ඉතා ඈත  කාලයේ පෙන්ගුවින් පක්ෂීන්ගේ මුතුන් මිත්තෝ ඈත අහසේ පියාසර කළහ. ඉතින් එහෙනම් පෙන්ගුවින් පියෑඹීම අතහැර දැමුවේ ඇයි ? කිසිවකුටත් මීට නිසි පිළිතුරක් දීමට නොහැකි වී තිබුනත් විද්‍යාඥයෝ දැන් පිළිතුරක් දීමට සමත්ව සිටිති : පෙන්ගුවින් ඉගිලෙන්නේ නැත්තේ පිහිනීම වඩා වාසිදායක නිසයි. පියැඹීමේ හැකියාව තවමත් අත්හැර නොමැති, පෙන්ගුවින් සමාන මුහුදු පක්ෂියන් වන මර්(murres) ගැන සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ කිමිදෙන්නෙකු සතු මෙන්ම පියාඹන්නෙකු සතු යන කාර්යයන් දෙකම කිරීම වඩාත් (ශ්‍රම වශයෙන්)වියදම් අධික හා අකාර්යක්ෂම බවයි.

පෙන්ගුවින් පක්ෂීන් මිට වසර මිලියන 70 කට පෙර අහසේ පියාසර කිරීම අතහැර සාගර රැළි මත සිය ආධිපත්‍යය පිහිටු වන්නට හැකි වූ බවට දිගු කාලයක් මුළුල්ලේ පැවති උපකල්පනයට නව සොයා ගැනීමෙන් ද සහාය පළවේ. ‘‘අහසේ සහ සාගරයේ යන දෙකේම සැරීම සඳහා ශක්තිය වැය කිරීම ගැන සැලකිල්ල යොමු කිරීම මගින් මේ අධ්‍යයනය හොඳ දායකත්වය ලබා දී තිබෙනවා.’’ රැලේහි උතුරු කැරොලිනා රාජ්‍ය සරසවියේ ඩැනියෙල් කේසෙප්කා කියා සිටියි. පෙන්ගුවින් පරිණාමය ගැන හදාරණ ඔහු මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවකි.

පෙන්ගුවින් පක්ෂීන් අහසේ ආධිපත්‍යය අතහැර දැමුවේ ඇයිද යන්න ගැන ඇතුළු නුවණක් ලබාගනු වස් පර්යේෂකයන් යොමු වූයේ ඝන තුඩැති හොටයක් සහිත මර් (Uria lomvia)  පක්ෂීන් වෙතය. මොවුහු, ඇලස්කාව කැනඩාව ආදී උතුරුකරයේ ස්ථානවල පිහිටි දඹවල කැදලි සාදති. මේ පක්ෂියා දිය මත යෑමට උගේ පියාපත් යොදා ගන්නා අතර එසේ කරන්නේ ප්ලැංක්ටන්(ප්ලවාංගි = ජලයේ වෙසෙන ක්ෂුද්‍ර ජීවී වෙසෙසක්) සහ ක‍්‍රිල් (ඇන්ටාක්ටික් සාගරය අවට වෙසෙන, කුඩා ප්ලවාංග කවච විශේෂයක්) අල්වා ගැනීමටය. එසේ වුවද, ඔවුන් පියෑඹීම මුළුමනින්ම අතහැර නැති බවයි. එහෙත් ඔවුන් පියාඹන්නේ ඉතා අපහසු වෙනි. ‘‘මර් බොහොම අදක්ෂයි පියාඹන්න. ඒගොල්ලෝ බොහොම තදින් පියාපත් ගහනවා,ගහනවා. බිමට බහින කොටත් ඒ වගේම තමයි.’’ නව අධ්‍යයන වාර්තාවේ කතෘ කැනඩාවේ විනිපෙග්හි මැනිටෝබා සරසවියේ කයිල් එලියට් කියා සිටියි.

උතුරු කැනඩාවේ කැදලි තනන මර් පක්ෂීන් ගැන පර්යේෂන පැවැත්වීමට ගිය විද්‍යාඥයෝ මර් පක්ෂීන්ගේ ශක්තිය වැයවීම සොයා බැලීමට ඔවුන් අල්වා ටේ‍්‍රසර් අණු එන්නත් කළහ. ඊට අමතරව ඔවුන් කොපමණ ගැඹුරට කිමිදෙන්නේ ද, අහසේ කොපමණ වේලා ගත කරන්නේ ද දියයට සහ පොළොවෙහි යන්න සොයා බැලීමට සංවේදක(sensors) සවි කරනු ලැබීය.

ප‍්‍රතිඵල පෙන්නුම් කළේ පියෑඹීම මර් පක්ෂීන්ට බරපතල කාර්යයක් වන බවයි. වෙනත්  ඕනෑම පක්ෂියෙකුට වඩා මර් පක්ෂියා පියාඹන සෑම මිනිත්තුවක් සඳහාම වැඩියෙන් ශක්තියක් වැය කරන බව අනාවරණය විය. විවේකිව සිටින විට පියාපත් සඳහා වැය කරන ශක්තිය මෙන් 31 ගුණයක්  පියාපත් සලද්දී වැය කරයි. මෙය කුරුල්ලෙකුට සම්බන්ධ ඉහළ අනුපාතයකි. අනෙකුත් පෘෂ්ඨ වංශිකයන් බොහෝ වෙහෙස වී ක‍්‍රියා කරන විට පවා විවේකීව සිටිනවිට ට (සමග සංසන්දනයේ දී) වඩා දහනය වන ශක්ති අනුපාතය 25 ගුණයක් පමණයි. මර් පක්ෂීහු දියේ දී වෙනත් බොහෝ පක්ෂීන්ට වඩා කාර්යක්ෂමතාවක් දක්වති. එකම ප‍්‍රමාණයේ පෙන්ගුවින් පක්ෂියෙකු හා සසඳන විට මර් පක්ෂියා කිමිදීමට වැඩි වෙහෙසක් දරන්නේ යයි පෙන්වා දෙන පර්යේෂකයන් පවසා සිටින්නේ එහෙත් ඉගිලීම අත් හැරීම ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මග පෑදුව බවයි.

පර්යේෂණයේ ප‍්‍රතිඵල ‘පියෑඹීමේ දී සියළුම පක්ෂීන්ට බොහෝ කොට වැය වන්නේ එකම පිරිවැයක්ය’ යන උපකල්පනයට පටහැනි යයි එලියට් කියයි. “මර් පක්ෂීන් සම්බන්ධව බැලූවොත් එය හිතුවාටත් වැඩියි. එසේ වුවත්, පියෑඹීමේ හැකියාව විලෝපියන්ගෙන් මිදී පළායාමටත් කැදැල්ල හා ආහාර සැපයෙන භූමිය අතර එහා මෙහා යාමටත් උපකාර වෙනවා”.  අනෙක් අතට, පූර්වජ පෙන්ගුවින් පක්ෂීන්ට පියෑඹීමට නොහැකිවීම වාසියක් බවට පත් වූ සෙයකි. එය ඔවුන්ට විශාලව වැඞීමට, වැඩි ගැඹුරකට කිමිදීමට වේගයෙන් පිහිනීමට සහ දියයට වැඩි වේලාවක් ගත කිරීමට ආධාර විය. ඉන් තවත් දෙයක් ද ගම්‍ය වෙයි. ඔවුනට වැඩි වැඩියෙන් එමෙන්ම වැඩි විශාල ගොදුරු අල්වා ගැනීමට හැකි වූ බවයි.

පුරාණ පෙන්ගුවින් පක්ෂීන් දියයට පරාක‍්‍රමය වෙනුවෙන් පියාඹීමේ හැකියාව කැප කළේය යන අදහස තහවුරු කිරීම සඳහා මෙම අධ්‍යයනයෙන් වටින සාක්ෂි සැපයෙන්නේ යයි ක‍්‍රිස් තැක්ස්ටර් පවසයි. හෙතෙම එක්සත් රාජධානියේ තෙට්ෆර්ඞ් හි පිහිටි කුරුළු විද්‍යා බි‍්‍රතානඥ භාරයේ (British Trust for Ornithology) මුහුදු පක්ෂී පරිසරවේදියකි. එය එක වාසියක් වෙනුවෙන් තවත් වාසියක් කැපකිරීමේ ‘ගණුදෙණු උපකල්පිතය’ ලෙස දැක්වේ. “මෙම උපකල්පිතය ක‍්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම පිණිස මේ අධ්‍යයනය ප‍්‍රමුඛ ඉදිරි පියවරක්” ඔහු වැඩි දුරටත් දක්වයි.

AmeRican Association For The Advancement Of Science(AAAS) – SCIENCE සඟරාවෙ Why Penguins Don’t Fly යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending