කැලෑ බල්ලන් කිවිසුම් අරින්ට අරින්ට, ඉන් අදහස් වන්නේ ඔවුන් දඩයමේ යාම සඳහා සූදානම් බව යයි නව අධ්‍යයනයකින් හෙළිවෙයි.

බොට්ස්වානාහි කැලෑ බල්ලන් සිය වසම් නැතිනම් සන්තක ප‍්‍රදේශ සළකුණු කරන ආකාරය ගැන අධ්‍යයනයක යෙදෙමින් සිටි සත්ව විද්‍යාඥයන් පිරිසකට අමුතු යමක් දැකගත හැකිවිය: එනම් එම සුනඛයන් කිවිසුම් හරිමින් සිටින බවයි. එකක් දෙකක් නොව බොහොමයක් ම කිවිසුම් හරිමින් සිටින බවයි.  අනතුරුව, විද්‍යාඥයන් පිරිස එකිනෙකට වෙනස් කැලෑ බල්ලන් රංචු පහක කිවිසුම් රටා නිරීක්ෂණය කළහ. එහිදී ඔවුන් තීරණය කළේ කිවිසුම් යාම මේ බල්ලන්ට (මිනිස් අපට මෙන්) සෙම්ප‍්‍රතිෂ්‍යාවක් සෑදිගෙන එන නිසා සිදුවන්නක් නොවන බවයි. විද්‍යා ලේඛිකා ට‍්‍රචි වොට්සන් National Geographic සඟරාවට වාර්තා කරන අන්දමට, සත්ව විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත්තේ දඩයමේ යන්නේද? නොයන්නේද? යන්න ගැන රංචුව අතර  මත විමසීමක් සිදුවන අවස්ථාවල දී සිය ‘වරණය’ දැක්වීමට සුනඛයන් කිවිසීම උපයෝගී කර ගන්නා බවයි.

රස බොජුනක් සොයා දඩයමට පිටව යාමට පෙර කැලෑ සුනඛයන් ‘රැළියක්’ ලෙස නම් කළ හැකි සාමුහික චාරිත‍්‍රයක යෙදෙන බව සොයාගෙන තිබේ. මෙම වීරියසම්පන්න  චාරිත‍්‍රයේ දී සුනඛයෝ තදින් වලිග වනමින්ද, හිස් එකට එක ගාවමින්ද එහාට මෙහාට දුව යති. BBC සේවය දක්වන අන්දමට එක්සත් ජනපදයේ, වේල්සයේ සහ  ඕස්ටේ‍්‍රලියාවේ පර්යේෂකයෝ බොට්ස් වානා විලෝපීය සංරක්ෂණ භාරයේ දී (Botswana Predator Conservation Trust) මේ ආකාර ‘රැළි’ 68 ක් නිරීක්ෂණය කළහ. සමහර අවස්ථාවල මේ රැළි අවසන් වන්නේ සුනඛයන් සියළු දෙනා එක්ව දඩයම සඳහා පිටත්ව යාමෙනි. අනෙක් අවස්ථාවල සුනඛයෝ කිසිවක් නැතුව බිම වැතිර නිදා ගනිති. රැළියක දී කිවිසීම් වැඩිවන තරමට සුනඛයන පිටත්ව ගොස් දඩයමේ යෙදීමට ඇති අවස්ථාව වැඩි බව පර්යේෂකයන් කණ්ඩායමට නිරීක්ෂණය විණ. අප‍්‍රිකානු කැලෑ බල්ලන් ගත්විට, කණ්ඩායම අතර මත එකඟතාවක් ඇතිකර ගැනීම පිණිස වරණය ප‍්‍රකාශ කිරීමේ යාන්ත‍්‍රණයක් ලෙස කිවිසීම ක‍්‍රියාත්මක වන බව (යොදා ගැනෙන බව) විශ්වාස කිරීමට පර්යේෂකයන්ට මග පෑදුවේ එකී සම්බන්ධතාවයි. ඔවුහු සිය සොයා ගැනීම් Proceedings of the Royal Society B සඟරාවෙහි පළ කළහ.

කිවිසීමෙන්  ඡන්දය ප්‍රකාශ කිරීම  සම්පූර්ණයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී කටයුත්තක් නොවේ. රංචුව තුළ සිටින අධිපති, බලගතු සුනඛයෙකු රැළියට මුල පිරූ විට රංචුවට දඩයමේ යෑමේ තීරණය ගැනීමට කිවිසුම් තුනක් පමණක් ප්‍රමාණවත් වූ බව අධ්‍යයනයෙන් දැක්වේ. එසේ වුවද, රංචුවේ අප‍්‍රධාන සාමාජිකයන් රැළියට මුල පුරන විට, දඩයමට යාම පටන් ගැනීමට නම් අඩුම තරමින් කිවිසුම් දහයක් වත් අවශ්‍ය වේ.

මියකැට්

වෙනත් වෙනස් ස්ථානයක් කරා පිය නැගිය යුත්තේ කොයි අවස්ථාවේ දී ද යන්න පිළිබඳ එකඟතාවකට එළඹීමේ දී සංඥා භාවිතා කිරීම සතුන් අතර අසාමාන්‍ය හෝ දුලබ දෙයක් නොවේ. (අප‍්‍රිකාවේ වෙසෙන අළු පැහැති මුගටි වර්ගයක් වන) මියකැට්  ‘සල හඩ’ (moving calls) නගති. (දකුණු ඇමරිකානු) කැපුචින් වානරයෝ වේගී කම්පන ධ්වනි නගති. මී මැස්සෝ පවා ‘නලා පිඹීම් සංඥාව’ ලෙස දැක්වෙන ශ‍්‍රව්‍ය ඉඟියක් පාති. එමෙන්ම බොහෝ සත්ව විශේෂ සලකතොත්,  මුළු රංචුවම එක්ව පිටව යාමට නම් එක්තරා සංඥා ගණනාවක් අවශ්‍ය වේ. අධ්‍යයනයේ කතුවරු දක්වන අන්දමට නම් සාමුහික තීරණ ගැනීමේ දී සත්තු ඝන පූරණයක් සොයති. කෙසේ වෙතත්, ‘‘කිවිසුම අප‍්‍රිකානු කැලෑ බල්ලන්ගේ ප‍්‍රධාන සංනිවේදන කාර්යයක් හැටියට මීට පෙර ලේඛන ගත කර නැතැ’’යි පර්යේෂකයෝ සඳහන් කරති.

මේ නව අධ්‍යයනය, අප‍්‍රිකානු කැලෑ බල්ලන්ගේ සංකීර්ණ සමාජ ව්‍යුහය ගැන අපේ ඇති අවබෝධය තීව‍්‍ර කරයි. ප‍්‍රජනනය ගැන සලකද්දී සුනඛයින් අතිශය ධුරාවලීගත බව පෙනී යයි. ; සාමාන්‍යයෙන් ගතහොත් අභිජනනය කරන්නේ ප‍්‍රමුඛ ජෝඩුව පමණක්ය. බලූ පැටව් රැක බලා ගැනීම පිණිස රංචුවේ සෙස්සෝ ඒකරාශී වෙති. එහෙත්, අනෙක් කාරණාවලදී – නිදසුනක් දක්වතොත් දඩයම් කිරීම වැනි කටයුතු වලදී අප‍්‍රිකානු කැලෑ බල්ලන් ‘ඇත්තටම ආඥාදායක නොවන්නේය’ යයි අධ්‍යයනයේ සම කතෘ රීනා වෝකර් National Geographic සඟරාවේ ට‍්‍රචි වොට්සන්ට කියා සිටියි. වැඩියෙන් ඇහුම් කන් දෙන්නේ ප‍්‍රමුඛ සුනඛයාගේ කිවිසුමට විය හැකි වුවත් රංචුවේ සෙස්සන්ට ද ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වෙන බව ද  පෙනී යයි.

 

SMITHSONIAN Smart News හි African Wild Dogs Sneeze to Vote on Group Decisions ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending