මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

සමාජ චාරිත්‍ර ධර්ම හා නීතිරීති පිළිපැදීමට අපොහොසත්වීම  මෙන්ම තහංචි ඉක්මවායාම  ඉතිහාසය පුරා බොහෝ සමාජයන්හි සැලකුණේ හුදෙක් වරදක් හැටියට පමණක් නොව අධ්‍යාත්මක දුෂ්ටභාවය විද්‍යාමාන වීමක් ද ලෙසයි. යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාම් ආගමේ දී  සදාචාර දුර්ගුණය  සැලකුණේ ‘පාපය’ ලෙසිනි. එමන්ම එය සැලකුණේ දෙවියන්ගේ කැමැත්ත හිතාමතාම කඩකිරීමක් හැටියටය. උත්පත්ති කතාවට අනුව ‘පාපය’ ආරම්භ වුයේ මුල්ම මානවයන් වන  ආදම් සහ ඊවා දෙවියන්ට අකීකරුව සිය ආදිම නිර්දෝෂිකත්වය අහිමි කරගැනීමෙනි. එදා පටන් මිනිස්සු මුල පාපයෙන් හෙවත් ජන්ම පාපයෙන්(original sin) උපන්නාහ. වෙනත් වචන වලින් කියතහොත් මිනිස් ස්වභාවය සහජයෙන්ම පව්කාරය. ‘අධික පාප හත’ ලෙස දැක්වෙන උඩඟුකම, තණ්හාව, කාම ආශාව, ඊර්ෂ්‍යාව, කෑදරකම, කෝපය සහ අලසකම එකී නිසග දුර්වලකමේ නිදසුන් වන අතර ‘තථ්‍ය පාපය’, පාපයේ මුලය ලෙසද සැලකේ.

තථ්‍ය පාපය දුෂ්ට ක්‍රියා වලින් සමන්විතවේ — මෙකි දුෂ්ට ක්‍රියා සිතින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් සිදු කළ හැක. ගැලවීම (අඩු තරමින් කොටසක් ලෙස හෝ) රඳා පවතින්නේ දෙවියන් හෙළි කළ මග(නිදසුනක් ලෙස දෙවියන් මෝසස් වෙත දැක්වූ දශ පණත) අනුව යමින් දුෂ්ට ක්‍රියා මගහැරීමෙනි. පාපයන්, අතෑරුම් පාපයන් (sins of omission) — ඒ කියන්නේ තම වගකීම ඉටු කිරීමට අපොහොසත්වීම  මෙන්ම කෙරුම් පාපයන්(sins of commission) විය හැකිය.

Related image

ක්‍රිස්තියානි ධර්මයෙහි මාරක(mortal = කමාකළ නොහැකි) සහ කමාකළ හැකි පාපයන් යනුවෙන් පාපයන් වෙන්කොට දැක්වීමක් ඇත. මාරක පාපයන් ගතහොත් වුවමනාවෙන්ම දෙවියන්ගෙන් ඈත්වීම මෙන්ම එය කෙතරම් බරපතල ද කිවොත් දෙවියන්ගේ දයාවෙන් මුළුමනින්ම ගිලිහීයාම සහ පාපය ගැන පසුතැවිලි නොවන්නේ නම් පාපය කල අය සදාකාලික නිරයට යොමුව සිදුවේ.

රෝමානු කතෝලික සභාවේ දැක්වෙන පරිදි මාරක පාපයන් අතරට මිථ්‍යාග්‍රාහය, මිනීමැරීම, අනාචාරය, ගබ්සාව, ප‍්‍රතිසන්ධිරෝධනය(උපත් පාලනය), සහ බොරු සාක්කි කීම(මුසාව) ඇතුලත්වේ. කමාකළ හැකි පාපයන්(venial) එතරම් බරපතල නැත. ඒවා සිදුකරන්නේ වැරදි ක්‍රියාව ගැන එතරම් හැඟීමකින් තොරවය. එහෙයින් පහසුවෙන් කමා කළ හැක. මෙයට අමතරව ‘රුපික පාපයන්’(formal sins)  සහ ‘භෞතික පාපයන්’(material sins) ද වේ. රුපික පාපයන් නිසගයෙන්ම වැරදි වන අතර පාපයේ යෙදෙන්නා ඒ බව දනී. භෞතික පාපයන් නිසගයෙන්ම වැරදි වන නමුත්  පාපයේ යෙදෙන්නා ඒ බව නොදනී. එහෙයින්ම ඊට වග කිවයුතු යයි නොසැලකේ.

Big ideas in brief (Quercus, 2013) Sin නම් ග්‍රන්ථයේ කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending