුක‍්‍රමණය නිසා සෝනාරය පරාවර්තනය නොවීමෙන් මුහුදු වෙරළ ආසන්න වීම තල්මසුන්ට නොපෙනී යනවා ද විය හැකියි; මිලිටරි සෝනාර අභ්‍යාස සහ ජලය යට සිදුවන පිපිරීම් තල්මසුන්ගේ ශ‍්‍රවන හැකියාවට හානි පැමිණීමෙන් ගමන් මග හසුරුවා ගැනීමේ හැකියාව අවහිර කරනවා ද විය හැකියි.
මේ සියල්ලට පිළිතුර කුමක් වුවත් ‘තල්මසුන් ගොඩ ගසන සිද්ධීන් පැහැදිලි කිරීමට එක් තනි සිද්ධාන්තයකට බැහැ’ යනුවෙන් පවසන්නේ නාසා ආයතනයේ සූර්ය භෞතික විද්‍යාඥයෙකු වන ඈන්ට්ටි පුල්ක්කිනන්ය. ඔහු ව්‍යාපෘතියට සම්බන්ධ වූවෙකි. ජර්මනියේ පර්යේෂකයන් පිරිසක් 2009 දී මෙවන් අධ්‍යයනයක් සිදු කළහ. එහිදී අවධානය යොමු කෙරුණේ උතුරු මුහුදේ සිදුවන (තෙල් හා මේද වෙනුවෙන් දඩයම් කරනා) යෝධ තල්මසුන් ගොඩගැසීම් කෙරෙහිය. මෙකී වෙරළට ගොඩ ගැසීම් සහ සූර්ය ලෙළසිළු අතර සහසම්බන්ධනයක් අධ්‍යයනයේ දී සොයා ගැනීමට හැකි විය. පුල්ක්කිනන් සහ සගයන් අපේක්ෂා කරන්නේ ලොව පුරා සියළුම තල්මසු විශේෂයන් ඇතුළත් වනසේ මේ ක‍්‍රමවේදය ව්‍යාප්ත කිරීමටය.

තල්මසුන් ගොඩ ගැසීම සහ සූර්ය ලෙළසිළු යන දෙකටම අදාළව දශක ගණනාවක් ආපස්සට බලපාන අන්දමට දත්ත කට්ටල සකස් කිරීමට පුල්ක්කිනන් ඇතුළු පිරිස ක‍්‍රියා කරති. දෙක අතර යම් සම්බන්ධයක් ඇත්දැයි පිරීක්සීම පිණිස සංඛ්‍යාලේඛනමය ක‍්‍රම යොදා සොයා බලනු ඇත. දැනටමත් දත්ත බොහොමයක් එක් රැස් කරගෙන ඇති බවත් දැන් ඇත්තේ ඒවා සැකසීමේ අසීරු කාර්ය බවත් පවසන පුල්ක්කිනන් කියා සිටින්නේ සැප්තැම්බර් මාසය වනවිට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි. තල්මසුන් ගොඩ ගැසීම සහ සූර්ය ලෙළසිළු අතර සහසම්බන්ධනයක් හරියාකාරව සොයා ගනු ලැබුවොත් ආපදාපන්න තල්මසු විශේෂ රැක ගැනීම සඳහා සටනක යෙදී සිටින සංරක්ෂණවාදීන්ට එය උපකාරයක් විය හැකිය. වෙරළට ගොඩගැසීමේ ඇතැම් සිද්ධි ස්වභාවිකව සිදුවුවත් මානව ක‍්‍රියාකාරකම් නිසා විනාශ මුඛය අභියසට පැමිණ සිටින තල්මසු ගහණයන්ට එය හානිකර විය හැකිවේ. සහසම්බන්ධය සනාථ කරගත හැකිවුවොත් සූර්ය ලෙළසිළු ගැන කල් ඇතිව දැනුම් දීමෙන් සංරක්ෂණවේදීන්ට මේ සතුන්ට උපකාරවීමේ අවස්ථාව වැඩිවෙතැයි සැලකේ.
DISCOVER Magazine හි පල වූ Solar Flares May Lead Whales to Peril යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න