වාමන ග‍්‍රහයෙකුවීමට අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කර ඇති නමුත් මේ අයිස්මය කුඩා ගෝලය තවමත් නිල වශයෙන් එම තත්ත්වය හිමිකරගෙන නැත.

ප්ලූටෝට ග‍්‍රහ තත්ත්වය අහිමි වුණේ දැනට වසර දහයකට පෙර 2006 අගෝස්තුවේදීය. ඒත් විද්‍යාඥයෝ ප්ලූටෝට අත්වූ ඉරණම ගැන තවමත් වාද විවාද පවත්වති.  අපේ මේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ කලක් නව වැනි ග‍්‍රහයා ලෙස සිටි ප්ලූටෝට 2006 දී ග‍්‍රහ තත්ත්වය අහිමි වුණත් ඒ වෙනුවට වෙනත් පට්ටමක් හිමි විය. ඒ වාමන ග‍්‍රහ (Dwarf Planet ) තත්ත්වයයි.  මේ සමගම චරෝන්, සෙරස් සහ අයිරීස් යන වස්තුන්ද වාමන ග‍්‍රහයන් බවට පත්විය. මෙහිදී සිදුවූයේ අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමය ‘ග‍්‍රහයා’  (Planet ) යන්න අර්ථ විග‍්‍රහ කරමින් ඊට නිර්නායක ඉදිරිපත් කිරීමයි. ඒ අනුවයි ප්ලූටෝ ග‍්‍රහයෙක් නොවන බව තීරණය වූයේ. මෙම සංගමය 2006 දීම වාමන ග‍්‍රහයා යනු කුමක්දැයි විග‍්‍රහ කරමින් ද යම් නිර්ණායක පැනවීය.

සූර්යයා වටා කක්ක්ෂයක ගමන් කරන්නා වූ ද බාහිර දෘඪ වස්තු බලපෑම මැඩ පැවැත්විය හැකි ගුරුත්වා කර්ෂණ බලයක් ලබාදීමට ප‍්‍රමාණවත් ස්කන්ධයක් සහිත වූ ද එවැනි ස්කන්ධයක් තිබීම හේතුවෙන් ගෝලාකාර ස්වරූපයක් දරන්නා වූ ද තම කක්ෂයේ මග දෙපස හෙවත් සමීපයේ වෙනත් වස්තු පැවතීමට ඉඩ දෙන වස්තුවක් ලෙස වාමන ග‍්‍රහයා අර්ථ නිර්ණය කෙරේ.

වසරක් දහයක් තිස්සේ ප්ලූටෝ ගැන වාද විවාද කරමින් සිටින අතර වාරයේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ තවත් වාමන ග‍්‍රහයන් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. සෙඩිනා, මකෙමකේ සහ අයිරිස් යන වාමන ග‍්‍රහයන් හඳුනා ගනු ලැබුවේ වැඩි ඈතක නොව පසුගිය දශකයේදීය. වාමන ග‍්‍රහ තත්ත්වයට අලුතෙන්ම උරුම කම් කියන ග‍්‍රහ වස්තුව 2014UZ22 ය. එය ඞීඞී වශයෙන් නම් කරන්නේ “Distant Dwarf” (දුරස්ථ වාමනයා) යන්න කෙටි කරමිනි.

Space.com හි මයික් වෝල් වාර්තා කරන අන්දමට මුලින්ම ඩිඩි ඇහැගැහුනේ 2014 දීය. ඒ චිලී රාජ්‍යයෙහි බ්ලැන්කෝ ටෙලස්කෝපය යොදා ගනිමිනි. මෙකී මූලික  ගවේෂණයේදීම මේ දුර ඈත පිහිටි වස්තුව පිළිබඳව බොහෝ දේ හැදෑරිමට විද්‍යාඥයන්ට අවකාශ හිමිවිය. නිදසුනක් ලෙස දක්වතොත් මෙකී ග‍්‍රහ වස්තුවට සූර්යයා වටා ඉලිප්සීය කක්ෂයක ගමන් කිරීම සඳහා  පෘථිවි වර්ෂ 1100ක්  ගතවෙයි. මේ ගමනේ දී එය නක්ෂත්‍ර  ඒකක(astronomical units) 180ක් තරම් ඈතට ද යයි. දැනට ඩිඩි සිටින්නේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර  ඒකක 92 ඈතිනි. The Astrophysical Journal Letters  නම් සඟරාවේ ඩිඞී ගැන මෑතක පළ වූ වාර්තාවක මේ පිළිබඳ විස්තර දැක්වේ.

කෙසේ වෙතත්, ඞීඞී කෙතරම් විශාල වාමනයෙක්ද එමෙන්ම එය ගෝලාකාර වස්තුවක්ද යන්න බ්ලැන්කෝ නිරීක්ෂණ මගින් හෙළි නොවීය. වාමන ග‍්‍රහයෙකු ලෙස සුදුසුකම් ලැබීමට නම් ඒ දෙකම වැදගත් වේ. විද්‍යාඥයන් විසින් ඇටකාමා  මිලිමීටර්/උපමිලිමීටර විශාල අරාව Atacama Large Millimeter/submillimeter Arrayඊ) ඩිඩි කෙරෙහි එල්ල කරනු ලැබුවේ එහෙයිනි. අභ්‍යවකාශ වස්තූන් විමෝචනය කරන තාපය ශීතල සොයා ගැනීමට මේ අරාවට  හැකිය.

සොයාගෙන ඇති දත්ත අනුව ඩිඩිගේ විෂ්කම්භය සැතපුම් 394ක් පමණ වේ. ඒ අනුව ඩිඩි,  ග‍්‍රහක පථයේ ස්ථානගතව ඇති  සෙරෙස් වාමන ග‍්‍රහයාගේ  ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ වේ. එවන් ප‍්‍රමාණයක් ඇතැයි යන්නත් හැඟවෙන්නේ ගෝලාකාර හැඩයක් ගැනීම සඳහා එහි ස්කන්ධය ප‍්‍රමාණවත් බවයි. එය ඞීඞීද වාමන ග‍්‍රහයෙකුවීමට සුදුසුකමකි. එසේ වුවද තවම නිල වශයෙන් ඊට එම තත්ත්වය හිමිවී නැත.

තවද, නෙප්චූන්ට ඔබ්බෙන් පිහිටි අභ්‍යාවකාශයේ සැඟව සිටින සොයා නොගත් එකම වාමන ග‍්‍රහයා ඩිඩි පමණක් වීමට ඇති ඉඩ අඩු යයි ඬේවිඞ් ගර්ඞ්ස් පවසයි. මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන හෙතෙම අධ්‍යයන වාර්තාවේ ප‍්‍රධාන කර්තෘවරයා ද වෙයි. තවත් මෙවැනි වස්තු දහස් ගණනක් තිබිය හැකිය යි හෙතෙම කියයි. ‘ප්ලූටෝට ඔබ්බෙන් ඇත්තේ අප පුදුමයට පත් කරවන තරමට ග‍්‍රහ වස්තු සුලබ ප‍්‍රදේශයක්. සමහරක් බොහොම කුඩායි. ඒත් සමහරක් ප්ලූටෝ තරමටම හෝ ඊටත් වඩා බෙහෙවින් විශාල විය හැකිය’යි පාර්ඞ්ස් නිවේදනයක සඳහන් කරයි.’ මේ වස්තු දුරින් වැඩි නිසාත් අඳුරු නිසාත් ඒවා ගැන අධ්‍යයනය කිරීම තබා ඒවා සොයා ගැනීම පවා බෙහෙවින් දුෂ්කර කාර්යයක්. එහෙම වුණත් මෙකී දුර ඈත වස්තු ගැන විස්තරාත්මකව සොයා බැලීමට සුවිශේෂී හැකියාවක් ඇති ඇටකාමා  මිලිමීටර්/උපමිලිමීටර විශාල අරාව අපට සහය වුණා.’

අපේ සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සැඟව සිටින්නේ වාමන ග‍්‍රහයන් පමණක් නොවේ. ‘නව වැනි ග‍්‍රහයා’ ලෙස නම් කර ඇති තවත් ග‍්‍රහලෝකයක් අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඉමේ ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ සැක පළකරති. ඉතින්, ඩිඩිට වාමන ග‍්‍රහ පට්ටම ලැබුණත් නැතත් තවත් එවන් බොහෝ වස්තුන් සොයා ගනු ලැබීමට ඇති  ඉඩ බොහෝය.

Smithsonian Smart News  හි පළවූ  Meet DeeDee, the Solar System’s Newest Dwarf Planet (Maybe) යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending