ඇස් දෙක පියාගෙන ඔබේ ඇඟිලි දෙක ක් එකට තබා අල්වා ගන්න. මේ ඉංගිතියට ඉඩ සලසන සංවේදය වන්නේ නෛජග්‍රාහකය හෙවත් ස්වයංග්‍රාහකයයි(proprioception).නෛජග්‍රාහකය යන්නෙන් අදහස්කෙරෙන්නේ ඔබගේ ශරීරාංඟ තිබෙන්නේ කොයිබද එමෙන්ම ඒවා ඉටුකරමීන් සිටින්නේ කුමක්ද යන්න ඔබේ මොළයට දන්වන ප්‍රතිපෝෂණයටයි(feedback). “මනුෂ්‍යයන්ගේ සෑම චලනයකටම නෛජග්‍රාහකය අත්‍යවශ්‍යයි” තාක්ෂණය සඳහාවු මැසචුසෙට් ආයතනයේ ජෛවවෛද්‍ය ඉංජිනේරුවෙකු වන ටයිලර් ක්ලයිට්ස් කියා සිටියි.

Image result for amputee's lost sense of limb position

ස්නායු පද්ධතිය සමග රොබෝටික ගාත්‍රා පාලනය සම්බන්ධයෙන් විද්‍යාඥයන් දැවැන්ත පියවර ඉදිරියට තබා ඇති නමුත් ස්නායු මය ප්‍රතිපෝෂණ සැපයීම වඩාත් අභියෝගාත්මක වී ඇත.  කෙසේවෙතත්, තාක්ෂණය සඳහාවු මැසචුසෙට් ආයතනයේම ජෛවයාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන හි‍යු  හර්,  නෛජග්‍රාහණය යොදා ගනිමින් ප්‍රශ්ලේෂක පාදයක් නිර්මාණය කර ඇත. “ප්‍රශ්ලේෂණයේ මෙතෙක් සොයාගැනිමට නොහැකිව තිබූ මූලික කොටස් වලින් එකක් තමයි එය” යයි පවසන්නේ මෙම අධ්‍යනයට සම්බන්ධ නැති, ක්ලීව්ලන්ඩ් චිකිත්සාගාරයේ ජෛවවෛද්‍ය ඉංජිනේරුවෙකු වන පෝල් මැරස්කෝය.  ගාත්‍රා නැතිනම් අත්පා තිබෙන තැන පිළිබඳ දැනීමට කේන්ද්‍රීය වශයෙන් වැදගත්වෙන්නේ, එකක් දිගහැරෙනවිට එකක් හැකිළෙන ආකාරයට සම්බන්ධව තිබෙන මාංශපේෂීන්ය. සාම්ප්‍රදායානුකූල අංග විච්ඡේදනයේ දී(amputation) මෙකී ගතික සම්බන්ධතාව බිඳ සිඳලමින් ශල්‍යවෛද්‍යවරු ඉතිරි පේෂී අස්ථිවලට ගැටගසයි.  නව ශිල්පක්‍රමය Science Translational Medicine සඟරාවේ මැයි කලාපයෙහි විස්තර කර ඇත. ඒ අනුව,  පාදයේ  දණහිසෙන් පහළ විච්ඡේදනයක් සිදුකල රෝගියෙකුගේ විච්ඡේදන ස්ථානයට නව පේෂී යුගලයක් බද්ධ කිරිම අදාළවේ. බද්ධ කළ පේෂීවල විදුලිමය ක්‍රියාකාරිත්වය සම හෙවත් චර්ම ඉලෙක්ට්‍රෝඩ මගින් හසු කර ගනු ලබන අතර ප්‍රශ්ලේෂක පාදයෙහි චාලක පාලනයට යොදා ගැනේ. “එය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ගොඩනැගුණු පද්ධතියකට එය ආපසු ලබාදීමට හැකිවීම ඇත්තටම ලොකු දෙයක්” මැරස්කෝ සඳහන් කරයි.

Image result for proprioception

ස්වභාවිකව සිදුකෙරෙන අන්දමේ අත්පා පාලනයක් යළි ලබාදීමට මෙම ක්‍රියාදාමයට හැකිවී තිබේ. පියගැටපෙළ නගිද්දී, ආබාධයක් නොමැති සාමන්‍ය පුද්ගලයෙකු කරන අන්දමට රෝගියා අවිඤ්ඤානකව සිය රොබෝටික පාදය නැමීය. ” මෙය ඉස්මතු වෙමින් පවතින ප්‍රතීකමය චර්යාවන් — ඒ කියන්නේ අපි අසීරු බිම් පෙදෙසක ඇවිදිනවිට වැදගත් එහෙත් අප අතින් අවිඤ්ඤානකව සිදු කෙරෙන මාදිලියේ චර්යාවන්  පිළිබඳ ප්‍රථම විදහා පෑමක්” අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ ක්ලයිට්ස් පෙන්වාදෙයි.  වළලුකරෙහි ව්‍යාවර්ත සංවේදකවලින් එන ප්‍රතිපෝෂක අන්තර්ගත කිරීමෙන් පාදයෙන් පෙඩලයක් තල්ලුකිරීමේදී යථාතථ්‍යව එය කිරීමට රෝගියයාට අවස්ථාව සැලසෙන බවද පර්යේෂකයෝ ප්‍රථමවතාවට පෙන්වාදුන්හ. “මෙහිදී අලුතෙන් සිදුවුන දෙය තමයි තැන, වේගය සහ බලය පිළිබඳ සංවේද අර්ථ දක්වන ආකාරය කෙබඳුදයි  මොළයට තේරෙන ප්‍රතිපෝෂක සැපයීමට හැකිවීමයි” ක්ලයිට්ස් පැහැදිලි කරයි.

Image result for amputee's lost sense of limb position

ප්‍රශ්ලේෂක කොටස තමන්ගේ ශරීරයේම අංගයන් ලෙස සැලකීමේ අදහසක් රෝගින්ගේ සිත් තුළට කාවැද්දීමට මෙම සංවේදන සමත්වන බවක් පෙණී ගොස් ඇත. “ලෙඩ්ඩු ඒ වගේ දැනෙන කතා කියනවා. ‘රොබොටික පාදය මට දැනෙන්නේ මගෙම ඇඟේ කොටසක් හැටියටයි’ ‘මට මගේ කකුල ආපහු ලැබිලා’ ඔය වගේ දේවල්” යයි හර් කියා සිටියි. හෙතෙමද විච්ඡෙදනයට ලක්වුවෙකි(amputee). අර්ධයාන්ත්‍රික පුද්ගලයෙකු ලෙස දැනෙන්නේදැයි ඔහුගේ දුව ඔහුගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ “නැහැ, මට දැනෙන්නේ මගේම කකුලක් තියනවා වාගෙයි” යනුවෙනි.

Scientific American(August, 2018) හී පළවූ  Body Sense යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending