අපගේ ජාන සහ  අපගේ ශාරීරික ගතිලක්ෂණ අතර ඇති සම්බන්ධතාව විස්තර කිරීමට ජීව විද්‍යාඥයෝ අරුමෝසම් වචන දෙකක් යොදා ගනිති. ඉන් පළමුවැන්න ප‍්‍රවේණි දර්ශයයි (genotype).  ඔබේ ප‍්‍රවේණි දර්ශය යනු යම් කිසි ගති ලක්ෂණයක් වෙනුවෙන් ඇති ඔබේ ජානයි. ඔබට බොහෝ අවස්ථාවල ජානයක පිටපත් දෙකක් හිමිවේ. එකක් ඔබගේ මවගෙනි. අනෙක පියාගෙනි. පෙර කී වචන දෙකෙන් දෙවැන්න රූපානු දර්ශයයි (phenotype). රූපානු දර්ශය කියන්නේ ඔබ, ඔබ හැටියට මතුවන දෙයයි. එනම් මෙකී ජාන ප‍්‍රකාශයට පත්වන ආකාරයයි. මේ අරුමෝසම් වචන දෙකට අදාළව ජීව විද්‍යාඥයන් යොදාගන්නා අරුමෝසම් කියමනක්ද ඇත: “රූපානු දර්ශය, ප‍්‍රවේණි දර්ශය මගින් තීරණය කරනු ලබයි”.

Image result for short and long eyelashes

අපි නිදසුනක් ලෙස ඇස් පිහාටු ගෙන බලමු. පුද්ගලයන් අතරේ ඇස් පිහාටු (eyelashes ) වර්ග දෙකක් ඇත. දිග ඇස් පිහාටු සහ කෙටි ඇස් පිහාටු යන වශයෙනි. බාගවෙලාවට ඔබට කෙටි ඇස් පිහාටු මාදිලියක් ඔබේ පියාගේ ජානයකින්ද, දිග ඇස් පිහාටු මාදිලියක් මවගේ ජානයකින් ද සතුව තිබෙනවා විය හැකිය. ඒ තමයි ඔබේ ප‍්‍රවේණි දර්ශය. ඊළඟට බලමු ඔබට ඇත්තේ දිග නැතිනම් කෙටි ඇස් පිහාටුද කියා. දිග ඇස් පිහාටුද? ආන්න ඒ තමයි ඔබේ රූපානුදර්ශය.

මෙකී ඇස් පිහාටු නිදසුන වැදගත් කාරණාවක් ඉස්මත්තට ගෙන එයි. එනම්, ඇතැම් ජාන ප‍්‍රමුඛය; එමෙන්ම ඇතැම් ජාන විමුඛ හෙවත් නිලීනය (recessive පසුබෑමට යන අදහසක් දෙයි). ඔබට එකම ගතිලක්ෂණයක් සඳහා වන වෙනස් ජාන දෙකක් ඇත්නම් ඉන් එකක් ප‍්‍රමුඛ (දිග ඇස් පිහාටු) නම්,  අනෙක විමුඛ හෙවත් නිලීන (කෙටි ඇස් පිහාටු) නම් අවසානයේ ජයගෙන රූපානු දර්ශය බවට පත්වන්නේ ප‍්‍රමුඛ (දිගු ඇස්පිහාටු) ගතිලක්ෂණයයි.

Related image

එහෙත් සෑම ජානයක්ම මෙකී ප‍්‍රමුඛ/විමුඛ ආකෘතිය අනුව යන්නේ නැත. නිදසුනක් ගනිමු. රුධිර වර්ගය සඳහා වන ජානය සහප‍්‍රමුඛය(co-dominant). ඔබට දෙමාපියන් අතුරෙන් එක් අයෙකුගෙන් A වර්ගයේ රුධිරය සඳහා වූ ජානයක්ද අනෙකාගෙන් B වර්ගයේ රුධිරය සඳහා ජානයක්ද හිමිවුවහොත් දෙකෙන් එකක්වත් ප‍්‍රමුඛවන්නේ නැත. එවිට සිදුවන්නේ   කුමක්ද?  ඔබේ රුධිරය AB වර්ගය බවට පත්වීමයි.

අනෙකුත් මිනිස් ගතිලක්ෂණ බහුජානය(polygenic). එයින් තේරුම් යන්නේ ආකල ආකාරයකින්(additive fashion) දායකවන ජාන ගණනාවක් මගින්  පාලනය වේ. සමෙහි පාට නැතිනම් වර්ණය බහුජානයයි සැලකේ.  හෘද රෝග ධමනි ඝනවීම හෙවත් ධමනි දෘඪතාව, සමහර පිළිකා වැනි ඇතැම් රෝගාබාධ කෙරෙහි ප‍්‍රවේණිගත පෙර නැඹුරු සම්බන්ධයෙන් වගකිව යුත්තේ බහුජාන උරුමය බවද විද්‍යාඥයෝ කල්පනා කරති.

ගෙවතු මෑ සම්බන්ධ මෙන්ඩල් ගේ සොයාගැනීම්

Image result for gregor mendel and his peas

ඕස්ටි‍්‍රයානු ජාතික පූජකවරයෙකු වන ග්‍රෙගෝ මෙන්ඩල් ගෙවතු මෑ ශාක සම්බන්ධයෙන් පුළුල් ලෙස අභිජනන (breeding) පර්යේෂණ සිදු කළේය. එසේ කිරීමේදී ඔහු ප‍්‍රවේණිය නැතිනම් උරුමය පිළිබඳ අපේ අවබෝධය උඩු යටිකුරු කිරීමට සමත් විය. මෙන්ඩල්  පූජකතුමා සිය පර්යේෂණ කටයුතු සිදුකරන අවධියේ, එනම් 1860 ගණන්වලදී බොහෝ දෙනා විශ්වාස තබා තිබුණේ  ආමිශ්‍රන ප්‍රවේණි සිද්ධාන්තය(blending theory of heredity) මතය. මේ සිද්ධාන්තයෙන් කියැවුණේ දෙමාපියන්ගේ ගතිලක්ෂනවල සම්මිශ‍්‍රණයකින් (blend) හෙවත් ඒවායේ සාමාන්‍යයෙන් (average) සමන්විත දෙමාපිය දෙදෙනාගේ ගතිලක්ෂණ සහිතව  ජනිතයන් බිහිවන්නේය යන අදහසයි. මේ සිද්ධාන්තය අනුව නම්, රතු මලක් සහ සුදු මලක් එක්කර අභිජනනය කළ විට හෙවත් දෙමුහුන් කළ විට (crossed) ඉන් ජනිතවන මල් සියල්ල සංකලිනව(blended), ඒ කියන්නේ රෝස පැහැයෙන් (රතු+සුදු)* සමන්විත විය යුතුය.

කෙසේ වෙතත් මෙන්ඩල්ගේ පරික්ෂණවල ප‍්‍රතිඵලවලින් කියැවුණේ ඊට පටහැනි දෙයක්ය. නිදසුනක් දක්වන්නේ නම් නුමුහුම්ව අභිජනිත උස් මෑ පැළයක් (ශාකයක්) නුමුහුම් අභිජනිත නූඋස් මෑ ශාකයක් සමග දෙමුහුම් (අභිජනනය) කළ විට ඔහුට ලැබුණේ උස් මෑ ශාක පමණකි. එතැන සංයුතුවීමක් නොවීය. ඒ අනුව, ඔහු නිගමනය කළේ කිසියම් නිශ්චිත ගති ලක්ෂණයක් වෙනුවෙන් සෑම ජීවියෙකුටම ‘සාධක’ දෙකක් ඇති බවත් ඒවායේ ජනිතයන්ට මෙයින් එක් සාධකයක් පමණක් අහඹු ලෙස පවරන බවත්ය.  අපි දැන් එම ‘සාධක’ වලට කියන්නේ ජාන යනුවෙනි.

ඊළඟ ලිපිය: ජාන යනු කුමක් ද?

ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ The Tech Museum of Innovation ව්‍යාපෘති වෙබ් අඩවියේ පළවූ Why We are Different යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending