දැන් එය නිල වශයෙන් පිළිගැනීමට ලක්වී තිබේ: වයස් ගතවීම යනු තනිකරම හිතේ ඇතිවෙන්නක්. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ මෙතැන අප හිත කියලා කියන්නේ මොළයටයි. විශේෂයෙන්ම හයිපොතැලමසයටයි(hypothalamus). වර්ධනය, ප‍්‍රජනනය සහ පරිවෘත්තියට(metabolism ) අදාළ මොළයේ කොටස තමයි හයිපොතැලමසස. සිරුර වයස්ගතවීමේ සම්පූර්ණ කි‍්‍රයාදාමය ද  පාලනය කරන්නේ මොළයෙහි  මෙම කොටස නැතිනම් කලාපය තමයි යයි 2013 දී නිව්යෝක් නුවර, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීය. දැන් එම කණ්ඩායමම මීට අදාළ නිශ්චිත යාන්ත‍්‍රණය හඳුනාගෙන ඇත.

මේ යාන්ත‍්‍රණය පවතින්නේ ස්නායුක මුල් කලල සෛල හෙවත් පියවි සෛල කුඩා පොකුරකය(small cluster of neural stem cells). මොළයේ නව නියුරෝන සෑදීමට වගකිව යුත්තේ මේ පොකුර බව මේ වන විටත් සොයා ගනු ලැබ ඇති කාරණාවකි. අප වයසට යද්දී මේ පියවි සෛල ප‍්‍රමාණය අඩුවෙන්නට පටන් ගනී. එහෙත් වැඩිහිටි මීයන්ගේ මොළයට පියවි සෛල එන්නත් කිරීමෙන් වයස් ගත වීමේ කි‍්‍රයාදාමය පමා කිරීමට හෝ ඇතැම්විට ආපසු හැරවීමට පවා පුළුවන් බව පර්යේෂණ කණ්ඩායම සොයා ගත්හ.

පර්යේෂණයේ මෙම අවස්ථාවට ළඟාවීමට පෙර වයස්ගතවීමට බලපාන සෛල මේවා බව ඔප්පු කිරීමට පර්යේෂකයන්ට සිදු විය. ඔවුන් එය සිදු කළේ මැදි වයසේ මීයන්ගේ මොළවල එවන් සෛල වරණිය ලෙස(තෝරාගෙන) විනාශ කිරීමෙනි. “(පර්යේෂණයට  යොදා ගත්) පාලක මීයන් කණ්ඩායම හා සංසන්දනය කිරීමේදී මෙම හානිය (සෙසු මීයන්ගේ) වයස් ගත වීමේ කි‍්‍රයාදාමය බෙහෙවින් වේගවත් කළ අතර හානියට පත් පියවි සෛල සහිත මීයන් සාමාන්‍යයට වඩා කලින් මිය ගියා” යයි පර්යේෂණය මෙහෙයවූ ආචාර්ය ඩොන්ග්ෂෙන්ග් කායි ප‍්‍රකාශ කළේය. අනතුරුව පර්යේෂකයෝ කලින්ම පියවි සෛල විනාශ කරන ලද මැදි වයස් මීයන්ගේ මෙන්ම වඩා වයස් ගත මීයන්ගේ මොළවල මෙම කලාපයට අලූතෙන් පියවි සෛල එන්නත් කිරීමට උත්සාහ කළහ.

පර්යේෂකයන් කලින් අපේක්ෂා කළ අන්දමටම,  ප‍්‍රති-වයස්ගතවීමේ බලපෑම් ඇති කිරීමට මේ එන්නත්වලට නිශ්චිතවම හැකි විය. මේ පර්යේෂකයන් විසින් තවදුරටත් පෙන්වා දෙනු ලබන්නේ පියවි ෙසෙල ඒවායේ ප‍්‍රති වයස්ගතවීමේ විශ්මය ජනක කාර්යය ඉටු කරන්නේ  ජාන ප‍්‍රකාශනය කෙරෙහි බලපාන ක්ෂුද්‍ර-RNA නම් අණු මුදාහැරිමෙන් බවයි. තව ද, පියවි සෛල බහිර්සෝම(exosomes) යනුවෙන් හඳුන්වනු ලබන කුඩා අංශු ඇතුළත කශේරුක තරල තුළට මුදා හරියි.

හයිපොතාලමසයට බහීර්සෝම එන්නත් කිරිම පදනම් කරගෙන වයසට යාමට සම්බන්ධ රෝගාබාධවලට නව පිළියම් වර්ධනය කිරීම හැකිවෙතැයි නව සොයා ගැනීම සමග දැන් අපේක්ෂා තබා ඇත.

BBC (Science and Technology) FOCUS සඟරාවෙහි BRAIN’S AGEING MECHANISM DISCOVERED යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending