තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් අපේ ලෝකය වෙනස් කිරීමට සමත් වුවා පමණක් නොව අපේ පැවැත්ම හා විශ්වය තුල අපට හිමි ස්ථානය ගැන අපේ දෘෂ්ටිය වෙනස් කිරීමට ද සමත් විය. ඒවා අතුරෙන් ප්‍රධාන සොයා ගැනීම් 10ක් ගැන තතු පළකරන ලිපියක II කොටසයි, මේ. I කොටස ඊයේ පළවිය. (මෙතනින් කියවන්න)
- අඥාත ද්‍රව්‍ය පදාර්ථ ව්‍යාප්තිය:

(CL0024+17 මන්දාකිණි පොකුරෙහි කේන්ද්‍රය වටා දැවැන්ත අඥාත පදාර්ථ වලල්ලක් මේ හබල් අනුරූපයෙන් දැක්වේ)
1970 ගණන් වලදී වේරා රුබින් (1928-2016 — මන්දාකිණි භ‍්‍රමණ සීඝ‍්‍රතාවයන් ගැන පුරෝගාමී පර්යේෂණ සිදු කළ ඇමරිකානු අභ්‍යවකාශගාමීනියකි). දැවැන්ත කොස්මික් (අන්තරීක්ෂ) සොයා ගැනීමක් සිදු කළා පමණක් නොව එසේ කිරීමේ දී අළුත්ම විෂයකට පදනම ද දැමුවාය. මන්දාකිණි භ‍්‍රමණ චක‍්‍රය අධ්‍යයනය කිරීමේ දී පුරෝකතනය කළ මන්දාකිණි කෝණික චලනයෙහි (predicted angular motion of the galaxies) සහ ඒවායේ නිරීක්ෂිත චලනය(observed motion) අතර වෙනසක් ඇති බව වේරා රුබින්ට පෙනී ගියේය. එහිදී ඇය තීරණය කළේ තාරකා භ‍්‍රමණය වන වේගය නිර්ණය කිරීමේ දී දෘශ්‍ය පදාර්ථ පමණක් ඊට ප‍්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම, සාමාන්‍ය පදාර්ථවලට පමණක් මන්දාකිණි එකට එක්ව තබා ගැනීමට ප‍්‍රමාණවත් ගුරුත්වය ජනනය කිරීමට නොහැකි බවද ඇය තීරණය කළාය.
විශ්වයේ ස්කන්ධයෙන් බොහොමයක් ආලෝකය විමෝචනය කරන්නේ වත් පරාවර්තනයවන්නේවත් සහ අවශෝයනකරන්නේ වත් නැති බව රුබින් ඔප්පු කළ අතර දෘශ්‍ය නොවන පදාර්ථය ‘අඥාත පදාර්ථ’ (දැකිමට නොහැකි) ලෙස නම් කළාය. අඥාත ද්‍රව්‍ය හෙවත් අඥාත පදාර්ථ(dark matter) යනු කුමක්දැයි නිශ්චිතව කීම තවමත් අසීරු වුවද එය ‘සාමාන්‍ය’ (එනම් අප දන්නා) පදාර්ථ මෙන් ප්‍රෝටෝන (protons) හා නියුට්‍රෝන (neutrons)වලින් සෑදි ඇති බව අපි දනිමු. මුලූ විශ්වයෙන්ම දළ වශයෙන් සියයට 27 ක් මෙම ‘අභිරහස්’ (අඥාත) ද්‍රව්‍යයෙන් සැදුම්ලන්නේ යයි අදහස් කෙරෙන අතර, එය අපට මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති අණු පරමාණුක පදාර්ථයන්ගෙන්(subatomic particles)සමන්විත වන්නේ යයි අනුමාන කෙරේ.
- කළු කුහර:

කළු කුහර පිළිබඳ ගණිතමය සංකල්පය ශත වර්ෂ ගණනාවක් තිස්සේ පවතින්නකි. එහෙත් ඒවායේ පැවැත්ම පිළිබඳ සාක්ෂි සොයා ගැනීම, හබල් දුරේක්ෂය දියත් කිරීමට පළමුව අපහසු කාරණාවක් විය. අභ්‍යවකාශයේ ගැඹුරුම කොටස් වල පැහැදිලි චිත‍්‍ර ලබා ගැනීම පිණිස නිර්මාණය කර ඇති මේ විස්මයජනක ඉංජිනේරූමය වික‍්‍රමය අභ්‍යවකාශ ගත කෙරුණේ 1990 දීය. කළු කුහර සතු අති දැවැන්ත ගුරුත්වය පිළිබඳව දැක්වෙන අනුරූප එමගින් සැපයෙයි. ඒවායේ අවටින් පදාර්ථ ඇද ගැනීමට හැකියාව කළු කුහරවලට ලැබෙන්නේ මේ අධික ගුරුත්වය හේතුවෙනි.
යෝධ තාරකා මියයන විට කළු කුහර නිර්මාණය වන්නේ යයි අදහස් කෙරේ. මියයන තාරකා, ඒවායේ බරෙන්ම ඇතුළට පුපුරා යාමෙන් කළු කුහර බිහිවෙන බවද කොපමණ ගුරුත්වාකර්ෂණයක් ඇත්දැයි කිවහොත් ආලෝකයට පවා (එහි ගුරුත්වයෙන් මිදී) ඉන් ගැලවිය නොහැකි බවද සැලකේ. සම්ප‍්‍රදායානුකූල ක‍්‍රම උපයෝගී කරගෙන කළු කුහර සෘජුවම සොයා ගැනීමට අපහසු එහෙයිනි.
- තාරකා බලගැන්වෙන්නේ විලයනයෙනි:
හීලියම් නිපදවීම සඳහා තාරකා සිය ශක්තිය සපයා ගන්නේ හයිඩ‍්‍රජන් න්‍යෂ්ඨික විලයනයෙන් හෙවත් හා වීමෙන් (nuclear fusion) යයි ඉංග‍්‍රීසි ජාතික ගණිතඥයෙකු, භෞතිකඥ සහ තාරකා විද්‍යාඥයෙකු වූ ආතර් එඩිංටන් 1920 දී පමණ යෝජනා කළේය. තවද, තාරකාවක් සිය හයිඩ‍්‍රජන් අවසන් වූ පසු වඩාත් බැර මූල ද්‍රව්‍ය (heavier elements) නිපදවිය හැකිය යන සිද්ධාන්තයක් ද හෙතෙම ගොඩ නැගීය.
- බහීර් ග‍්‍රහයන්(EXOPLANETS):
PSR B1257+12 යනුවෙන් නම් කර ඇති නියුට්‍රෝන තාරකාව වටා ග‍්‍රහයන් දෙදෙනෙකු කක්ෂගතව ගමන් කරන බව පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් වොල්ස්ශන් සහ කැනඩාවේ උපත ලද තාරකා විද්‍යාඥවරයෙකු වන ඩෙල් ෆ්‍රේල් නිවේදනය කළහ. මේ ග‍්‍රහයන් දෙදෙනා බහීර් ග‍්‍රහයන් ලෙස සනාථ කෙරුණු ප‍්‍රථම ග‍්‍රහ යුගලය විය. බහීර් ග‍්‍රහයන්(EXOPLANETS) ලෙස හඳුන්වනු ලබන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි තාරකාවක් වටා කක්ෂගතව සිටින ග‍්‍රහ ලෝකය. එවැනි ග‍්‍රහ ලෝක සෙවීම දුෂ්කරය. මන්ද ඒවා පිහිටා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈතිනි. එමෙන්ම ඒවා එතරම් ප‍්‍රභාවත් නොවීම ද ඊට බලපාන තවත් සාධකයකි. නාසා බහීර් ග‍්‍රහ සංරක්ෂණ වෙබ් අඩවිය () 2017 දෙසැම්බර් 10 දා දක්වන අන්දමට මුළු බහීර් ග‍්‍රහ සංඛ්‍යාව 3564 කි. කෙප්ලර් ව්‍යාපෘතියෙන් බහීර් ග‍්‍රහයන් වශයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක සංඛ්‍යාව 4496 කි.
- අඟහරු ග‍්‍රහයා මත ජලය:
![]()
අඟහරු ග‍්‍රහයා මතු පිට අඳුරු රේඛා සෘතු අනුව ගලා යන හා බැස යන බවක් පෙන්නුම් කරයි
මිනිසා ප‍්‍රථම වතාවට 1969 දී සඳ මත පා තබා දැවැන්ත පිම්මක් පැනීමෙන් අනතුරුව ඒ අවධියේම නාසා ආයතනයේ වයිකිං මෙහෙයුම යටතේ තවත් දැවැන්ත පිම්මක් පනිමින් 1976 දී අඟහරු ග‍්‍රහයා මත සරන (රෝවර – rover) යානාවක් ගොඩ බැස්වීය. එතැන් පටන් කොට මේ රතු ග‍්‍රහයා වෙත යවන ලද සරන යානා සහ චන්ද්‍රිකා මගින් සපයන ලද දත්ත වලින් දැක්වෙන සාක්ෂි හෙළි කරන්නේ කලක් මෙම ග‍්‍රහයා මත ජලය තිබූ බවයි. පුරාතණ ගංපත්ල සහ මහා පරිමාණ ගංවතුරවල ලක්ෂණ ඊට සාක්ෂි දරයි. තවද, තවමත් ඉඳහිට අඟහරු ග‍්‍රහයාගේ ද්‍රව ජලය ගලන බවට නාසා ආයතනයේ අඟහරු සෝදිසි කක්ෂගත යානය (Mars Reconnaissance Orbiter-MRO) මගින් 2015 දී ඒකාන්ත සාක්ෂි සපයනු ලැබීය.
How It Works(March 2018) සඟරාවෙහි පළවූ Top 10 Astronomical Discoveries යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න