තමන් කරන කියන දෑ පිළිබඳ ඇතැම් මූලික විශ්වාසයන් සහ ආකල්ප මෙන්ම තමන්ගේ වැඩ කටයුතු දෙස බලන ආකාරය ගැන විද්‍යාඥයෝ අදහස් බෙදා හදා ගනිති. එම මූලික විශ්වාසයන් සහ ආකල්ප ලෝක ස්වභාවයට මෙන්ම ඉන් උගෙන ගත හැකි දෙයට  සම්බන්ධය.

ලෝකය තේරුම් ගැනීමට හැකිය

විශ්වය තුළ දේවල් සහ සිදුවීම් හටගන්නේ සැලකිල්ලෙන්, ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකි සංගත(consistent) රටාවන්ට අනුව යයි විද්‍යාඥයෝ හඟිති. එසේම,  බුද්ධිය යොද ගැනීමෙන් සහ අපේ ඉන්ද්‍රියයන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සමත් උපකරණවල ආධාර ලබමින් සමස්ත ස්වභාවය (nature) තුළම රටාවන් සොයා ගැනීමට මිනිසුන්ට හැකියයි විද්‍යාඥයෝ විශ්වාස කරති. විශ්වාසය වනාහි, එම නමින්ම කියැවෙන පරිදි අති දැවැන්ත එක් තනි පද්ධතියක් යයි විද්‍යාඥයෝ උපකල්පනය කරන අතර එම පද්ධතිය තුළ සෑම තැනකම මූලික නීති එක හා සමාන යයි ද සලකති. මේ  මහ දැවැන්ත විශ්වයේ එක් කොටසක් අධ්‍යයනය කිරීමෙන්  ලබාගන්නා දැනුම එලෙස වෙනත් කොටස්වලට ද යොදාගත හැකි ය. නිදසුනක් ගනිමු. පෘථිවියේ මතුපිටට වස්තූන් පතිතවීමේ චලනය පැහැදිලි කරන චලනය හා ගුරුත්වය(motion and gravitation) පිළිබඳ මූලධර්ම චන්ද්‍රයාගේ හෝ වෙනත් ග්‍රහලෝක චලනය පැහැදිලි කිරීම සඳහාද යොදාගත හැකිය.

කාලයක් ගත වීමත් සමග යම් වෙනස්කම් සහිතව, චලනයේ එම මූලධර්ම ම අනෙකුත් බලයන්ට ද එමෙන්ම සෑම දෙයකම චලනයට,  ඒ කියන්නේ ඉතාමත් කුඩා න්‍යෂ්ටික අංශු වල සිට අති දැවැන්ත තාරකා දක්වාද, රුවල් නැව්වල සිත අභ්‍යවකාශ යානා දක්වාද, වෙඩි උණ්ඩවලට සිත ආලෝක කදම්භ දක්වාද වූ සෑම දෙයකටම අදාළ වී තිබේ.

විද්‍යාත්මක අදහස් වෙනස් වන සුළුය.

විද්‍යාව යනු දැනුම නිපදවීමේ ක්‍රියාදාමයකි. සංසිද්ධි ගැන බොහෝම සැලකිල්ලකින් සිදුකරන නිරීක්ෂණ මත මෙන්ම එම නිරීක්ෂණ තුලින් අර්ථයක් මතු කරගැනීම පිණිස වන සිද්ධාන්ත ගොඩනඟා ගැනීම යන දෙකම මත මේ ක්‍රියාදාමය රඳා පවතී. දැනුමෙහි විපර්යාසයන් හෙවත් වෙනස්වීම් ඇති වීම නොවැළැක්විය හැකිය. මන්ද නව නිරීක්ෂණ මගින් පවතින සිද්ධාන්ත අභියෝගයට ලක් කළ හැකි හෙයිනි.  ඒත් නිරීක්ෂණ පෙළක් කිසියම් එක් න්‍යායක් මගින් කෙතරම් හොඳින්  පැහැදිලි කරනු ලැබීමට හැකි වූවත් ඒවා (වඩා හොඳින් හෝ) එක සමානව හොඳින් වෙනත් සිද්ධාන්තයකට ගැලපීමට හෝ තවත් පුළුල් නිරීක්ෂණ පරාසයකටත් ගැලපිය හැක. සිද්ධාන්ත පැරණි වේවා අලුත් වේවා, විද්‍යාවේදී පරීක්ෂණ පවත්වා සිද්ධාන්ත වැඩිදියුණු කිරීම හෝ ඉඳහිට ඉවත දැමීම  දිගින් දිගටම සිදුවේ. සම්පූර්ණ සහ පරම සත්‍යය ළඟා කර ගැනීම  පිණිස ක්‍රමයක් නැති වුයේ  නමුත් විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ ලෝකය සහ එය ක්‍රියාකරන අන්දම දැක්වීම පිණිස එන්ට එන්ට ම වැඩි වෙන ආකාරයේ නිවැරදි සන්නිකර්ෂණ(approximations ) සිදු කළ හැකි බවයි.

 

විද්‍යා දැනුම කල් පවතී.

විද්‍යාඥයන් පරම සත්‍යය ළඟාකර ගත හැකිය යන මතය ප්‍රතික්ෂේප කරමින් එක්තරා අවිනිශ්චිත භාවයක් යනු ස්වභාවයේම (nature) කොටසක් ලෙස පිළිගන්නා නමුදු විද්‍යා ඥානය බොහොමයක්ම කල් පවතින සුළුය.  අදහස් මුළුමනින්ම බැහැර කිරීම වෙනුවට අදහස් සංශෝධනය විද්‍යාවෙහි ධර්මතාවයයි. බලගතු ගොඩනැගීම් දිගටම පැවතීමේ නැඹුරුවක් ඇති අතර වඩාත් යථාතත්වයට එමෙන්ම පුළුල් වශයෙන් පිළිගැනීමට ලක්වේ. නිදසුනක් සලකතොත්, සාපේක්ෂතා සිද්ධාන්තය ගොඩනැගීමේදී ඇල්බට් අයින්ස්ටයින් චලනය පිළිබඳ නිව්ටෝනියානු නීති බැහැර නොකළ අතර  ඒවා වඩාත් පොදු සංකල්පයක් ඇතුළත සීමිතව  උපයෝගී කරගැනීම පිණිස වන සන්නිකර්ෂණයක් පමණකැයි පෙන්වා දුන්නේය.(නිදසුනක් ලෙස, නාසා ආයතනය චන්ද්‍රිකා පරාචක්‍ර [satellite trajectories] ගණනය කිරීමේදී නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව යොදා ගනියි). එපමණක්ද නොව ස්වාභාවික සංසිද්ධීන් සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයන් කිරීමට විද්‍යාඥයන්ට ඇති හැකියාව වර්ධනය වීම, ලෝකය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න ගැන අපේ අවබෝධය ඉහළ යමින් පවතින බවට කදිම සාක්ෂියක් සපයයි. අඛණ්ඩතාවය හා ස්ථාවරභාවය මෙන්ම විපර්යාසය ද විද්‍යාවේ ගති ලක්ෂණ වන අතර විශ්වාසය ග  අනිශ්චිත බව තරමටම සුලභ ය.

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට විද්‍යාව නොහැකිය.

විද්‍යාත්මක ක්‍රමයක් මගින් වැඩදායි ලෙස විභාග කර බැලිය නොහැකි කාරණා බොහොමයක් ඇත. නිදසුනක් ගතහොත්,  අධිස්වාභාවික බලයක් සහිත ශක්තීන්ගේ හෝ ජීවීන්ගේ පැවැත්ම හෝ ජීවිතයේ සැබෑ අරුත වැනි විශ්වාසයන් — ඒවායේ  ස්වභාවය හේතුවෙන්ම,  විශ්වාසයන් ඔප්පු කිරීමට හෝ නිශ්ප්‍රභ කළ නොහැකිය. අනෙක් අවස්ථාවලදී  වලංගු විය හැකි විද්‍යාත්මක ප්‍රවේශයක්,  ප්‍රාතිහාර්යන්, සාස්තර කීම, ජ්‍යෝතිෂය සහ මිථ්‍ය විශ්වාස වැනි විශ්වාසයන් මත එල්බ ගෙන ඇති පිරිස් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට ඉඩ තිබේ. එමෙන්ම එක්තරා ක්‍රියාවක් නිසා හටගන්නා ඵල විපාක හඳුනා ගැනීමෙන් (විකල්පයන් ගැන ඇගයීමක් කිරීමේදී මෙය උපකාර විය හැකිය) ඒ පිළිබඳව සාකච්ඡාවට දායක විය හැකි නමුත් යහපත සහ නපුර(good and evil) හා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට ද විද්‍යාඥයන්ට නොහැකිය.

විද්‍යාවේ ස්වභාවය ගැන මෙවන් තව ලිපි ඉදිරියේදී  thathu  මගින් කියවන්න.

 

American Association for the Advancement of Science මගින් සැකසු Science for all Americans හි ප්‍රථම පරිච්චේදය වන THE NATURE OF SCIENCE ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending