මෙයට දශක කිහිපයකට පෙර නම් බීටල් කියන කොට අපේ මතකයට ආවේ ජෝන්, පෝල්, ජෝර්ජ් සහ රින්ගෝ ප්‍රමුඛ බීටල්ස් සංගීත කණ්ඩායමයි. ඒත් අප අද කතාකරන්න යන බීටල් සංගීත කන්ඩායමක සාමජිකයෙකු තබා මනුෂ්‍යයෙකුවත් නොවේ. එහෙනම්? ඉංග්‍රීසියෙන් බීටල් කියන්නේ කුරුමිණියාට නේ. එතකොට අප මේ කතකරන්න යන බීටල්, නමින් කෙක්වියස් ජේසන්. දැනට පදිංචිය චිකාගෝ වයි. වයස? වයස නම්…හ්ම්ම්ම් ඔව් වයස නම් අවුරුදු මිලියන 99ක් වෙනවා. වැරදීමක් නොවෙයි, මිලියන 99ක්!
චිකාගෝ හි ක්ෂේත්‍ර කෞතුකාගාර සංරක්ෂණාගාරයේ පර්යේෂණ කටයුතුවල යෙදී සිටිමින් සෙවුම් බැලුම් කරද්දී අධ්‍යනයේ ප්‍රධාන කර්තෘවන ආචාර්ය ෂුහෙයි යමමොටෝ ට ඇම්බර ඇතුලේ හිරවී සිටි වසර මිලියන 99ක් වයසැති මේ පිහාටු-පියාපත් කුරුමිණියා හමුවී තිබේ. (ඇම්බර යනු රුක් ලාටු වලින් සෑදෙන, කහපාට පාරදෘශ්‍ය දුම්මල වැනි ද්‍රව්‍යයකි). මේ කුරුමිණියා වැනි ප්‍රාග් ඓතිහාසික සතුන් රුක් ලාටු තුළ කොටුවූ විට ලාටු ඝනවෙද්දී එම සතුන්ගේ සිරුරු ද ඊට සංයෝජනය වේ. එවිට ඔවුන් සිටි ආකාරයටම වසර මිලියන ගණන් වුවත් — මේ අවස්ථාවේ දී නම් මිලියන 99ක් — සුරැකිව තැබේ.
“මට මුල දී ඒ තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ඇතුළ හොඳට බලාගන්න පුළුවන් වෙන විදිහට ඇම්බරය කපලා, පොලිෂ් කරලා ගත්තහම මට තේරුම් ගියා ‘අහා! මේක නම් බොහොම පුදුමාකාර ෆොසිලයක් තමයි’ කියලා” යමාමොටෝ කියා සිටියි.

මේ පෞරාණික කුරුමිණියා ඉතාමත් කුඩාය. මිනුම් වශයෙන් කීවොත් අඟලකින් දහයෙන් පංගුවක්(0.1 inches) හෙවත් මිලිමීටර 3ක් පමණවේ. තවත් විදිහකට කීවොත් වී ඇටයකින් භාගයක් පමනවේ. උන්ට පිහාටු-පියාපත් කුරුමිණියා(rove beetle) යන නම් ඇවිත් ඇත්තේ පියාපත් අග්ගිස්සේ ඇති පිහාටුමය දාවල්ල හේතුවෙනි. (හුළං තලා වැනි) ඩැන්ඩලියන් මල් බීජ මෙන් හුළං හසුකර ගනිමින් පාවී යාමට ඒවා මෙම කුරුමිණියන්ට ඉඩ සලසයි.

මේ ගැන අධ්‍යනයේ යෙදෙන කණ්ඩායම කුරුමිණියාට නම යොදා ඇත්තේ ග්‍රීක වීර වරයෙකුවන ජේසන් අනුව යමිනි.(නොනිදා රැකවළෙහි යෙදී සිටින මකරෙකු ආරක්ෂා කළ රත්ත්‍රන් බැටළුවෙකