ලෙඩට දුකට අප ගන්නා ඇතැම් බෙහෙත් සමග වෙනත් ඖෂධ නොගත යුතු බව වෛද්‍යවරු අපට කියා සිටිති. එසේ නිර්දේශ කරන්නේ ඇතැම් ඖෂධ සමග එකට වෙනත් ඖෂධ ශරීරය තුළ සංයෝග වීමෙන් අතුරු ආබාධ ඇතිවිය හැකි වීම නිසායි. අපේ සිරුර තුළ ඖෂධ ප‍්‍රතිකි‍්‍රයා දක්වන අන්දමටම පරිසරයේ ඇති රසායනික ද පරිසරයේම වෙනත් රසායනික ඇති කල්හි අන්තර් කි‍්‍රයාකරන්නේ වෙනත් ආකාරයකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ශාකවලට, කෘමීන්ට හෝ ක්ෂුද්‍ර ජීවීන්ට අපවිත‍්‍රකාරක හුදකලාව බල පානවාට වඩා සංයෝග වූ කල ඒවායේ විෂ ස්වභාවය අඩු හෝ වැඩිවීමට පුළුවන. මෙම ලිපියෙන් දැක්වෙන්නේ පරිසරයේ ඇති නැනෝ අංශුවල ඒ ආකාර බලපෑම ගැනයි.

මුලින්ම සලකා බැලිය යුත්තේ මේ ක්ෂුද්‍ර කොටස් අපේ පරිසරයට එක්වන ආකාරයයි. මන්ද අපට නොදැනෙන, නොපෙනෙන ආකාරයට ඒවා අපේ පරිසරයට එක්වන හෙයිනි. වර්තමාන පාරිභෝගික සමාජය තුළ අන් කවරදාකටවත් වඩා අප සැවොම එදිනෙදා ජීවිතයේදී විවිධ වූ පාරිභෝගික අයිතම භාවිතයට ගන්නෙමු. රෙදිපිළි, ආහාර පාන, පෞද්ගලික සනීපාරක්ෂාව සහ රූපලාවණ්‍ය සඳහා යොදාගන්නා දෑ ඇතුළු තවත් බොහෝ දේ නිතර පරිහනය කරන්නෙමු. මේ සියල්ලෙහිම පාහේ නැනෝ අංශු අඩංගුය. නැනෝ අංශු යනු නැනෝ ප‍්‍රමාණයේ කුඩා කොටස්වලටය. අප පරිහරණය කරන ද්‍රව්‍යවල නැනෝ ප‍්‍රමාණයේ කොටස් හෙවත් නැනෝ අංශු එම ද්‍රව්‍යවල ජීවන චක‍්‍රයෙහි ඕනෑම අවස්ථාවක අපේ පරිසරයට එක්වීමට පුළුවන. එනම්, ඒවා නිෂ්පාදනය වන අවස්ථාවේ ඒවා ගබඩා කර තිබියදී ඒවා පරිහරණය කිරීමේදී මෙන්ම ඒවා හෝ ඒවායේ බහාලූ පරිහරණයෙන් පසු ඉවත් කිරීමේදී යන ඕනෑම අවස්ථාවකදී නැනෝ අංශු වශයෙන් පරිසරයට එක්වෙයි. උදාහරණයක් ලෙස අපේ සිරුරේ පෞද්ගලික සත්කාර ලෙස යොදා ගන්නා සබන් ආලේපන ඔප දැමීමට ගන්නා දෑ ආදිය අප ස්නානය කිරීමට ගිය විට හෝ ගංගා ඇළ දොළට පිහිණීමට ගිය විට අප නොදැනුවත්වම වාගේ නැනෝ අංශු පරිසරයට එක්වෙයි.
මෙම නැනෝ අංශු පරිසරයට එකතුවීමෙන් පසුව දැනටමත් පරිසරයට එක්වී ඇති වෙනත් නැනෝ අංශු ඇතුළුව පරිසරයේ තිබෙන රසායකින ද්‍රව්‍ය කොටස් සමග ප‍්‍රතිකි‍්‍රයා කිරීමට පටන් ගනී. ඉතින්, බැක්ටීරියාවලට බහු විධ වර්ගයේ නැනෝ අංශු අභිමුඛ වූ විට එකිනෙකට වෙනස් මෙන්ම විවිධ වූ ප‍්‍රතිකි‍්‍රයා හට ගැනීමට පුළුවන. නැනෝ අංශු ස්වාධීනව නැතහොත් වෙන් වෙන්ව ප‍්‍රතිචාර දැක්විය හැකියි. එවිට ඒ වායේ එකතුවෙන් ඇතිවන විෂ සහිත බව හෙවත් සවිෂතාව(toxicity) කෙළින්ම එකතුවන්නේ ඒවායේ තනි තනි බලපෑමටය. එහෙත් ඒ ඒ නැනෝ අංශු වෙනම ගෙන සංසන්දනය කළොත් බහු ආංශික නැනෝ අංශු, ඒකාබද්ධ සවීෂතාව බොහෝ සේ අඩු හෝ වැඩි කිරීමට මගපාදයි.
ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක හා පර්යේෂිකාවක වන කැරොලයින් විල්කි සහ පර්යේෂක කණ්ඩායම සංයෝජිත නැනෝ අංශු සවිෂතාව බැක්ටීරියා මත ඇති කරන බලපෑම ගැන අධ්‍යයනයක යෙදී සිටිති. බැක්ටීරියා බොහොමයක් ලොව පරිසර පද්ධති තුළ වැදගත් එමෙන්ම අත්‍යවශ්‍ය වැඩකොටස් ඉටු කරයි. “මගේ කාර්යභාරය වන්නේ අපිරිසිදු පාරිසරික පද්ධති තුළ බහු ආංශික බැක්ටිරියා වර්ග එකට එක්ව පවතින කල සුවිශේෂී හෝ නිශ්චිත නැනෝ අංශු බැක්ටීරියාවලට අඩුවෙන් හෝ වැඩියෙන් විෂ සහිත වන්නේ කෙසේද යන්න සොයා බැලීමයි” විල්කි කියා සිටියි. ටයිමේනියම් ඔක්සයිඞ් සහ රිදී නැනෝ අංශු එකට එක්ව ඇති කල්හි සවිෂතාවෙහි ඇතිවන වෙනස්කම් අධ්‍යයනය කරමින් විල්කි ප්‍රමුඛ පර්යේෂකයෝ මෑතක Environmental Science & Technology සඟරවෙහි වාර්තාවක් පළ කළහ. තීන්ත වර්ග, හිරු ආවරණාලේප වැනි පාරිභෝගික ද්‍රව්‍යවල සහ ආහාරවල පවා ටයිටේනියම් ඩයොක්සයිඞ් පුදුම හිතෙන තරමට බහුලය. එමෙන්ම ඒවායේ ඇති ප‍්‍රතික්ෂුද්‍රජීවී(antimicrobial) ගුණය හේතුකොට ගෙන ගේ දොර පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයක රිදී නැනෝ අංශු යොදා ගනු ලැබේ. ගංගා හෝ විල්වැනි ස්වාභාවික ජල කඳකදී එක්වීමෙ හැකියාව ඇති බහුලව භාවිත කරන නැනෝ අංශු දෙවර්ගය මේ දෙකයි.

අඳුරේදී E. coli බැක්ටීරියාවට රිදී සහ ටයිටේනියම් ඩයොක්සයිඞ් නැනෝ අංශු දක්වන සවීෂතාව පර්යේෂකයෝ පරීක්ෂා කර බැලූහ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ රිදී නැනෝ අංශු බැක්ටීරියාවලට බෙහෙවින් විෂ සහිතය. එහෙත් ටයිටේනියම් ඩයොක්සයිඞ් පැවතීමේ හේතුවෙන් රිදීවල විෂ ගතිය අඩු වූ බව විල්කි පෙන්වා දෙයි.
ඉතින් මෙය කි‍්‍රයාත්මක වන්නේ කෙලෙසද? රිදී නැනෝ අංශු දියවන විට ඒවා අධික විෂ සහිත රිදී අයන මුදා හරියි. මෙසේ මුදාහැරෙන විෂ සහිත රිදී අයන අධිශෝෂණය(adsorption) යන කි‍්‍රයාදාමය මගින් ටයිටේනියම් ඩයොක්සයිඞ්වලට හසුකරගනු ලැබිය හැකිවේ.(අධිශෝෂණය යනු ඝන ද්‍රව්‍යයක් මත තුනී පටලයක් සේ සෑදෙමින් වායුවක අණු ඒකරාශී වීමේ ක්‍රියාදාමයයි). මේ කි‍්‍රයාදාමයේ දී අයන, අංශුවල මතුපිටට බැඳී පවතී. මෙහි ප‍්‍රතිඵලය ජලය මත පාවෙන රිදී අයන අඩුවීම සහ බැක්ටීරියාවලට විෂ අඩු පරිසරයක් හිමිවීමයි. එහෙත්, අල්වාගෙන සිටිය හැකි රිදී අයන ප‍්‍රමාණය කොපමණ ද යන්න ගැන සීමාවක් ටයිටේනියම් ඩයොක්සයිඞ්වලට ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස පර්යේෂකයන්ට පෙනීගියේ රිදීවල සවිෂතාව අඩුවීමට ටයිටේනියම්වලට ඇති හැකියාව නිසියාකාරව යෙදෙන්නේ රිදී නැනෝ අංශු සාන්ද්‍රණය අඩු මට්ටමක පවතින විටදී පමණක් බවය. මෙවන් ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ කිසියම් නැනෝ අංශුවක සවිෂතාව තීරණය වන්නේ නැනෝ අංශුවේ ගුණාංග මෙන්ම අනෙකුත් අපවිත‍්‍රකාරක හා අනෙකුත් නැනෝ අංශු ඇතුළත් පරිසරය ඒවා පරිවර්තනය කරන අන්දම මත බවයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න