මිනිසුන් ඇසුරේ සිටීමට ඇත්තටම බළලූන් මනාපයක් දක්වන්නේද? එහෙම නැතිනම්, බිළාල පවුලේ මේ කම්මැලි සතාට අවශ්‍ය තමන්ම දඩයමක් කර ආහාරවේල සොයා ගන්නවාට වඩා මිනිසුන් හා ගැවසී පහසුවෙන් තුන්වේල සොයා ගැනීමද? කෙසේ වෙතත් නව අධ්‍යයනයකින් කියැවෙන්නේ කලින් සැක කලාක් මෙන් නොව පූසන්ට මිනිස් ඇසුර වඩාත් වැදගත් වන බවයි. (මේ කියමන ඇතැම් විට විවාද සම්පන්න විය හැකියි. මන්ද,  සුරතලේට පූසන් ඇති කරන අය කවදත් සිතා සිටියේ තම හුරතලා මිනිස් සමාගමය බෙහෙවින් අගේ කරන බවයි. හැබැයි ඉතින් විද්‍යාඥයන් නිගමනවලට එන්නේ හිතූ මනාපයට නොව සාක්ෂි පදනම් කරගෙන බව අපි දන්නෙමු)

Related image

 

සුනඛයන් මිනිස් සමාගමය පතන බවත් ඒ ඇසුරෙන් ආස්වාදයක් විඳින බවත් එමෙන්ම මිනිසුන්ගේ අවධානය බලාපොරොත්තුවන බවත් පොදුවේ පිළිගෙන ඇත්තකි. එහෙත් බිළාලයන් (felines) සම්බන්ධයෙන් එවැනි පොදු පිළිගැනීමක් නොවිය. ගෙදර දොරේ හැදී වැඩෙන සතුන්  දෙදෙනෙකු වුවත් බල්ලන් තරම් බළලුන් ගැන අප එතරම් සොයා බැලීමක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නැත. මුල්ලකට වී නිදාගෙන වැඩිවේලාවක් ගෙවා  ගැනීමට මනාපයක් දැක්වූවත් පූසන් එතරම් හිතවත් ගති නැති  සංවේදී බවක් නොදක්වන විශේෂයක් හැටියටයි සාමාන්‍යයෙන් ප‍්‍රසිද්ධියක් උසුළන්නේ. විශේෂයෙන්ම, සුනඛ ලෝලීන් අතර මේ මතය වඩාත් තහවුරු වී ඇත. මිනිසුන්ගෙන්  හොඳක් අහන්න,  මිනිසුන්ගෙන් ආදරය කරුණාව  ලබා ගන්න සුනඛයෝ තරම් පූසන් උනන්දුවක් නැති බව තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ.

කෙසේ වෙතත් පර්යේෂකයන් පිරිසක් ආහාර, සෙල්ලම් බඩු හා මිනිසුන් සමග සමාජ අන්තර් කි‍්‍රයාවන් යන කාරනා තුනට  පූසන්ගේ  ඇති කැමැත්ත පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ අනෙක් සියල්ලටම ඔව් ආහාරවලටත් වඩා ඔවුන් මිනිසුන්ගේ අවධානය ආපේක්ෂා කරන බවයි. වෙනත් වචනවලින් කියවනවා නම් පූසන් ද අප වගේමය; අප මෙන්ම මිනිස් සමාගමය පතති.

මේ නව අධ්‍යයනයකට මුල  පිරිය් ඔරිගන් විශ්වවිද්‍යාලයේ මිනිස්-සත්ව අන්තර්කි‍්‍රයා පර්යේෂණාගාරයේදී ය. මෙයට  පෙර සිදු කරන ලද පර්යේෂණවලදී ආහාර, දෘෂ්ටිමය උත්තේජන සහ ගන්ධය ගැන සොයා බැලූණු අතර ඒවා සතුන්ගේ චර්යාවන් කෙරෙහි කෙබදු අන්දමට බලපාන්නේ දැයි තක්සේරු කෙරිණ. එහෙත් පූසන් චර්යාමය වශයෙන්  මිනිසුන් සමග අන්තර් කි‍්‍රයා කිරීම බිළාලයන්ගේ ජීවිතයෙහි ගුණාත්මක බවට කෙබදු අන්දමින් බලපාන්නේ ද යන්න ප‍්‍රථමවරට සොයා බැලූනේ මේ නව අධ්‍යයනය මගිනි.

