(updated version – material added)
අභ්‍යවකාශ තරනයෙහි අරමුණ සහ අති දැවැන්ත වියදමක් දරා සිදු කෙරෙන එම පරීක්ෂණවලින් ලැබෙන ඵලප්‍රයෝජන ගැන සමහරු සැක පහල කරති. මන්ද එම වියදමින් මානව වර්ගයාට සෘජුවම වාසි සැලසිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි යයි ඔවුන් කල්පනා කරන හෙයිනි. එහෙත්, අභ්‍යවකාශ ගවේෂණයෙන් පෘථිවියෙහි සම්භවය, පරිණාමය හා අනාගතය ගැන පමණක් නොව මිනිස් සංහතිය ඇතුළුව අපේ මුලු ග්‍රහ ලෝකයටම ඉදිරියේ දී සැලසෙන විපුල ඵලප්‍රයෝජන වලට අමතරව දැනටමත් අපගේ ජීවිතවල විවිධ අංශ වෙත ඉන් ලැබෙන සෙත ගැන ව්විවිධ අංශ මගින් වරින් වර කරුණු දැක්වීම් සිදු කර ඇත. මෙම ලිපියෙන් දැක්වෙන්නේ සෞඛ්‍ය සත්කාර සඳහා උපකාර වීමට අභ්‍යවකාශ ගවේෂණයෙන් ඉස්මතුව, මෑතක හඳුන්වා දී ඇති ක්‍රම කිහිපයකි.

- මොළ අර්බුද හෙවත් මොළ ටියුමර ඉවත් කළ හැකි රොබෝවරු
අභ්‍යාවකාශ ෂටල භාවිත කල යුගයේ වැඩි දියුණු කළ කැනඩාආම් (Canadarm2) යනු රොබෝ හස්තයකි. එය සවි කර ඇත්තේ අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි පිටත ය. එම මධ්‍යස්ථානයෙහි පිටත, අධික අවදානමක් සහිතව ‘ඇවිදිමින්’ සිදුකරන කාර්යයන් බොහොමයක් කර ගැනීමට මෙම රොබෝ හස්තය යොදා ගැනේ. මෙකී තාක්ෂනය තමයි නියුරෝආම්(neuroArm) තාක්ෂණයට මගපැදුවේ. නියුරෝආම් තාක්ෂණයට MRI ස්කෑනර් තුල මොළ අර්බුද ඉවත් කිරීම වැනි යථාතථත්‍ය(precision) සැත්කම් සිදු කල හැකියි.
- ලේසර අක්ෂි ශල්‍යකාර්මවල දී යොදා ගන්නා ඇස් නික්සන
අභ්‍යාවකාශයේ දී ගුරුත්වය නොමැතිකම, ඇස් සෙලවීම මෙන්ම චලනය සංජානනය කරගන්නා ආකාරය ද වෙනස් කරයි. ක්ෂුද්‍ර-ගුරුත්වයේ දී සාමාන්‍ය කටයුතු සිදු කරන විට අභ්‍යාවකාශගාමින්ගේ ඇස් යොමුවන්නේ කොයිබටද යන්න සෙවීම පිණිස ඉහළ තාක්ෂණයේ ඇස් නිරික්සන(eye trackers) වැඩිදියුණු කරන ලදී. අක්ෂි චලනය ලේසර අක්ෂි ශල්‍යකාර්මවල දී මුහුණ පාන ගැටලුවකි. අභ්‍යාවකාශ චාරිකා සඳහා වැඩිදියුණු කළ ඇස් නිරික්සන තාක්ෂනය ලේසර කදම්භය නිසි අයුරින් එල්ල කිරීම සඳහා යොදා ගැනේ.
- ඇදුම රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරවීම .
පෘථිවියෙහි මෙන්ම අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ද නයිටරික් ඔක්සයිඩ් වාතයේ සුලබව දැකිය හැකි දුෂකයකි. ඇදුම රෝගයේදී ඇතිවන්නාක් මෙන් පුද්ගලයෙකුගේ පෙණහලූ කරා වාතය ගෙනයන මාර්ගයේ ප්‍රදාහ තත්ත්වයක් ඇති විට ප්‍රශ්වාස කරන වාතයෙහි නයිටරික් ඔක්සයිඩ් වැඩිවීමක් දැකිය හැකිය. අභ්‍යාවකාශගාමින්ගේ පෙනහළුවල ඇතිවිය හැකි ප්‍රදාහයන් හඳුනා ගනු වස් පිට කරන හුස්මෙහි ඇති නයිටරික් ඔක්සයිඩ් ප්‍රමාණය නිවැරදිව සොයා ගැනීම පිණිස යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය උපකරණයක් වැඩිදියුණු කර ඇත. තත්ත්වය බරපතල වන්නට පෙර අභ්‍යාවකාශගාමින්ට පරතිකාර කිරීමට මෙය මග පාදයි. ඇදුම රෝගීන් ගේ පෙනහළුවල ඇතිවන ප්‍රදාහයක් හේතුවෙන් ප්‍රස්වාශ වායුවෙහි නයිටරික් ඔක්සයිඩ් වැඩිවීම සොයා ගැනීමට මෙම තාක්ෂනය දැන් යොදා ගනු ලැබේ.
- අස්ථි ශක්තිමත්ව තබා ගැනීම
සිය සිරුරු මත ගුරුත්වයෙහි බලපෑම නොමැති හෙයින් අභ්‍යාවකාශගාමින්ගේ අස්ථි ඝනත්වයෙහි දැවැන්ත හානියක් ඇතිවේ. මෙය, ඔස්ටියෝපොරෝසිස් හේතුවෙන් වයස් ගත පුද්ගලයන් තුල ඇතිවන අස්ථි හානියට සමානය. ව්‍යායාම මගින් මෙම තත්ත්වය අවම කර ගැනීමට එහෙයින් උත්සාහ දැරේ. සතිපතා බයිස්පොස්පොනේට්(bisphosphonate) ස්වල්පයක් ගැනීමෙන් අස්ථි හානිය තවදුරටත් අඩු කරගැනීමට අභ්‍යාවකාශගාමින්ට හැකිවී තිබේ. මෙවැනි ඖෂධවෙදිය සොයා ගැනීම් මිහිතලයේ වයස් ගත කණ්ඩායම් වලට සෙත සලසා ඇත.
- සිරුරෙහි උෂ්ණත්වය මැනීම
ග්‍රහ ලෝක සහ තාරකා වල උෂ්ණත්වය මැනීම පිණිස නාසා ජෙට් ප්‍රවාලන පර්යේෂණාගාරය අධෝරක්ත තාක්ෂණ වැඩි දියුණු කරන ලද්දේ මෙයට දශක ගණනාවකට පෙරය. 1991 දී මෙම තාක්ෂනය කන ඇතුලෙහි යොදා සිරුරේ උෂ්ණත්වය මනින උෂ්ණත්වමානයක් හෙවත් උනකටුවක් නිර්මාණය කිරීම පිණිස යොදා ගැනින. තත්පර කිහිපයකින් සිරුරේ උෂ්ණත්වය නිවැරදිව කියවිය හැකිවේ. මේ උෂ්ණත්වමාන රෝහල් වල, වෛද්‍යවරුන් අතර මෙන්ම නිවසේ භාවිතයට ඉතා යෝග්‍යය.

- වකුගඩු ගල් ඉවත්කිරීමට සහාය
අභ්‍යවකාශයේ ගත කිරීමෙන් අභ්‍යවකාශගාමින්ට වකුගඩුවල ගල් සෑදීමේ අවදානම වැඩිවේ. එසේ වකුගඩු ගල් සෑදීමෙන් අභ්‍යවකාශ යානාවල කාර්ය මණ්ඩල ඉවත් කිරීමට පවා මග පාදමින් අභ්‍යවකාශගාමින් තුල ආසාදන සහ සංකුලතා බලවත් විය හැකිය. නාසා ආයතනය සිදුකල පර්යේෂණ මගින් අතේ ගෙන යා හැකි(Star Trek නාට්‍ය මාලාවේ දැක්වෙන ආකාරයේ) අතිධ්වනි තාක්‍ෂණයක් (ultrasound technique) වැඩි දියුනුකෙරින. එම තාක්ෂණයෙන් මුත්‍රා ගල් සොයාගැනීම, වෙනතකට ගෙනයාම සහ අනතුරුව කුදුකර් දැමීමට හැකි වීමෙන් ඒවා පිට කර දැමීම පහසුවේ. මේ මිහිතලය මත වසන අපට ද මෙම තාක්ෂනය උපකාරී විය හැකිය.
- වකුගඩු ඩයලිසිස් හෙවත් කාන්දු පෙරීම පහසු කිරීම
ජලය බරින් වැඩිය. එහෙයින් පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගෙනයන ජලය ප්‍රමාණය අඩු කල යුතුවේ. අභ්‍යවකාශයේදී මේ අඩුව පිරිමහගන්නේ අභ්‍යවකාශගාමින් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි තිබෙන(තම මුත්‍රා ඇතුළුව) දියර බොහොමයක් ප්‍රතිචක්‍රිකරනයෙන් සහ පිරිසිදු කිරීමෙන්ය. මෙම පරි පරිසර(පෙරහන්) පද්ධති වැඩි දියුණුකිරීමේ දී විද්‍යාඥයන් යොදා ගත්තේ පාවිච්චිකළ ඩයලිසිස් තරලවලින් විෂ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ තාක්ෂණමය. අඛණ්ඩව ජලය සැපයිය යුතු නැති නව ආකාරයක ඩයලිසිස් යන්ත්‍ර නිෂ්පාදනයට මෙය මග පැදිය. මේ හේතුව නිසා ඒවාට බලශක්තිය වැය වීම අඩුයි. ඒ වගේම එහා මෙහා ගෙනයා හැකියි. ඒ අන්දමේ ඩයලිසිස් යන්ත්‍ර නිවසේ වුව භාවිත කල හැකියි.
- වෛද්‍ය අනුරුපනය යොදාගනිමින් තුවාල හානි සහ පිළිකා සොයා ගැනීම
ඩිජිටල් සංඥා සැකසීම අසීරු කාර්යකි. ඇපොලෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මකවූ අවධියේ නාසා ආයතනය උසස් තාක්ෂණයේ ඩිජිටල් සංඥා සැකසීම පුරෝගාමීව ආරම්භ කළේ සඳ මත ගොඩ බැසීමට උචිතම ස්ථාන සොයාගනිමටයි. එම ඩිජිටල් සංඥා සැකසීමේ තාක්ෂණ ක්‍රම අද CT සහ MRI ස්කෑනර්වලදී බහුලව යොදා ගනු ලබන්නේ වෛද්‍යවරුන්ට ශරීරය කපා සිරුරෙහි අභ්‍යන්තරය බලන්නේ නැතුව තුවාල හා පිළිකා සොයා ගැනීමට සහය වීම පිණිසයි.
Additional material (numbers 6, 7, and 8) added on 24th June, 2017
The Conversation හි පළවූ Ten ways that astronauts are helping you stay healthy යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න