මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

දර්ශනවාදීන් විසින් පරීක්ෂාකාරීව සැලසුම් කරන ලද විරුද්ධාභාස වනාහි අප භාෂාව පාවිච්චි කරන පිළිවෙලෙහි හෝ අප සිතන පතන විධියෙහි හෝ අඩුවක් විදහා දැක්වීමේ අරමුණින් සිදු කරන ස්වයං-විසංවාදී ප්‍රකාශනය.

මිට නිදසුන් වශයෙන් ඇචිලිස් විරුද්ධාභාසය(Achilles paradox ක්‍රි.පු. 5 වෙනි සියවසේ ජිවත් වූ ෂෙනෝ නම් ග්‍රීක දාර්ශනිකය ඉදරිපත් කරණ ලද්දකි) සහ මෘෂා විරුද්ධාභාස(liar paradox). විරුද්ධාභාස අතරින් වඩාත්ම අභියෝගාත්මක විරුද්ධාභාසය රාශි විරුද්ධාභාසයයි(heap paradox).මෙය ද අයත්වන්නේ කලින් සඳහන් කළ ඒවා සේම පුරාතන ග්‍රීසිය සමයටය. රාශි විරුද්ධාභාසයට අනුව පෙන්වා දෙනු ලබන්නේ එක් වැලි කැටයකින් වැලි ගොඩක්(රාශියක් = heap) නොසෑදෙන බවයි. එලෙස එක වැලිකැටයකින් වැලිගොඩක් සෑදෙන්නේ නැතුවා සේම වැලි කැට දෙකක්, තුනක් හෝ හතරක් වුව වැලිගොඩක් සෑදීමට සමත් නොවේ. එසේ නම් එක් තනි වැලිකැටයක් එකතු කළ විට එවැනි වැලි එකතුවක් වැලිගොඩක් හෙවත් වැලිරාශියක් බවට පත්වන්නේ කුමන අවස්තාවක දී ද? (කුමන ලක්ෂ්‍යයේ දී ද?).
රාශි විරුද්ධාභාසය අනුමිති(implications) බොහොමයකින් යුක්තයි. නිදසුනක් ලෙස ගබ්සාව පිලිබඳ විවාදය දැක්විය හැකියි: ආරම්භක වශයෙන් හුදෙක් සෛල කිහිපයක එකතුවක් වන භ්‍රෑණයා ජිවය සහිත පුද්ගලයෙකුවන්නේ කුමන අවස්ථාවේ දී ද? (එනම් කීවෙනි සෛලය එක් වූ විට ද?). මේ ආකාරයේ විරුද්ධාභාස අපට සන්තතිවල(continuums) ස්වභාවය පිළිබඳව අපට උගන්වයි. එක් යම් දෙයක් තවත් දෙයක් බවට පත්වන එක් තනි නිශ්චිත ලක්ෂ්‍යයක් (අවස්ථාවක්) සන්තතිවල නොමැත.
රාශි විරුද්ධාභාසයේ වෙනත් විචල්‍යයක්: පුද්ගලයෙකු මුඩු හිස් ඇත්තෙකු(‘තට්ටයෙකු’) බවට පත්වන්නේ කුමන ප්‍රමාණයක කෙස් ටිකක් අහිමි වූ අවස්ථාවේ දී ද?






ප්‍රතිචාරයක් ලබාදෙන්න