මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
පාරභෞතික විද්‍යාව යනු සත්තාව(being), ඥානනය(knowing) සහ යථාර්ථතාවයේ පරම ස්වභාවය(ultimate nature of reality) ගැන සැලකිලිමත් වන දර්ශනවාදයේ ශාඛාවකි. දෙවියන්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම මෙන්ම බාහිර ලෝකය, කාලයේ හා අවකාශයේ ස්වභාවය, මනස සිරුරට සම්බන්ධවන ආකාරය, හේතුඵලත්වයෙහි(causation) යථාර්ථය හෝ එහි අනික් පැත්ත, මානවයන්ගේ කටයුතුවල දී නියතිවාදයෙහි (determinism) සහ අභිමතය හෙවත් ස්වච්ඡන්දතාවෙහි(free will) අදාළ කියාපෑම් පිලිබඳ ගැටළුවලට එමගින් පිළිතුරු සැපයේ. ඥානනය ගැන සැලකිළිමත් වන පාරභෞතික විද්‍යා ආකාරය හඳුන්වනු ලබන්නේ ඥානවිභාගය(epistemology) ලෙසටය.

පුරාණ ග්‍රීක ජාතීන්ගේ පටන් ගෙන(ක‍්‍රි.ව. 500-1453 අතර පමණ කාලය) මධ්‍යකාලීන යුගය දක්වා හා ඉන් ඔබ්බට දර්ශනවාදී විභාගය මත ආධිපත්‍යය පැවැත්වුයේ පාරභෞතික විද්‍යාත්මක ප්‍රශ්නයන්‍ය, නිදසුනක් දක්වන්නේ නම් යථාර්ථය පවතින්නේ ආකෘතිගත අමුර්ත ලෝකයේ පමණක් බව ප්ලටෝ කියා සිටියේය. එමෙන්ම, 13වැනි සියවසේ ක්‍රිස්තියානි දේවධර්මාචාර්ය ශාන්ත තෝමස් අක්වයිනස් දෙවියන්ගේ පැවැත්ම තහවුරුකිරීම සඳහා ඇරිස්ටෝටල්ගේ තර්කනය යොදාගත්තේය. දාහත්වැනි ශත වර්ෂයේ දී ප්‍රංශ දර්ශනවාදී රෙනේ ඩේකාට් මනස සහ සිරුර යනු අසම්බන්ධ ස්ථිති දෙකක් බව තාර්කනික සහේතුක තර්ක මගින් නිගමනය කළ අතර භෞතිකය සහ අභෞතිකය අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්න අනුමාන කිරීමට ඉන් අනතුරුව ඔහුට සිදුවිය.
අපේ නිරීක්ෂණ ශක්තියෙන් හෝ විචාරයෙන් පවා ඔබ්බට ඇති යථාර්ථයන් සම්බන්ධයෙන් පාරභෞතික විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන කියාපෑම් මේ සිහින දකින්නන්(පාරභෞතික විද්‍යාඥයන්) සහමුලින්ම ජීවත්වෙන්නේ මනෝ ලෝකයක යයි අවඥාසහගතව දැකීමට බොහෝදෙනා පෙළඹවිය.

දහඅටවන සියවසේ දී ස්කොට්ලන්ත දර්ශනවාදියෙකු වූ ඩේවිඩ් හියුම් යෝජනා කළේ පාරභෞතික විද්‍යාත්මක කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් ඇසිය යුතු බවයි. ඉන් පළමුවැන්න: “ප්‍රමාණය හෝ සංඛ්‍යාව පිලිබඳව එහි යම් වියුක්ත තර්කනයක් පවතී ද?” දෙවැන්න: “එහි පරිසිද්ධිමය කාරනා සහ පැවැත්ම ගැන සැලකිල්ල දක්වන යම් පරික්ෂණාත්මක තර්කනයක් අඩංගු ද?” මේ ප්‍රශ්න දෙකටම උත්තරය ‘නැත’ යන්නනම් එම ඉගැන්වීම් ඉවත දැමිය යුතු යයි හියුම් කියා සිටින්නේ “ මන්ද එම ඉගැන්වීමෙහි කුතර්කනය සහ මායාව හැර වෙන කිසිවක් අඩංගු නොමැති” හෙයිනි.
විසිවන සියවස මුලදී යථානුභුතවාදී චින්තකයන් ද(positivist thinkers) මෙයාකාරම පදනමක් මත පාරභෞතික විද්‍යාවට පහර එල්ල කළහ. තවත් සමහරු තර්ක කළේ පාරභෞතික විද්‍යාඥයන් පැටලී සිටින පටලැවීලි හට ගන්නේ භාෂාව ක්‍රියා කරන ආකාරය ගැන ඇති දුස්සංකල්පන හේතුවෙනියි යනුවෙනි. කෙසේවෙතත්, මෙවන් පරීක්ෂාවන්, විචාරයන් තිබුණේ වී නමුත් තවදුරටත් බොහෝ දාර්ශනිකයන් සිත් තුල පාරභෞතික විද්‍යාත්මක ප්‍රශ්න පවතී.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Metaphysics යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න