දුර්ලභ නව මීයන් විශේෂයක්, ඒ කියන්නේ ඇමරිකානු නගරවල ගැවසෙන මීයන් මෙන් සිව් ගුණයක් පමණ විශාල මී විශේෂයක් නිරිත දිග පැසිපික් සාගරයේ ශාන්තිකර සොලමන් දූපත් වලින් හඳුනාගනු ලැබ ඇත. දකුණු ශාන්තිකර සාගර ප‍්‍රදේශයේ කොදෙව් රැස තුළ නව මී විශේෂයක් මෙලෙස සොයාගෙන ඇත්තේ වසර 80 කට පසුවය. පොල් ගෙඩි පළන ‘විකා ’(vika) නැමැති යෝධ මී විශේෂයක් වන්ගුනු දූපත් වල ජීවත්වන බවට කට කතාවක් ක්ෂීරපායි විශේෂඥ ටිරෝන් ලේවරිට ආරංචි වූයේ 2010 වසරේ දීය. මේ දූපතේ ජනතාව අතර ‘විකා’ මීයන් ගැන ගීත මෙන්ම ළමා කාව්‍ය ද අසන්නට ලැබේ. එහෙත් කිහිප වතාවක්ම සොයා බලා සමීක්ෂණය කළ ද ලේවරිට සත්වයාව සොයා ගැනීමට නොහැකි විය. ‘‘මොවුන් මේ කියන්නේ ඇත්තටම වෙනමම මී විශේෂයක් ගැනද එහෙම නැතිනම් මිනිස්සු සාමාන්‍ය කළු මීයන් ‘විකා’ යන නාමයෙන් හඳුන්වනවා ද යන සැකය සිතට දැනුනා’’ ලේවරි චිකාගෝ හි ක්ෂේත‍්‍ර කෞතුකාගාරයේ සිට ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔය අතරවාරයේ 2015 වසරේ දී රේන්ජර්වරයෙක් (වන පල්ලෙක්), බිම ඇද වැටුණු ගසක සිට ඉක්මණින් පැන යාමට තැත් කළ මීයෙකු අල්වා ගත්තේය. ‘‘මේ අල්ලා ගත් මීයා දුටු සැණින්ම මට තේරුම් ගියා මේ මීයා සුවිශේෂි එකෙකු බව’’ ලේවරි පෙන්වා දෙයි. මේ මීයා, සොලමන් දූපත් වලට ආවේනික මීයන් විශේෂ ලෙස හඳුනාගනු ලැබ ඇති විශේෂ අටට ම අයත් නැත. ඉතින් ඊළඟට ලේවරි මේ සොයාගත් මීයා කෞතුකාගාරයේ මී එකතුව හා සංසන්දනය කර බලා උගේ DNA සෝදිසි කර බැලීය. එහිදී ඔහුට සනාථ වූයේ මේ නම් නව මී විශේෂයක් බවයි. ඔහු එම විශේෂය නම් කළේ උරෝමිස් විකා(Uromys vika) යනුවෙනි.
මේ මීයාගේ නාසයේ සිට වලිගය අග දක්වා මැන බැලූ විට එය සෙන්ටිමීටර 46 (අඟල් 18) ක් බව පෙනී ගියේය. සොලමන් දූපතෙහි මේ මී විශේෂය (විකා) බරින් කිලෝග‍්‍රෑමයක් (රාත්තල් 2.2 ක්) දක්වා විය හැකිය. සංසන්දනයක් ලෙස සලකා බැලූවහොත් අතීතයේ යුරෝපයේ නැව්වල නැගී ලොව පුරා ව්‍යාප්තව ගිය කළු මීයන්ගේ සාමාන්‍ය බර ග‍්‍රෑම් 200 ක් පමණයි.

වසරක් පාසා ලොව පුරා නව සත්ව විශේෂ දහස් ගණන් සොයා ගනු ලැබේ. එහෙත්, එම ලැයිස්තුවෙන් භාගයක් පමණ කෘමීන් සහ (ගෝනුසු, මකුළු හා කිඩවන් ඇතුළු ව) අරක්නිඩා ගණයේ සන්ධිපාදකයන් බව වාර්තාවේ. ඇමරිකාවේ වයඹ දිග සහ කැනඩාවේ බිග්ෆුට්(Bigfoot) නම් සිරුර ලොමින් පිරුණු අද්භූත (හොමොනොයිඩ?) සතෙකු සිටින්නේ යැයි විශ්වාස කරන්නෝ ද සිටිති. එහෙත් එවන් සාක්ෂි රහිත විශ්වාස තිබුණේ වී නමුදු ලොව පුරාවටම මේ වනතුරුත් සාපේක්ෂව විශාල සතුන් තවමත් අපටසොයාගත නොහැකිව ඇත්නම් එය විරල සිද්ධියකි. සෑම වසරකම නව ක්ෂීරපායි සතුන් සොයා ගනු ලබන්නේ නම් ඒ අතළොස්සක් පමණක් බවත් ලේවරි පෙන්වා දෙයි. විකා මීයාගේ ආදිතමයන් පහුරක් වැනි යමක් මත පාවී මේ දූපතට එන්නට ඇතැයිද අනතුරුව හුදකලා වී වසර ගණනාවක් ගතවීමත් සමගම නව විශේෂයක් හැටියට පරිණාමය වන්නට ඇතැයි ද ඔහු අදහස් කරයි.
එය එසේ වුවද, පසුගිය සැප්තැම්බර් 27 දා Mammalogy today සඟරාවේ විස්තර කර ඇති අන්දමට විකා මීයන් දැනටමත් වඳ වී යාමට ආසන්නය. ආවේනික වාසස්ථාන කුඩා වීමත්, ගහණයේ ඝනත්වය පහළ මට්ටමක තිබීමත් හේතුවෙන් මේ විශේෂය ‘අතිසෙයින් අන්තරයාට ලක්වූ’(critically endangered) විශේෂයක් ලෙස සැලකේ; (වන්ගුනු දූපත්වල) වානිජ මට්ටමින් සිදු කරන දැව කර්මාන්තය ද මේ තත්ත්වයට බලපා ඇත. ‘‘මේ තත්ත්වය කොයි තරම් දරුණු ද කියන්නේ නම් මේ සතා අපට හම්බ වූයේ නැත්නම් ආයේ කිසිදාක හොයා ගන්න ලැබෙන එකකුත් නැහැ’’ ලාවේ කියයි. ‘’උන්ව හම්බ වුණ ප‍්‍රදේශය විතරයි දැව ජාවාරම් කරුගෙන් බේරී ඉතිරිව තිබූ වනයේ කොටස’’

Live Science හි පලවූ Giant Rodent:18-Inch Rat Species Discovered යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න