නාසා ආයතනයේ පාකර් සූර්ය ගවේෂණයේ වගතුග
නාසා පාකර් සුර්ය ගවේෂණ යානය දැන් සූර්යයා බලා ගමන් කරමින් සිටියි. සූර්යයාගේ දැවී අලුවී යන තරම් ඉතා අධික උෂ්ණත්වයකින් යුතු වායුගෝලයට ඇතුලුවී අධ්‍යයනයේ යෙදීම පිණිස සැලසුම් කෙරුණු මෙම අභ්‍යවකාශ යානය පසුගිය ඉරිදා(2018 අගෝස්තු 12දා) කානිවල් තුඩුවෙන් අභ්‍යවකාශ ගත කෙරිණ. ඒ, ඊට පෙරදින ඒ සඳහා ගත් ප්‍රයත්නය අසාර්ථක වීමෙන් පසුවය.
![]()
රැස්වළල්ල හෙවත් කොරොනාව(corona) යනුවන් හඳුන්වනු ලබන සූර්ය වායුගෝලයේ රස්නයෙන් ආරක්ෂාවිම පිණිස මෙම ගවේෂණ යානය කාබන් තාප ආවරණයකින් සමන්විතයි. කොරොනාවෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගණනාවක් තරම් ඉහළය. එසේවුවද, කොරොනාවට හැකිතරම් ළංවී නිරීක්ෂණය කිරීමෙන් දැනට අභිරහස් වශයෙන් පවතින ඇතැම් කරුණු කාරණා තේරුම් බේරුම් කර ගැනීමට හැකිවෙතැයි නාසා පාකර් මෙහෙයුම් කණ්ඩායම අදහස් කරයි. අප ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වන සූර්යයාගේ පෘෂ්ඨයට නැතිනම් මතුපිටට වඩා රැස්වළල්ල 300 ගුණයක් රසනේ මන්ද යන්න එවන් එක් අභිරහසකි.

කෝරෝනීය ස්කන්ධ ප්‍රවාහ [coronal mass ejections(CMEs)] පිටකිරීම් හෙවත් සූර්ය අංශු නෙරපීම් ගැන සොයා බලීමට ද ඔවුන් ක්‍රියා කරනු ඇත. මේවා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අවුල් කරන අතර චන්ද්‍රිකා සහ බලශක්ති ජාලකවලට බලපෑම් ඇතිකරයි. පෘථිවිය මත මෙ ආකාර බලපෑම් ඇති කරවන සූර්ය කුණාටු ගැන මුලින්ම කරුණු අනාවරණය කරගනු ලබුවේ මෙයට වසර හැටකට පෙරය. ඒ තාරකා භෞතික විද්‍යාඥ යුජින් පාකර් නැමැත්තා විසිනි. මෙම ගවේෂණ යානය නම් කර ඇත්තේ දැනට 91 වැනි වියේ පසුවන පාකර් විද්‍යාඥයාගේ නමිනි.
පාකර් සූර්ය ගවේෂණය සඳහා නාසා ආයතනය ප්‍රධාන අභිමතාර්ථ තුනක් දක්වා ඇත: ” සූර්ය රැස්වළල්ල සහ සූර්ය සුළං ගිනියම්කරවන සහ ත්වරණය හෙවත් වේගය වැඩි කරන ශක්ති ප්‍රවාහය සොයා ගැනිම, සූර්ය සුළං ප්‍රභවයන් තුළ ඇති ප්ලස්මා සහ චුම්භක ක්ෂේත්‍රයන්හි ව්‍යුහය සහ ගතිකයන් නිර්ණය කිරීම සහ ශක්තිමය අංශු ත්වරණය සහ ප්‍රවාහනය කරන යාන්ත්‍රණ ගවේෂණයයි”.
ගවේෂණ යානය සෘජුවම සුර්යයා දෙසට විදීම සඳහා අති දැවැන්ත ශක්තියක් අවශ්‍යවේ– ඔව්, අඟහරු ග්‍රහයා වෙත යනවාට වඩා 55 ගුණයක ශක්තියක් අවශ්‍යය. එහෙයින් ඒ වෙනුවට ගවේෂණ යානය කෙළින් ගමන් නොකර වටරවුම් මගක් ගනිමින් සිකුරු ග්‍රහයා වෙත යයි. යානය ඔක්තොබර් 2 දා එහි ළඟාවීමට නියමිතයි. සිකුරු ග්‍රහයාගේ ගුරුත්වයෙන් කැසකැවී ගවේෂණ යානය සූර්යයාට වඩාත් ආසන්න කක්ෂයකට යැවෙනු ඇත.

නාසා පාකර් යානය සූර්ය රැස්වළල්ල වෙත ප්‍රථම වතාවට ගිලී බලන්නේ නොවැම්බරයේ දිය. මෙහි හත් වසරක මෙහෙයුම් කාලය තුළ යානය මුළු වශයෙන් පුඩු නැතිනම් වට 24ක් ගැසීමට නියමිතයි. ඒ අතර වාරයේ යානය සූර්ය පෘෂ්ඨයේ සිට කිලෝමීටර මිලියන 6.2ක් ආසන්නයට යනු ඇත. මෙතෙක් කෘතිම වස්තුවක් සුර්යාසන්නයට පැමිණෙන අඩුම දුර මෙයයි.
පාකර් සූර්ය ගවේෂණය, කෘතිම වස්තුවක් සඳහා වන වැඩිම වේගය අතින් ද වාර්තාවක් තබයි. එය සුර්යා වෙත ප්‍රවේශ වෙද්දී පැයට කිලෝමීටර 700,000 ක තරම් අධික වේගයක් අත්පත් කරගනු ඇත.
New Scientist Magazine (August 18, 2018) සහ Innovation & Tech Today වෙබ් අඩවිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න