මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
“මා සැමවිටමත් අවධානයෙන් පළකළ කාරනාවක් වන්නේ, මා හට මෙතෙක් හමුවී ඇති සදාචාරය පිලිබඳ සෑම පද්ධතියකම කතුවරයා ටික දුරක් තර්කනයේ මග සාමාන්‍ය අකාරයෙන් ගමන් කර දෙවියෙකුගේ පැවැත්ම තහවුරු කරයි නැතහොත් මනුෂ්‍යන්ගේ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරි පත් කරයි යන්නය” යි ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකවරයෙකු වූ ඩේවිඩ් හියුම් A Treatise on Human Nature (1736) නම් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි, “එත් එසේය සහ එසේ නොවේය(is and is not) යන සාමාන්‍ය ප්‍රස්තුත ඈදීම් වෙනුවට හදිසියේම, මා පුදුමයට පත්කරවන්නක් වන්නේ එසේ විය යුතුය හෝ එසේ නොවිය යුතුය(ought or an ought not) යන්න හා සම්බන්ධ නැති එකදු ප්‍රස්තුතයක් වත් මට හමු නොවීමයි. මේ වෙනස සංජානනය කළ නොහැකි, ඉතා සියුම් එකකි; එහෙත්, කෙසේවතුදු එය විපාක දරයි.”
මෙහි දී හියුම් අවධාරනය කර දක්වන්නේ සදාචාරාත්මක ප්‍රකාශ(moral statements) වාස්තවික පරිසිද්ධි වලට(objective facts) සමාන කිරීමට මනුෂ්‍යන්ගේ ඇති නැඹුරුවයි. එනම්, (නිදසුනක් ලෙස) ‘ඝාතනය වැරැද්දකි’(සදාචාරාත්මක ප්‍රකාශය) යන්න ගතහොත් ‘පෘථිවිය සුර්යය වටා කක්ෂගතව ගමන් කරන්නේය’(වාස්තවික පරිසිද්ධිය) තරම්ම සත්‍යතාව අතින් ප්‍රබලය යනුවෙන් පිළිගැනීමට ඇති නැඹුරුවයි. සාරධර්ම විනිශ්චවය, කිසිදිනක පරිසිද්ධි වාචක පුර්වාවයකින් නිගමනය කිරීමට නොහැකි බව ඔහු ඇදහිය. ඊට හේතු වශයෙන් හියුම් දැක්වුයේ අප, අපේ සදාචාරාත්මක විනිශ්චවයන්. තර්කනය මත නොව මනෝභාවයන්(sentiment) මත පදනම් කර ගන්නා බවයි.
පරිසිද්ධි වාචක පුර්වාවයන්ගෙන් සදාචාරාත්මක නිගමනයන් මතුකර ගැනීම දැක්වීමට විසිවැනි සියවසේ මුල ඉංග්‍රීසි ජාතික සදාචාර දාර්ශනිකයෙකු වූ G. E. මුවර්(1873–1958) නාමයක් හඳුන්වා දුන්නේය: ඔහු එය හැඳින්වූයේ ‘ස්වාභාවික අභාසය’යනුවෙනි. මුවර්, උපයෝගිතාවාදය(utilitarianism – සංකල්ප සාර සංග්‍රහය 62 බලන්න) පිලිබඳ ව්‍යංග්‍යයෙන් විවේචනයක් ඉදිරිපත් කරමින් ‘සන්තුෂ්ටිය’ හෝ ‘සුඛය’ වැනි විස්තරාත්මක ප්‍රකාශන මගින් ‘යහපත’ යන්න අර්ථ දැක්වීම කල නොහැකි යයි කියාසිටියේය. ඔහු තරයේ දැක්වුයේ යහපත්බව හෙවත් සාධුත්වය යන්න හඳුනාගැනීම ආනුභවික නිරීක්ෂණ(empirical observation) හරහා සිදු කල නොහැකි බවත් එය කල හැක්කේ යම් ස්වායත්ත සදාචාරාත්මක ඉන්ද්‍රියියක් මගින් පමණක් බවයි. මේ ස්ථාවරය හැඳින්වෙන්නේ ‘ප්‍රතිභානවාදය’(intuitionism) යනුවෙනි.
‘එසේය’ යන්නෙන් ‘එසේ වියයුතුය’ යන්න මතු කර ගැනීමේ ස්වාභාවික අභාසමය අන්තරාව ගැන අවබෝධයක් තිබීම පාදක ප්‍රශ්න ගණනාවක් ගැන විමර්ශනය කිරීමේ දී වැදගත් වෙයි. නිදසුනක් ලෙස, ස්වභාවික වරණයෙන් සිදුවන පරිණාමය පිලිබඳ ඩාවින් ගේ නියමයෙන් හැඟවෙන්නේ උචිතොන්නතිය තුළින් වඩාත් හොඳින් අනුවර්තනය වූ විශේෂ පරිණාමය වන බවයි. එහෙත් ස්වභාවයේ(in nature) දී එය එසේ වූ පලියටම, මෙම නියමය – සමාජ ඩාවින්වාදීන් කරන්නාසේ – ශිෂ්ට සම්පන්න සමාජයක මනුෂ්‍යයන් හැසිරිය යුතු ආකාරය ලෙස යොදා ගත යුතු ද?
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ The is/ought problem යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න