මිරිදිය ජලාශ වනාහී ස්වාභාවික ජල කඳන්ය. ඒවා සෑදෙන්නේ වර්ෂාපතනයෙන්,  හිම දිය වී යාමෙන් හෝ භූගත ජලය  පෘථිවිය මතුපිටට කාන්දුවීමෙනි. ලූණු සාන්ද්‍රණය 1%ට අඩු ජල කඳන්වල මිරිදිය ජිව කලාප දැකිය හැකිය. දළ වශයෙන්, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 1%ක් වැසී ඇත්තේ මිරිදියෙන්.  කෙසේ වෙතත්, දැනට හඳුනාගෙන ඇති මත්ස්‍ය විශේෂ අතුරෙන් 40%ක්ම වසන්නේ මිරිදියෙහිය. විල් හෙවත් තඩාග හෝ වැව්, කැපීපෙනෙන කලාප තුනකට බෙදේ. එම තල වඩාත් බහුලව තීරණය කරනු ලබන්නේ ගැඹුර සහ වෙරළ ඉමේ සිට ඇති දුර යන දෙකෙන්මය. මිරිදිය ජලාශවල දැකිය හැකි කලාප අතර තිරස්ථ, සාරස,  ගම්භීර(ගැඹුරු) සහ නිතල යන කලාප ඇතුළත් වේ.

තිරස්ථ කලාපය

ජලාශයක මුදුනෙහිම ඇති කලාපය, තිරස්ථ කලාපයයි(littoral zone). වෙරළබඩ කලාපය යනුවෙන් ද  හඳුන්වන එය තමයි වෙරළට ආසන්නම කලාපය.  එහෙයින් වඩාත්ම ඵලදායි කලාපය වන්නේද මෙයයි. ඊට හේතුව, එයට බහුලව සූර්යාලෝක පතිතවීම සහ දියදොර හෙවත් අධිධාවියෙන් ලැබෙන පෝෂක අවශෝෂණය කර ගැනීමෙනි. එය බහුල ජෙවී විවිධත්වයක් පවත්වාගෙන යයි. ඇල් ගී, පාවෙන ශාක. දිය යට ගිලූණු ශාක, සහ ශාක ප්ලවාංග මෙම විවිධත්වයට දායක වන ශාක අතර වේ. තිරස්ථ කලාපය දිය මැඩියන්,  මට්ටයන්, කෘමින්,ගොළුබෙල්ලන්, සහ කවචයන් ඇතුළුව සත්ව විශේෂ ගණනාවකට නිවහනකි. ශාක සහ සත්ව සර්පයන්,  කැස්බෑවන් සහ තාරාවන් වැනි අනෙකුත් සතුන්ගේ ආහාර බවට පත්වෙයි.

සාරස කලාපය

සාරස කලාපය(limnetic zone) කියන්නේ, වෙරළබඩ කලාපයෙන් වටකරගත් ජලාශයක හිරු රැසින් නැහැවෙන කොටසයි. හිරු එළිය ජලය හරහා පසාරු කරගෙන යන දුර තෙක් මෙම කලාපය විහිදෙයි. ගම්භීර කලාපය මතුපිට පිහිටි සාරස කලාපයෙහි පැතිරුණු ජලය වටා වෙරළ බඩ කලාපයෙහි වෘක්ෂලතා පිහිටා ඇත. මෙම කලාපය ශාක ප්ලවාංග හා සත්ව ප්ලවාංග ගහණ ප‍්‍රදේශයයි. ප්ලවාංග යනු ජල කඳක ඉහළ ස්තරයෙහි හිරු රැසින් නැහැවෙන කොටසෙහි ඇති අන්වීක්ෂීය ප‍්‍රාණින්ය. කුඩා ක්රූස්ටාසොයාවන් හෙවත් කවචයන් මෙන්ම විවිධ  මිරිදිය මත්ස්‍යවර්ග මෙම කලාපයෙහි ජීවත්වෙති.

ගම්භීර කලාපය

කලින් සඳහන් කළ කලාපයන්ට වඩා සීතල හා ඝනත්වයෙන් වැඩි කලාපයයි,  ගම්භීර කලාපය(profundal zone).  හිරු එළියට කාන්දුවිය නොහැකි ඉසව්වක මේ කලාපය පිහිටා ඇත. පහළ තාප සන්නාහය නම් සිරස් කලාපය ඔස්සේ ඇති මෙම කලාපය හරහා උෂ්ණත්වය ඉතා ඉක්මනින් පහළට වැටේ. ප‍්‍රභාසංස්ලේෂණය යනුවෙන් හඳුන්වන කි‍්‍රයාදාමය මෙහිදී සිදු නොවේ. අඩු මට්ටමේ ප‍්‍රභා සංස්ලේෂණය, අඩු  ඔක්සිජන් මට්ටම්වලට මගපාදයි. හිරු රැස් නොමැතිකම මේ කලාපයෙහි ජීව විවිධත්වය කෙරෙහි තීරණාත්මකව  බලපායි. එය ඉහලින් ඇති ජල සතර හා සසදද්දී කැපී පෙනෙන වෙනසකි. මෙම කලාපයෙහි ජීවිහු වඩාත් සීතල උෂ්ණත්වයකට හා අඩු ඔක්සිජන් මට්ටම්වලටද අනුගතව සිටිති.

නිතල කලාපය

නිතල කලාපය(benthic zone) ඇත්තේ ජලාශයක පතුලෙහිය. මේ කලාපයේ දිවි ගෙවන ජීවීන් හඳුන්වනු ලබන්නේබෙන්තෝස්(benthos) හෙවත් නිල්ලවාසීන් ලෙසය. ඔවුන් ජීවත්වන්නේ උපස්තර පතුල සමග සමීප සම්බන්ධතාවක් ඇතිවය. ජීවීන් බොහොමයක්ම ජලාශයෙහි  පතුලෙහිම ඇති ස්තරයට නිත්‍යලෙස ඇඳී සිටිති. ජල කඳ මත පාංශු ආස්තරයක් සපයන ගැඹුරක් නැති නිතල සීමා ස්තරයෙහි අන්වීක්ෂීය ජීවීන් පෙළකට නඩත්තුව සඳහා අවශ්‍ය පෝෂක අඩංගු වේ. මෙම කලාපයේ ප‍්‍රධාන වශයෙන්ම වාසය කරන්නේ වියෝජකයන් හා කෘමි කීටයන්ය. පරිසරයට මුදාහැරෙන මානව කෘත ද්‍රව්‍ය පෙළක්ම නිතල කලාපයට ලැබෙයි.

ඉහත කලාප වෙන්කිරීමට අමතරව, ජලාශයක් උෂ්ණත්වය අනුව වර්ගීකරණය කළ හැකියි. පිටත සාරස ස්තරය ඉහළින්ම ඇති ස්තරයයි. ඌන සාරස ස්තරයට වඩා එය වඩාත් උණුසුමය; PH අගය වැඩිය: සහ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිය. ඌන සාරස ස්තරය තාපවිප්ර්යාස සීමාව  යටින් පිහිටි වඩාත් සීතල ඝනත්වයෙන් යුත් ස්තරයයි. තාපවිප්ර්යාස සීමා ප‍්‍රදේශයේදී ගැඹුරක් සමග ජලයෙහි උෂ්ණත්වය අඩුවෙයි. ඒ ඔස්සේ තවත් ගැඹුරට යද්දී ඔක්සිජන් මට්ටම් අඩුවෙන්න පටන්ගන්නේ  පිටත සාරස ඉහළම ඔක්සිජන් මට්ටම ද ඌන සාරස පහළ ඔක්සිජන් මට්ටම් ද සමන්විත වන ලෙසටය.

තවද ජලාශ වර්ග වශයෙන් එකිනෙකට කැපී පෙනෙන ලෙස වෙනස් වර්ග තුනක් ලෙස වර්ගීකරණය කළ හැකිය. අල්ප පෝෂී,  සුපෝෂක සහ මැදිපෝෂක යනුවෙනි. අල්පපෝෂී ජලාශවල අඩංගු වන්නේ ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක වල සුළු එකතුවක් පමණකි. ජෛවී විවිධත්වයද පවතින්නේ සුළු මට්ටමකිනි. සුපෝෂක ජලාශ ශාක පෝෂකවලින් විශේෂයෙන්ම පොස්පේට් සහ නයිට්‍රේට්වලින් පොහොසත්ය. මේ කාරණාව නිසා ඇල්ගීවල අතිරික්ත වර්ධනය දිරි ගැන්වේ. එයත්,  එමෙන්ම වියෝජනයවන ජිවීන් හේතුවෙන් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවෙයි. මේ තත්තවය අනෙකුත් ජිවීන්ගේ විනාශයට හේතුවේ. මානව කි‍්‍රයාකාරකම්ද මේ කෙරෙහි බලපෑම් ඇති කරයි. ඵලදායීතාව ගතහොත් මධ්‍යපෝෂී ජලාශයක්  අල්පශේෂී ජලාශයකට වඩා වැඩියෙනුත් සුපෝෂක ජලාශවලට වඩා අඩුවෙනුත් අතර මැදි ඵලදායිතා මට්ටමක පවතී.

Actforlibraries.org  වෙබ් අඩවියෙහි පළවූ Zones Found in Freshwater Lakes ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending