දිනපතා ජීවිතයට ඩිජිටල් මෙවලම් හා උපකරණ වැඩි වැඩියෙන් ගලා ඒම හේතුවෙන්, අනතුරුදායක නැඹුරුවක් සමාජය තුළ අලුතෙන් පැලපදියම් වෙමින් පවතී. මේ මෙවලම් හා උපකරණ අපට සුපිරි ඵලදායිතාවක් අත්පත් කරගැනීමට මග පාදා ඇතත් බොහෝ දෙනාගේ ඇහුම්කන් දීමේ හැකියාව, අවධානය යොමු කිරීමේ හැකියාව එන්ට එන්ටම අඩුවීමේ ප්‍රවණතාවක් ඉන් ඇතිවෙමින් පවතින බවට අනතුරු හැඟවේ.

අපි සුළු කතාවකින් ලිපිය අරඹමු. (ඇමරිකා එක්සත් ජනපද) මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ ව්‍යාක්ත කථක ශාස්ත්‍ර(rhetoric) මහාචාර්ය රැල්ෆ් නිකලස් ගේ සිතට වදදෙන කාරණාවක් තිබුණි. එනම්, කාලයක සිටම තම සිසුන් තමන් කියන දෙයට සවන් නොදෙන්නේ ය යන්න ඒ සිතුවිල්ලයි. ඉතින් ඔහු, වෙනත් ඕනෑම හොඳ පර්යේෂකයකු කරන දේම කිරීමට තීරණය කළේය. ඔහු සිසුන්ගේ ශ්‍රවණ කුසලතා අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය.
මුල් පියවර වූයේ සරල පරීක්ෂණයකි. මිනෙසෝටාවේ ගුරුවරුන් ගේ ද සහාය ඇතිව පාසල්වලින් ඔහු පරීක්ෂණ ඇරැඹීය. පන්තියේ උගන්වන ගුරුවරයා හිටි අඩියේම ඉගැන්වීම නතර කර, එතෙක් වේලා ගුරුවරයා ඉගැන්වූ දෙය විස්තර කරන්න යයි සිසුන්ගෙන් ඉල්ලා සිටින ලැබිණ.

දැන් මොකද හිතන්නේ? පළමුවැනි ශ්‍රේණියේ සිසුන් නම් මහා අමාරුවක වැටෙන්නට ඇතැයි කියා නේද? එහෙමනම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න ඕන. ඔව්, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ක්‍රියා විරහිත කොට දුරකථන සම්බන්ධතා කපාහැර දැන් ඔන්න ලිපිය කියවන්න පටන් ගන්න.
පරීක්ෂණයේ ප්‍රතිඵලය ඔබව පුදුමයට පත් කරාවි. 1 හා 2 ශ්‍රේණියේ සිසුන්ගේ 90%ක්ම නිවැරදි පිලිතුරු ලබා දුන්නා. ළමුන්ගේ වයස වැඩි වෙත්ම මේ තත්ත්වය සීඝ්‍රයෙන් පහත වැටින. කනිෂ්ඨ උසස් පාසල් මට්ටමේ දී සාර්ථකවූ සංඛ්‍යාව 44%ක් පමණක් විය. උසස් පාසල් ශිෂ්‍යයන් අතුරෙන් නිවැරදි පිලිතුරු ලබා දුන්නේ හතරෙන් එකක් පමණි. පැහැදිලිවම ඔවුනට, උගන්වන දේ ගැන ට වඩා සිතීමට වෙනත් දේ තිබිණ.

සත්‍යය වන්නේ පුද්ගලයින් වයසින් වැඩෙත්ම ඔවුන්ගේ ශ්‍රවණ අවබෝධ ශක්තිය පහළ වැටෙන බවයි. තත්ත්වය තවත් බැරෑරුම් කරමින් බොහෝ දෙනෙක් අධිතක්සේරුවක යෙදෙමින් තමන් හොඳින් ඇහුම්කන් දෙන්නන් ලෙස සිතා සිටීමයි. (මේ දැන් කියූ දෙයට ඔබේ අවධානය යොමු උනානේද?) අධ්‍යයන ගණනාවක් මගින් මේ සංසිද්ධිය විභාග කර ඇත.
අපගේ සන්නිවේදනයේ වැඩි කොටසක හරය වශයෙන් ඇත්තේ ශ්‍රවණයයි. සාමාන්‍ය වැඩිහිටියෙක් කතාකිරීමට යොදනවා මෙන් දෙගුණයක කාලයක් අසා සිටීමට යොමු කරයි. එහෙත් ශ්‍රාවකයන් හැටියට අප බොහෝ දෙනා දුර්වලය. මෙන්න කදිම නිදසුනක්. පරීක්ෂණයකට පෙනී සිටි පිරිසට, ප්‍රථමයෙන් විනාඩි 10 ක වාචික ඉදිරිපත් කිරීමට අනතුරුව ඒ ගැන විස්තරයක් කරන ලෙස දන්වනු ලැබීය. වාචික ඉදිරිපත් කිරීමෙන් මොහොතකට පසුව පිරිසෙන් අඩකටම එය විස්තර කිරීමට නොහැකි විය. පැය 48කට පසුව ශ්‍රාවකයන්ගෙන් 75%කට විෂයට අදාල කාරණා මතක් කිරීමට හැකි වූයේ නැත.
ඉතින් ප්‍රශ්නය මෙන්න මේකයි. මිනිස් මොළයට විනාඩියකට වචන 400 ක පමණ තොරතුරු ධාරණය කර ගනීමේ ධාරිතාව ඇත. ඒත් සාමාන්‍යය වේගයෙන් කතා කරන්නෙකු පවා විනාඩියකට කතා කරන්නේ වචන 125ක් පමණ ය. එයින් හැඟී යන්නේ කෙනෙකු ඔබට කතා කරමින් සිටින විට ඔබේ මොළයේ ධාරිතාව හතරෙන් තුනක් පමණම වෙනත් කාර්යයක නිරත වනවා විය හැකිය යන්නය. වැඩිහිටියන්ට වඩා, කුඩා දරුවන්ට හොඳ ශ්‍රාවකයන් විය හැක්කේ මන්දැයි යන්න මෙයින් පැහැදිලි වේ. ඔවුන්ගේ මොළය තවමත් වර්ධනය වී නැති හෙයින් ඒ අඩු ධාරිතාව සම්පූර්ණයෙන් අදාල මාතෘකාව වෙත යොමු වේ. වැඩි ධාරිතාවක් සහිත වැඩිහිටියෝ පහසුවෙන්ම චංචල වෙති. මෙහි අවදානම ඔබට පැහැදිලියි නේද?

ආරම්භක වශයෙන් ඔබ ඔබේ ලොක්කාගේ කතාවට, නිවසට පැමිණි වෙළඳ සේවකයකුගේ දේශනයකට, ඔබේ බිරිඳ නිතර ඇදබාන කයි කතන්දරවලට පූර්ණ අවධානය යොමු කරනවා විය හැකියි. ඔන්න වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඈතක ලේනෙකු නගන හඬ ඇසෙන්නට පටන් ගනී. නිවසේ අල්වා ඇති ටයිල් එකක් දෙදරා ගොස් ඇති බව ඔබගේ දෑසට හදිසියේම හසුවේ . කාර්යාලයට අලුතෙන් පැමිණි සේවිකාව අමුතු ආකාරයකට සිය කෙස් කළඹ ඩයි කර ඇති බව ඔබ දකී. බහුකාර්ය පූරණය (multitasking) ගැන සම්මන්ත්‍රණ වලට සහභාගී වී ඇති, පොතපත කියවා ඇති ඔබ, එකවර කාර්යයන් ගණනාවක් කළ හැකිය යන දැඩි විශ්වාසයක සිටිනවා විය හැකිය. ඒත් ප්‍රතිඵල එකමය. ඉහත දැක් වූ අවස්ථාවල නිසිලෙස සවන් නොදීමෙන් විවිධාකාර වූ ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන. කිසිවක්ම සිදු නොවන්නට ද පුළුවන. (හරි හැටි අසා නොසිටීම නිසා) ලොක්කා පැවරූ කාර්යය නිසියාකාර ඉටුකර ගැනීමට නොහැකිවන්නට පුළුවන. බිරිඳ තරහ වී දිනක් දෙකක් කතා නොකර ඉන්න පුළුවන.
මේ වනවිට ප්‍රශ්නය ගැන ඔබට හොඳ වැටහීමක් ඇතැයි සිතමු. ඔබගේ මොලය තොරතුරු ලබාගැනීමට වලිකයි. හරියට golden retriever නම් සුනඛ වර්ගයේ පැටවෙකු ඔබ බෝලය හෝ වෙනයම් දෙයක් විසි කළ සැනින් ආපසු අහුලා ගෙන ඒමට වලිකන්නා සේය. කෙසේ වෙතත් වැදගත් තොරතුරු මොළය බලාපොරොත්තුවන තරම් වේගයෙන් මොළයට දරාගත හැකි තරම් වේගයෙන් නොපැමිණෙයි. බලු පැටියා බෝලය අහුලා ගෙන එන වේගයට සරිලන සේ ඔබට බෝලය නැවත විසිකිරීමට නොහැකි වන පරිද්දෙනි. ඔබ උද්‍යානයකදී බෝලය විසි කරන්නේ නම් බලු සුරතලාට ඔබේ බෝලය පමණක් නොව උද්‍යානයේ වෙනත් අය වීසි කරන බෝල හෝ වෙනත් දේවල් ගැන සිත යොමුවේ. ඒ සියල්ල පසුපස හඹායාමට බලු පැටවා උනන්දුවක් දක්වයි.

තොරතුරු පිපාසාවෙන් පෙළෙන ඔබේ මොළයට එහි අතිරේක ධාරිතාව, කෙනෙකු ඔබට කතා කරමින් සිටිය දී වුව ද දුරකථනයේ SMS පණිවිඩ ආ හඬට, පරිගණක තිරයේ දිස්වෙන රූප රාමු පෙළකට, ජනේලයෙන් පිටතට පෙනෙන අසල්වැසියකු වෙත යොමු වනවා වැළැක්විය නොහැකි තරම්ය. බලු හිමියකු වශයෙන් ඔබට කළ හැක්කේ වික්ෂේපවලින්(distractions) ඈත්ව, ඔබගේ විධානයන්ට පමණක් අවධානය යොමු කිරීමට පැටියා පුරුදු කරවීම යි. එවැනි වැඩසටහන් රූපවාහිනියේ හෝ අන්තර්ජාලයේ ඕනෑ තරම් ඇත. එහෙත් අවාසනාවකට මෙන්, අවධානය එක තැන තබා ගැනීමට ඔබේ මොලය පුහුණු කරන වැඩසටහන් විරල ය. ඇත්තටම සිත වෙනතකට යොමුවීමේ සහ ශ්‍රවණ කුසලතා හීනවීම හේතුවෙන් සැබෑ ජීවිතයට ඇතිවන ඵල විපාක ගැන කෙරෙන පර්යේෂණයන් ද ඉතා මඳය. ඒත් ඉතින් අප කුමක් හෝ මේ ගැන කළ යුතුයි නේද? තතු ඒ ගැන අවධානය යොමු කර ඇත. ඔබත් ලිපියේ අඩංගු කරුණු ගැන හොඳින් හිතන්න. හොඳින් අහගෙන හිටියා නේද?
Scientific American හි පළවූ Now Hear This! Most People Stink at Listening යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න