
ආලෝකය සමග කිසිම අන්තර් ක‍්‍රියාකාරිත්වයක් නැතැයි මෙතෙක් සැළකුණු අඥාත ද්‍රව්‍යවල (dark matter) ඉතා කුඩා විදුලි ආරෝපණයක් තිබිය හැකි යයි අළුත් අධ්‍යයනයකින් පෙන්නුම් කරයි. විශ්වයෙන් හතරෙන් එකක් අඥාත ද්‍රව්‍යවලින් සමන්විත යයි උපකල්පනය කෙරේ. මේ වනතුරු අඥාත ද්‍රව්‍ය සිය පැවැත්ම පෙන්නුම් කර ඇත්තේ ගුරුත්වය මගින් පමණකි. ඒ, තාරකා සහ ගැලැක්සි (මන්දාකිණි) මත කෙරෙන ඇදිල්ල මගිනි. එහෙත්, දැන් හාවඞ් විශ්ව විද්‍යාල තාරක භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු වන ජුලිසන් මුනොස් සහ එබ‍්‍රහම් ලොඑබ් දැන් පෙන්වා දෙන්නේ, අඥාත ද්‍රව්‍ය අංශු වලින් කුඩා ප‍්‍රමාණයක ඉතා සුළු විදුලි ආරෝපණයක් ඇතැයි යනුවෙනි. ඉන් අදහස් වෙන්නේ අඥාත ද්‍රව්‍යවලට විද්්‍යුත්-චුම්බක බලය මගින් සාමාන්‍ය ද්‍රව්‍ය සමග අන්තර් කි‍්‍රයා කළ හැකි බවයි. මෙය සැබෑවක් නම්, මේ අදහස අඥාත ද්‍රව්‍ය පිළිබඳ අවබෝධ කර ගැනීම පිණිස වැදගත් වනවා පමණක් නොව මෑතක විශ්වවේදීන් (cosmologists) අවුලට පත් කළ අභිරහසක් ගැන පැහැදිලි කරගැනීමට් ද හැකිවනු ඇත.

කුතුහලය දනවන සිසිල්කරණය.
මහා පිපුරුමට වසර මිලියන 180 ක් පමණ ගත වීමෙන් පසුව ප්‍රථම තාරකාවන් පායා එන්නට පටන් ගත් අවධියේ විශ්වයේ උඩාවෙන් පැමිණි සොයා ගැනීමට අසීරු සංඥාවක් හයිඩ්රජන් වායුවෙන් ප්‍රථම වරට සොයා ගත් බව තාරකා විද්යාඥයෝ පසුගිය පෙබරවාරියේ නිවේදනය කළහ. ඔය කියන අවධියේ තාරකා අතරේ පාවෙන හයිඩ්රජන් වායුව සිසිල් විය — ඔව්, අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිමෙන් එනම් මහා පිපුරුමෙන් පසු ඉතිරි වූ විශ්වය නහවන විකරණයට වඩා සිසිල් විය. මෙකී පසු දිලියුමට වඩා හයිඩ්රජන් සිසිල්වීම හේතුවෙන් වායුව විකිරණය, සුවිශේෂීව දක්වතොත් සෙන්ටිමීටර 21 ක තරංග ආයාමයක විකිරණ අවශෝෂණය කරයි. හයිඩ්රජන් මගින් අවශෝෂණය කරන විකිරණ මැනීමෙන් තාරකා විද්යාඥයන්ට, විශ්වීය ඉතිහාසය තුළ සාපේක්ෂව අඩු දැනුමක් ඇති විශ්වයේ උදාව හොඳින් වටහා ගැනීමට මග පෑදෙයි. යලි-අයනීකරණ සංඥා පිළිබඳ ගෝලීය සමය සෙවීමේ පරීක්ෂණය යනුවෙන් (Global Epoch of Reionization Signature (EDGES) ) නම් කෙරුණු, බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති රේඩියෝ ඇන්ටෙනාවක් යොදා ගනිමින් තාරකා විද්‍යාඥයන්ට ප්‍රථම වරට මෙම අවශෝෂණය සොයා ගැනීමට හැකි වී තිබේ.( මෙම ලිපීයේ ඉදිරියට EDGES යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි). ‘‘මෙය තනිකර සලකා බැලූවොත් පුදුම එළවන සුළු විද්‍යාත්මක සොයා ගැනීමක්” මුනොස් කියයි.
ඒත් විද්‍යාඥයන් ඊටත් එහා ගොහින් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයක පෝටෝන (photons) හයිඩ‍්‍රජන් මගින් අවශෝෂණය කරන ලද බව ඔහු පෙන්වා දෙයි. එපමණ පෝටෝන අවශෝෂණය සඳහා නම් විද්‍යාඥයන් හිතුවාටත් වඩා වායුව සිසිල්ව තිබිය යුතුය. මේ අසාමාන්‍ය සිසිල්වීමට වගකිව යුත්තේ අඥාත ද්‍රව්‍ය විය හැකි බවයි මුනොස් සහ ලොඑබ් යෝජනා කරන්නේ. අඥාත ද්‍රව්‍යයෙන් සියයට 1 කට අඩු ප‍්‍රමාණයක ඉලෙක්ට්‍රෝනයක විදුලි ආරෝපනයෙන් මිලියනයකින් එකක පංගුවක් තිබුණේ නම් සොයා ගැනීමට අසීරු එම ද්‍රව්‍යයට හයිඩ‍්‍රජන් වලින් තාපය ඇදීමට හැකිවේ. හරියට අප බොන පළතුරු බීමක් අයිස් කැටවලින් සිසිල් කරන්නාසේය. මෙහිදී ‘‘අයිස් වෙන්නේ අඥාත ද්‍රව්‍යයයි” මුනොස් පෙන්වා දෙයි.
මේ අදහස සම්පූර්ණයෙන්ම අළුත් එකක් නොවේ. අඥාත ද්‍රව්‍ය අංශුවලට විදුලි ආරෝපනයක් තිබිය හැකි යයි විද්‍යාඥයන් කියා සිටියේ මෙයට දශක ගණනාවකට පෙරය. අනික, සිසිල් වීමට එකම හේතුව ද එයම නොවේ. මාර්තු 1 දා Nature සඟරාවටම ලිපියක් සපයන ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ විශ්වවේදී රෙනන් බර්කානා කියා සිටින්නේ, විදුලි ආරෝපනයක් අත්‍යවශ්‍යයෙන්ම නොතිබෙන, වඩා පොදු ස්වරූපයක අඥාත ද්‍රව්‍යයට සාමාන්‍ය පදාර්ථ සිසිල් කිරීමට හැකි බව සහ ඒ අනුව EDGES දත්ත පැහැදිලි කර ගත හැකි බවයි. ‘‘රේඩියෝ නිරීක්ෂණය මෙන්ම එහි අර්ථ දැක්වීම ගැන සැලකිලිමත එහෙත් ශුභවාදීව සිතන්නට මේ තමයි කාලය” යනුවෙන් ඔහු සඳහන් කරයි. බර්කානා මෙම අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ.
ඉහත දැක්වෙන විෂමතාව හෙවත් වෙනස ගැන පැහැදිලි කිරීමට ඉදිරිපත් වී ඇති මත අතර අඥාත ද්‍රව්‍යය පිළිබඳ මතය එක මතයක් පමණකි. ඇත්තටම EDGES නිරීක්ෂණ, ඒ මාදිලියේ ප‍්‍රථම එකකි. එහෙත්, පර්යේෂකයන් දෙන්නා විශ්ලේෂණය සඳහා වසර දෙකක්ම වැය කර ඇතත් තවමත් අපැහැදිලි සහගත ප‍්‍රතිඵල සනාථ කිරීමට නම් තවත් දත්ත අවශ්‍ය වේ. ‘‘ EDGES නිවැරදි නම් අප පොළඹවන සුළු තවත් සම්ප‍්‍රදායානුකූල පැහැදිලි කිරීම් නැහැ. මගේ අදහස නම් මෙය දැන් බොහෝ විවෘතයි.’’ යනුවෙන් ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් ෆර්ලැනේටෝ පවසයි. හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ වූවෙක් නොවේ. ඒත් මුනෝස් එම මතයෙහිම පිහිටා සිටියි. ‘‘EDGES නිවැරදි නම් මේ ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වන හේතුව අඥාත ද්‍රව්‍ය නොවෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි ’’ ඔහු කියා සිටියි. වඩාත් විස්තරාත්මක නිරීක්ෂණ පිණිස ලොව පුරා නිරීක්ෂණ උපකරණ සහිත ආයතනවල සූදානමක් පවතී. යලි අයනීකරණ හයිඩ‍්‍රජන් සමයේ අරාව(Hydrogen Epoch of Reionization Array) යනුවෙන් හඳුන්වනු ලබනා දකුණු අප‍්‍රිකාවේ රේඩියෝ ටෙලස්කෝපය ඉන් එකකි. ආකාශය පුරාවට අවශෝෂණය වෙනස්වන ආකාරය දෙස බැලීමට එයට පුළුවන. අඥාත ද්‍රව්‍යවල ඉතාමත් කුඩා කොටසක් මුනෝස් සහ ලොඑබ් කියන අන්දමට විදුලිමය වශයෙන් ආරෝපිත නම් මේ විචලනය තුළ එය පැහැදිලි කැපී පෙනෙන රටාවක් නිර්මාණය කරනු ඇත. එය විදුලිමය ආරෝපිත අඥාත ද්‍රව්‍ය සඳහා ප‍්‍රධාන පෙළේ පරීක්ෂාවක් වනු ඇත.
Live Science හී පළවු Dark Matter May Have an Electric Charge යන ලිපිය අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න