වසර දහස් ගණන් නොනැසි පවතින ප්ලාස්ටික් කැබලි ටි‍්‍රලියන ගණනක්  සාගර මත පාවෙන්නේ මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි  පමුණවමින් හෝ  පක්ෂීන් හා මත්ස්‍යයන් වනසමින් හෝ පමණක් නොව ගෝලීය උණුසුම් වීමට පවා දායක වීමේ හැකියාව ඉස්මතු කරමිනි. (බහුලව දක්නට ලැබෙන) බෝතල් සහ බෑග් වශයෙන් ද, අලංකාරය සඳහා යොදා ගන්නා ඉතා කුඩා පබළු වශයෙන් පමණක් නොව අප ඇවිදින විට අපගේ පාවහන්වලින් කුඩා ශේෂ ලෙස ගෙවී ගැලවී යන සියුම් කොටස් ආදී වශයෙන් නොයෙක් ආකාර වලින් ප්ලාස්ටික් අති විශාල ප‍්‍රමාණයක් දිය පහරවල්, ගංගා ඇල දොළ ආදිය දිගේ මහ මුහුදට ඇදී යයි. විද්‍යාඥයන් ගණන් බලා ඇති අන්දමට ප්ලාස්ටික් අංශු ටි‍්‍රලියන 5 කට වැඩි ප‍්‍රමාණයක් ලොව පුරා සාගර මත පාවෙමින් පවතී. ඒ, 1950 ගණන් වල මහා පරිමාණයෙන් ප්ලාස්ටික් නිපදවීම ඇරඹූ දා සිට ඒක රාශී වූ තොගයි.

‘‘සයුරු මතුපිට දී (පෘෂ්ඨයෙහි) සිදුවන කාබන් ඩයොක්සයිඞ්(carbon dioxide CO2)    හුවමාරුව මත සිදුවිය හැකි බලපෑම (මේ මහා ප්ලාස්ටික් තොගය මගින් ඇතිවීමට ඉඩ තිබෙන)  අප විසින් සොයා බලනු ලබන බලපෑම් අතරින් එකක් ’’ යයි ඉතාලියේ     සියෙනා සරසවියේ, ආචාර්ය  ලූවිසා ගල්ගානි පවසයි, ‘‘මෙතෙක් අප දැන සිටි කාරණාවක් වූයේ සාගර මගින් කාබන් ඩයොක්සයිඞ් උරා ගනු ලබන බවයි. ඒත් ඉතින් මේ නව ක්ෂුද්‍ර ප්ලාස්ටික් ද්‍රව්‍ය ස්තරයකින් සාගර මතුපිට වැසී ගොස් කාබන් ඩයොක්සයිඞ් උරා ගැනීම කෙරෙහි බලපෑමක්  කළොත් කුමක් සිදුවේ ද?’’

dscn1730

ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට ගන්නා කුඩා ගුළි(nurdles) මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල කුඩා කොටස් ද ඇඳුම් පැළඳුම්වල හා කුඩා පබළු ද  කෘතිම කෙඳි ද ආදිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලට ඇතුලත්ය. යුරෝපා සංගමයේ ආධාර ලබන POSEIDOMM පර්යේෂණ  ව්‍යාපෘතියේ ප‍්‍රධානත්වය දරන්නේ ආචාර්ය  ගල්ගානි ය. සාගර මතුපිට මිලි මීටර් කිහිපයක් තරම් ප‍්‍රමාණයක පාවෙන ටි‍්‍රලියන ගණන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වලින් ඇති කරන බලපෑම ගැන මෙම ව්‍යාපෘතිය මගින් සොයා බැලේ. ක්ෂුද්‍ර ප්ලාස්ටික්, බැක්ටීරියා සහ ඇල්ගී අතර අන්තර් ක‍්‍රියාකාරීත්වය මෙන්ම (සාගර) මතුපිට ක්ෂුද්‍ර ස්තරයෙහි ඇති ප්ලාස්ටික් මත ක්ෂුද්‍ර ජීවී ගණාවාස පිහිටු වන්නේ කෙසේද යන්න ගැන ද මෙහි දී පර්යේෂකයෝ සොයා බලති. මෙය ඉතා වැදගත් කාරණාවක් වන්නේ ජලය සහ වායුගෝලය අතර  සම්බන්ධනය හෙවත් යාකරණය(interface) ලෙස ක‍්‍රියා කරන්නේ මෙකී ස්තරය නිසයි.

‘‘මතුපිට සිදුවන අන්තර් ක‍්‍රියාකාරකම් ගැන සොයා බැලීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ සාගර මත පිහිටි මෙම වටිනා පරිසර පද්ධතියෙහි ක‍්‍රියාකාරීත්වය මේවා මගින් කෙලෙස වෙනස් වන්නේ ද යන්න සොයා ගැනීමටයි’’ යනුවෙන් කියා සිටින්නේ සියානා සරසවියේ මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබන මහාචාර්ය ස්ටීවන් ලූවීසෙල්ය. මෙහි ම තවත් වැදගත් කාරණාවක් වන්නේ ප්ලාස්ටික් ක්ෂුද්‍ර කොටස් සාගර ජීවීන් විසින් අධිග‍්‍රහණය(ingest) කරනු ලැබීමෙන් අනතුරුව සෙමින් ආහාර දාමයට එකතු වී මිනිසුන්ගේ සිරුර තුළට පැමිණීමෙන් සෞඛ්‍ය ප‍්‍රශ්න වලට හේතු භූත වීමයි.

‘‘ඒවාට මට්ටි(mussel), බෙල්ලන් හෝ මිනිසුන්ගේ ශරීරය ඔස්සේ යාමට පරිවහනය වීමට හැකිවෙනවා’’ නෙදර්ලන්තයේ  ඇම්ස්ටර්ඩෑම් VU සරසවියේ පරිසර අධ්‍යාපන ආයතනයේ සේවය කරන ආචාර්ය හීදර් ලෙස්ලි පෙන්වා දෙයි.

bloodbrainbarriersmall

රුධිර-මොළ සිමා බාධකය

ප්ලාස්ටික් අංශු ප‍්‍රමාණයෙන් මයික්‍රොමීටර 0.1 ට වඩා කුඩා වූ විට ඒවා හඳුන්වනු ලබන්නේ නැනෝ ප්ලාස්ටික් ලෙසය. ඒවා කොපමණ කුඩා ද කීවොත් අපේ රුධිර ධාරාවට ඇතුල්වීමට පමණක් නොව රුධිර-මොළ බාධකය හරහා ගමන් කිරීමට පවා පුළුවන. ඒවා ශරීරය හරහා ගමන් කිරීමේදී ප‍්‍රදාහයන් හෝ ප‍්‍රතිශක්ති පද්ධතිය  අධික‍්‍රියාකාරී තත්ත්වයට පත් වූ විට අර්බුද(tumours) පවා ආදී විවිධ ප‍්‍රශ්නවලට හේතු විය හැකියි.

‘බැක්ටීරිමයක් වැනි පිටතින් පැමිණෙන අංශුවකට පහර දී එය ඉවත් කිරීමට සාමාන්‍යයෙන් ප‍්‍රතිශක්ති පද්ධති සෛලයකට හැකියි. එහෙත් ප්ලාස්ටික් කෙතරම් මුරණ්ඩු ද කීවොත් ඒවාට අපේ එන්සයිමවල ප‍්‍රහාරයන් විඳ දරා ගත හැකියි’ යි ආචාර්ය ලෙස්ලි වැඩි දුරටත් පවසයි. සාගරික පරිසරයන් තුළ නැනෝ ප්ලාස්ටික් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගැන අධ්‍යයනය කොට එම ගැටළුවට පිළියම් සෙවීම පිණිස වූ Clean Sea project (පිරිසිදු මුහුදු ව්‍යාපෘතිය) යෙහි සම්බන්ධිකාරක වන්නේ ආචාර්ය ලෙස්ලිය. ඊට අරමුදල් සපයනු ලබන්නේ යුරෝපා සංගමය මගිනි.

රුව අලංකාරයට යොදා ගන්නා ප්ලාස්ටික්, ක්ෂුද්‍ර පබළු, නෑමේදී ඇඟ ඉලීමට ගන්නා ද්‍රව්‍ය ආදිය තහනම් කිරීමට බි‍්‍රතාන්‍ය සහ නෙදර්ලන්තය ගන්නා පියවර මගින් බලපෑමක් ඇති කළ හැකි බව ඇය විශ්වාස කරන අතර කළ යුතු දේ තව බොහෝ ඇතැයි කියා සිටියි. එමෙන්ම, දුෂණය වූ පසු සුද්ධ පවිත‍්‍ර කිරීමේ ව්‍යායාමයන්හි යෙදෙනවාට වඩා දූෂණය වළක්වා ගැනීමේ පියවර උපරිමයට ගෙන ඒමේ අවශ්‍යතාව ආචාර්ය ලෙස්ලි අවධාරණය කරයි. ‘‘ කෘතිම සපත්තු අඩි දාගෙන ඇවිදින විටත් ප්ලාස්ටික් ඉතා සියුම්  කැබලි පරිසරයට එක්වෙනවා. ඉතින් එය නතර කරගත හැක්කේ සපත්තු සැලසුම් කරන විටයි. මේ කාරණාව තමයි සැලකිල්ලට ගත යුත්තේ’’ ඇය කියා සිටින්නීය.

UNIVERSITY OF CAMBRIDGE Naked Scientists හි පළවූ  Plastic tsunami threatens human health, biodiversity and the climate යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending