ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර මහා කුණු කසළ කන්දක් නායයාමේ මහා ඛේදවාචකයක් මාර්තු 11 දා වාර්තා විය. මෙහිදී අඩු තරමින් පුද්ලයන් 115ක් වත් මිය යන්නට ඇතැයි ද තවත් පිරිසක් අතුරුදන් වී යයිද සිද්ධියට පසු වාර්තා විය. ඇමරිකාවේ භූභෞතික සංගමයේ නාය යාම් බ්ලොගය දක්වන අන්දමට මෙය ලෝකයේ මේ අන්දමේ ප‍්‍රථම සිද්ධිය නොවුණ ද වසර ගණනාවකින් වාර්තා වූ වඩාත්ම දරුණු මේ අන්දමේ ඛේදවාචක වෙයි.
“කුණු කසළ කඳු නාය යාම කොහොමටත් බොහොම ගොරතර අප‍්‍රසන්න සිදුවීම් තමයි” බ්ලොග් රචකයෙකු හා එක්සත් රාජධානියේ ෂෙපීල්ඞ් සරසවියේ භූ විද්‍යාඥයෙකු වන ඬේව් පෙට්ලි කියා සිටියි, “පණ පිටින් වැළෙලනවා කියන්නේ බොහෝ දෙනෙකුට අතිශය බිය දනවන කාරණාවක්. විශේෂයෙන්ම, කුණු කසළ ගොඩකට යට වී යනවා කියන්නේ අතිශය අප‍්‍රසන්න කාර්යයක් කසළ බොහෝ විට විෂ වායු විමෝචනය කරනවා. ඉන් අදහස් වන්නේ, කුණු කසළ ගොඩකට යට වූ තැනැත්තෙකු සහන සේවා අපේක්ෂාවෙන් ඉන්නා අතරේ වුවත් විෂ වායු ආඝ‍්‍රාණයෙන් මිය යා හැකි බවයි. එපමණක් ද නොව කුණු කසළ තාපය ද ජනනය කරනවා. එහි තේරුම නම් එවැනි අන්තරාවකට බිළි වූ අය හයිපතර්මියාව (hyperthermia) හෙවත් අධික ශාරිරික උෂ්ණය හේතුවෙන් මිය යා හැකියි. කලාතුරකින් හෝ කසළ ගිනි ගැනීමට පවා පුළුවන්” නායයාමේ සංසිද්ධිය ගැන සියස් බ්ලොගයෙන් 2008 දී කරුණු දක්වමින් පෙට්ලි පෙන්වා දෙයි.


මරු ගෙන එන කුණු කසළ
පෙට්ලි සිය 2008 බ්ලොග් පෝස්ටුව ඉදිරිපත් කළේ ගෝතමාලා නගරයේ සිදු වූ කුණු කසල නාය යාමකට ප‍්‍රතිචාර දක්වමිනි. භයානක බව ගතහොත් එම සිද්ධියේ ද අඩිස් අබාබා සිද්ධියට සමාන කමක් දක්වයි: එනම්, ස්ථාවර භාවය පිළිබඳ කිසිම තැකීමක් නොමැතිව ගොඩ ගසන ලද කුණු කන්දකින්, තම ජීවිතය ගැට ගසා ගැනීම පිණිස ප‍්‍රතිව්‍යුහකරණයකිරීම සඳහා දේ සොයා ඇද ඉවත් කරන කසළ ශෝධක කණ්ඩායම් හෙවත් පිරිස් අතින් සිදුවන හානිය.

Africa Review හි දක්වා ඇති අන්දමට ස්ථානයේ සිදු කෙරෙන ඉදිකිරීම් හේතුවෙන් කෝෂේ(Koshe) නමින් හඳුන්වනු ලබන අඩිස් අබාබා කුණු කන්ද අස්ථාවර වීමට තවත් අතිරේක හේතුවක් වන්නට ඇත. මෙම ප‍්‍රවෘත්ති සේවයට ප‍්‍රදේශවාසීන් කියා සිටියේ, ජීව වායු කම්හලක් ඉදිකරමින් සිටින සේවකයන් බුල්ඩෝසර් යොදා ගනිමින් කන්ද හාරන බවයි. බාගදා නාය යාමට මුල පිරෙන්න ඇත්තේ මෙයින් විය හැකියි. මේ ගැන නිල පරික්ෂණයක් අරබා ඇත.
ප‍්‍රවෘත්ති ඒජන්සි මගින් නිකුත් කරන ලද ඡායාරූප පදනම් කර ගනිමින් පෙට්ලි කියා සිටින්නේ කෝෂේ නායයාම හුදු අධිප‍්‍රපාතාකාර කළ බෑවුමක සරල බිඳ වැටීමක් බවයි. ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමික්ණය අනුව ඕනෑම නායයාමකට හේතුව වන්නේ අධි ප‍්‍රපාතාකාර බෑවුමක් ගුරුත්වය මගින් පහළට ඇද ගැනීමයි.
ඛේදවාචකයේ හේතු සාධක
කුණු කසල කඳු නාය යාම්, සංවර්ධනය වන රටවල සැලකිය යුතු ගැටලූවකි. එහෙත් මෙය විද්‍යාඥයන් විසින් පුළුල්ව අධ්‍යනය කරනු ලැබ නොමැති ගැටලූවක් බවද පෙට්ලි පෙන්වා දෙයි. රැඳවුම් බැම්මක් නාන්මඩොල් නමැති නිවර්තන ටයිපුනය සමග ආ වැස්සේ බලපෑමෙන් කඩා වැටී 2011 වර්ෂයේදී පිලිපීනයේ නිවාස 20ක් වැළලී ගියේය. ඊට පෙර කි‍්‍ර.ව. 2000 දී පයටාස් නමින් හඳුන්වනු ලැබූ කුණු කසළ නායයාම මගින් අඩුම තරමින් පුද්ගලයින් 200කගේ ජිවිත වැනසී ගිය අතර මුඩුක්කු නගරයක් අඩි 33ක් පමණ ඝන කුණුකසළ ගොඩකින් වැසි ගියේය. ඒ ගැන කෙරුණු විශ්ලේෂණයක් පෙන්වා දෙන අන්දමට කුණු කසළ ගොඩෙන් පිට වූ වායු මගින් ගිනි ගණනාවක් ඇතිවුයේ සහන සේවා කටයුතුවලට ද බාධා පමුණුවමිනි.

භූමිය වේවා කුණු කසළ වේවා අස්ථාවර, අධි ප‍්‍රපාතාකර බෑවුම් නායයාම් අවදානමක් සහිත සාධකයකි. එහෙත් කසළ නාය යාම් සුවිශේෂීව අන්තරාකාර වන්නේ මීතේන් හා අනෙකුත් වියෝජනීය වායු නිසාවෙන් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කි‍්‍ර.ව. 2005 දී ඉන්දුනීසියාවේ ජාවාහි එක්තරා කසළ නාය යාමකින් 143ක් මිය ගිය අතර එමගින් මෙවැනි අන්තරායන් මනාව පිළිබිඹු කෙරින. එම ඛේදවාචකය ගැන සිදු කළ එක් අධ්‍යයනයකට අනුව එම කුණු කසළ කන්දෙහි ඉදිරි පස බෑවුම 100%ක් පමණ විය. ඒ කියන්නේ මූලිකව සිරස් හෝ ඍජුකෝණික වේ. මහ වැසි සමග කසල ගොඩ තුළ ඇති වූ මීතේන් පිපිරීම් හේතු කොටගෙන කසළ කන්ද අස්ථාවර වී ඇත. මෙහි තවත් විශේෂත්වයක් ද විය. කසළ ගොඩ තුළ තිබූ ප්ලාස්ටික් බෑග් මගින් කසල කන්දට අඩු ඝර්ෂණ සංගුණකයක්(friction coefficient) සැපයින. මෙහි තේරුම එම ප්ලාස්ටික් ද්‍රව්‍ය නායයාමට විශේෂ ලිස්සන සුළු ගතියක් ලබා දුන් බවයි. මේ අස්ථායීකරන සාධකවලටම කසළ කන්ද පාමුල කසළ එකතු කරන ජනතාවක් සිටීම යන සාධකයත් එක්වීමෙන් එය විශාල ජීවිත හානියකට මග පෑදු බව අධ්‍යයනය දක්වයි.

මෙවැනි, ජීවිත විශාල ගණනාවක් බිලිගන්නා නායයාම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙතත් ප‍්‍රමාණයෙන් කුඩා, එතරම් දරුණු නොවන කුණුකසළ නායයාම් සුලබ වනවා පමණක් නොව ඒවා ගැන වාර්තා නොවන බවද පෙට්ලි පෙන්වා දෙයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න