පර්යේෂණය සඳහා  වයස අවුරුදු 1 සිට 20 දක්වා  බළලූන් යොදා ගත්හ. මේ අනුව නිදැල්ලේ හැසිරෙන බළලූන් 19 දෙනෙකුත් සහ අයිතිකරුවන් සමග වසන බළලූන් 19 දෙනෙකුත් යොදාගෙන සිදු කල පර්යේෂණයක ප්‍රතිඵල  එක්රැස් කර ගැනිණ. පරීක්ෂණයට පැය දෙකහමාරකට පෙර බළලූන් සමාජ අන්තර් කි‍්‍රයාවලින් සහ ආහාරවලින් ඈත් කොට තබන ලදී. ඉන් අනතුරුව මේ පූසන් වෙන වෙනම සැසිවාරවලදී එකිනෙකට වෙනස් උත්තේජනවලට යොමු කෙරිණ.

 

 

එක් සැසියකදී පුද්ගලයෙකු පූසන්ට හඬනගා කතාකරමින් ද සුරතල් කරමින්ද සෙල්ලම් කිරීමට ද අවස්ථාව ලබා දුන්නේය. තවත් සැසියකදී ආහාර කෘතිම මීයෙකු (සෙල්ලම් බඩුවක්) හෝ කුප්පමේනියා, වෙනත් පූසෙකු හෝ සුරතලේට ඇතිකරන කාන්තාර මීයෙකුගේ සුවඳ සහිත රෙද්දක් පූසන්ට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසින.

මෙම සැසිවාරවලදී පර්යේෂකයන් විසින් පූසන් කොපමණ මට්ටමක යොමුවීමක  යෙදුනේද එමෙන්ම විවිධ කාර්යයන් සඳහා කොපමණ වේලාවක් ගත කරනු ලැබුවේද යන්න ගැන සොයා බලන ලදී. කෙසේ වෙතත්, අවසන් පරීක්ෂණයේදී උත්තේජක සියල්ල බළලූන්ට එකවර සපයන ලද අතර ඉන් වඩාත් කැමැත්තක් දක්වන ලද්දේ කුමකට දැයි පර්යේෂකයෝ සොයා බැලූහ.

සමස්තයක් වශයෙන්  ගත් කල නිදැල්ලේ හැසිරෙන පූසන් සහ අයිතිකරුවන් සමග වසන පූසන් අතර සැලකිය යුතු චර්යාමය වෙනස්කමක් දක්නට ලැබුණේ නැත. සුවඳ රැගත් රෙද්ද එක් පූසෙකුගේ සිත් ගත්තේය. හතර දෙනෙකු මුලින්ම ඇදී ගියේ සෙල්ලම් බඩු වෙතය. ඒ අතර 14 දෙනෙකුගේ වැඩිම ආකර්ෂණය තිබුනේ ආහාරවලටය. එහෙත් පූසන් 19 දෙනෙක් ඒ කියන්නේ පර්යේෂණයට ලක් වූවන්ගෙන් 50% ක් අනික් සියලූ උත්තේජනයන්ට වඩා මනාපයක් දැක්වූයේ මිනිස් සමාගමටය.  අවසන් සැසි වාරයෙන් 60%ක කාලයක් ඔවුහු මිනිසුන් ඇසුරේ ගත කළහ.

‘බළලූන් සමාජ අන්තර් කි‍්‍රයාකාරිත්වයට වඩා හුදකලාව අගයන බවක් බොහෝ විට කල්පනා කෙරුණත් මේ අධ්‍යයනයේ දත්ත මගින් කියැවුනේ ඊට හාත්පසින් වෙනස් දෙයක්’ යයි අධ්‍යයනයේ කතුවරුන පළකර සිටිති. අනෙකුත් කි‍්‍රයාකාරකම් හා සමානව මිනිසුන්ගේ ආදරය පතන අවස්ථාවල පවා ඒ ඒ තනි තනි චර්යාවන් පරාසයක්ම පෙන්නුම් කෙරිණ. මෙයින් හැඟවෙන්නේ ජීවන අත්දැකීම් මෙන්ම ජීව විද්‍යාත්මක පූර්ව නැඹුරුවීම්  පූසන්ගේ සමාජ අන්තර්  කි‍්‍රයාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත් බවය යි  කර්තෘවරු දැක්වූහ. ඇතැම් බළල් ගහණයන් සමාජ අන්තර් කි‍්‍රයාකාරකම්වලට වැඩි කැමැත්තක් ප‍්‍රකාශ කිරීමට ඉඩ ඇති බව ඔවුහු අදහස් කරති.

මෙකී  සොයා ගැනීම් ගැන 2017 මාර්තු මස Behavioral Processes සඟරාවෙහි වාර්තාවක පළ විය.

Live Science හි පළවූ  Friendly Felines: Cats Like People (Really!), Study Says යන ලිපය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending