මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

නුතන දර්ශනවාදයේ ප්‍රධාන ශාඛාවක් ලෙස හඳුන්වා දිය හැකි ඥානවිභාගය යනු ඥානයේ ස්වභාවය හැදෑරීම හෙවත් අධ්‍යනයයි. පුරාතන ග්‍රීකයෝ  ඥානය, සත්‍යය සහ විශ්වාසය අතර වෙනස්කම් ගැන විමසා බැලුහ. ප්ලේටෝට නම් ඥානය අදාළ වුයේ  ස්වරූප, පරම සිද්ධාන්තය,  විචාරය භාවිත කිරීම මගින් පමණක් ප්‍රග්‍රහනය කල හැකි වෙනස් නොවන යථාර්ථයටයි.  මෙයට පරස්පරව, ප්ලේටෝට අනුව ඉඳුරන්ගෙන් ග්‍රහණය කරගත් සදා වෙනස්වන ලෝකය විෂයවන්නේ ඥානයට වඩා විශ්වාසයටයි.

පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ  නිකලස් කොපනිකස් විසින් 16 වැනි සිය වසේදී ආරම්භ කරණ ලද  විද්‍යා විප්ලවය, බයිබලයේ සහ(ක්‍රිස්තියානි) සභාවේ ඉගැන්වීම්වලට පටහැනි විය.  ඒ මොහොත වන තුරු ඒවා සැලකුණේ සත්‍යයේ කෝෂ්ටාගාර ලෙසය. ඥානය පිළිබඳ ගැටලුවට මින් නව ප්‍රවේශයක්  සැපයින — නිදසුනක් දක්වතොත්, රෙනේ ඩේකාට්ගේ හේතුවාදී සංශයවාදය දැක්විය හැක. ඉන්ද්‍රියයන් ගෙන්  ලැබෙන සාක්ෂි පිළිගැනීමට පදනමක් නැතයි ඔහු තර්ක කල අතර තමන් සිතමින් සිටින නිසා තමන් ජිවත්වන බව දැනීම එකම නිශ්චිත දෙය යයි ඔහු නිගමනය කළේය.

ඩේකාට් ට පටහැනිව ජෝන් ලොක් වැනි ආනුභුතවාදින් කියා සිටියේ අපේ අදහස් සම්පුර්ණයෙන්ම හට ගන්නේ ධාරනා(impressions) පිලිබඳ අපේ අවබෝධයෙන් බවයි. මේ අදහස තවත් ඉදිරියට ගෙන යමින් ස්කොට්ලන්ත ජාතික ඩේවිඩ් හියුම් අත්දැකීමෙන් තොරව හටගන්නා කිසිම දැනුමක් ඇතිවීමේ හැකියාව ප්‍රතික්ෂේප කළේය. රැඩිකල් මතධාරී සංශයවාදියෙකු වූ ඔහු දැක්වුයේ අප ඇත්ත හැටියට ගන්නා බොහෝ දේ මානසික පුරුද්දෙන් ඇතිවන දේ බවයි. පැවැත්ම පිලිබඳ අප දනිතැයි සිතා සිටින කිසිම දෙයක්ම පාහේ එලෙස යයි තර්කානුකුලව පෙන්වා දිය නොහැකියි ද ඔහු කියා සිටියේය.

ඥානය අර්ධ වශයෙන් හට ගන්නේ ඉන්ද්‍රීය ධාරනයන්ගෙන් වන්නේ නමුත් මනුෂ්‍යයන්ගේ අවබෝධයට ආවේනික ඇතැම් මුලික  ‘ස්වරූප’ හෝ (කාලය, අවකාශය සහ හෙතුඵලතාව වැනි) ‘ප්‍රවර්ග’ මත රඳා පවතින්නේ යයි ජර්මානු දර්ශනවාදියෙකු වූ ඉමානුවෙල් කාන්ට්(1724–1804) තර්ක කළේය. තවත් ජර්මානු ජාතිකයෙකු වූ G.W.F. හේගල් කියා සිටියේ යථාර්ථය සහ ඒ ගැන අපේ දැනුම අතර වෙසෙසි බවක් හෙවත් වෙන්කොට දැක්වීමක් නැති බවයි. මේ ස්ථාවරය හඳුන්වනු ලැබුවේ ‘පරමාදර්ශවාදය’(absolute idealism) ලෙසයි. මේවා සහ ඥානවිභාගමය ගැටළුවලට අදාළ අනෙකුත් ප්‍රවේශයන් ගැන thathu මගින් ඉදිරියටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Epistemology යන කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending