රාත‍්‍රී අහස දෙස නෙත් යොමු කරන ඔබ දකින්නේ විශ්වයෙහි අප දන්නා වූ කොටසේ  සුවිශේෂී දර්ශනයකි. ඔබට දැක ගන්නට ලැබෙන්නේ විද්‍යුත් චුම්භක විකිරණයයි (electromagnetic radiation): තාරකා වැනි වස්තූන්ගෙන් එන ප්‍රකාශ තරංග ආයාමයන් හී දී ඇතිවන විකිරණය ආලෝකයයි. ඔබේ දෙනෙතට රේඩියෝ තරංග (ඒවා ආලෝකයේ වෙනත් තරංග ආයාමයකි) දැකිය හැකි නම්, ඔබට දර්ශනය වන්නේ විශ්වයේ බොහෝ සේ වෙනස් චිත‍්‍රයකි. රේඩියෝ ආලෝකයේ මූලයන් ප‍්‍රකාශ අලෝකයේ මූලයන්ට වඩා වෙනස්ය. තාරකා විද්‍යාඥයන්ට  ඕනෑවී  ඇත්තේ, විවිධ වර්ගවල ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ තනා ඒවා මගින් විද්‍යුත් චුම්භක විකිරණ සම්පූර්ණම වර්ණාවලිය(entire spectrum of electromagnetic radiation) දැක බලා ගැනීමටය. අන්තර්ජාලයට පිවිසීමේ වරම් ඇත්නම් ඔබට මෙතැන ක්ලික් කිරීමෙන් ක්ෂීරපථය ගැලැක්සිය විවිධ ආලෝක තරංග ආයාමවල දී දැක ගත හැක. ඔබ නිපදවන්නේ කුමන මාදිලියේ ටෙලස්කෝපයක් ද යන්න මත ඔබට ලැබෙන දර්ශනය බෙහෙවින් වෙනස් බව පෙනී යනු ඇත.

තාරක විද්‍යාවේ ඉතිහාසය පුරාවටම අප විශ්වය දුටුවේ විද්‍යුත් චුම්භක කවුළුවකිනි. එසේ නමුත්, දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් උනන්දුවක් දක්වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කවුළුවකින් විශ්වය දැක බලා ගන්ටය: එනම් ගුරුත්වාකර්ෂණ කවුළුවකින් බලන්නටය. විද්‍යුත් චුම්භක තරංග මෙන් නොව, ගුරුත්වාකර්ෂණ තරංග(gravitational waves) යනු අවකාශ කාලයේ(space-time) අභ්‍යවකාශ වස්තූන්ට සමීපවන්නට හෝ එකිනෙකාගෙන් තවත් දුරස්ත වන්නට හෝ අල්ප ප‍්‍රමාණවලින් හේතු භූතවන ඉතාමත් සුළු වෙනස්කම්ය. ඒවා පුරෝකථනය කෙරුණේ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයෙනි. එහෙයින් එවැනි තරංගයක් සොයා ගැනීම එකී සිද්ධාන්තය තහවුරු කෙරෙන තවත් සාක්ෂ්‍ය බවට පත්වෙයි. ගුරුත්වාකර්ෂණ තරංග වල මූලයන් බෙහෙවින් අසාමාන්‍යය: වඩාත් ප‍්‍රකට වන්නේ නියුට්‍රෝන තාරකා හෝ සමීප කක්ෂයක සිටින කළු කුහර වැනි සුසංහිත වස්තූන් දෙකකි.(නියුට්‍රෝන තාරකා යනුගුරුත්ව බලවේග මගින් දැඩිව සම්පිඩනයට පත් කළ තරුවක පරිණාම ක්‍රියාවලියේ අවසානයට පත් තාරකාවක්)  ඒවා එකිනෙකා වටා කක්ෂගතව ගමන් කිරීමේ දී පද්ධතියෙන් ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කෙරේ. මෙහිදී පද්ධතියෙන් ශක්තිය ඉවත් වන හෙයින් අවසානයේ ප‍්‍රචණ්ඩ සංසිද්ධයක් තුළින් ඒකාබද්ධ වන තුරු කක්ෂ හැකිළෙයි. බොහෝ විවිධ ප‍්‍රමාණ පරිමාණවලදී මෙම පද්ධති වල ගතිකයන් අධ්‍යයනය කිරීමට ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණය අපට මග සලසයි.

ලේසර නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ තරංග පරීක්ෂණාගාරය (Laser Interferometer Gravitational-Wave Observatory) හෙවත් LIGO 2016 පෙබරවාරි 11 දා, ද්ව්‍යංගි (යුගල) කළු කුහරයකින් ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගත් බව ප‍්‍රකාශයට පත් කළේය. එය  යුගල කළු කුහර පද්ධතියක් ප‍්‍රථම වතාවට නිශ්චිතව  සොයා ගැනීමයි. සූර්ය-ස්කන්ධ කළු කුහර ගතහොත් මේ වනතෙක් සොයාගෙන ඇති එවන් දැවැන්තම කළු කුහර දෙක වූයේ ඒවායි. LIGO  පර්යේෂකයන්ට පෙනී ගිය කාරණයක් වූයේ ඒකාබද්ධ වූ වස්තුවෙහි ස්කන්ධය මුල් කළු කුහර දෙකෙහි ස්කන්ධවල එකතුව හෙවත් ඵෙක්‍යයට වඩා අඩු බවයි. මෙයින් හැඟවුනේ, (කළුකුහර දෙක) ඒකාබද්ධවීමේ දී ගුරුත්වාකර්ෂණ තරංග ලෙස හානි වූ(නැති වී ගිය) අති දැවැන්ත ශක්ති ප‍්‍රමාණයක් බවට පරිවර්තනය වුනේ ස්කන්ධයෙහි (ඒකාබද්ධයට පෙර හා පසුව) වෙනස බවයි. LIGO පර්යේෂකයෝ(ඒකාබද්ධ වූ) කළු කුහරයේ බැමුම(spin) විශ්වයේ මේ කොටසේ කළු කුහර ඒකාබද්ධ වන අනුපාතය සහ තවත් බොහෝ දෑ මැන බැලූහ. එක් ගුරුත්වාකර්ෂණ තරංග සංසිද්ධියකින්ම භෞතික විද්‍යාව පිළිබඳ නව අවබෝධය බොහෝ සේ උකහා ගත හැකි වීය. LIGO   සහයෝගීතාවයේ තාරකා විද්‍යාඥයන් වැනි විද්‍යාඥයෝ ඒවන් සංසිද්ධි බොහෝමයක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙති. එවිට අපිට විශ්වය පිළිබඳ ගුරුත්වාකර්ෂණ තරංග දර්ශනයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.

Ask an Astronomer හි පළවූ Why are astronomers interested in gravitational waves? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending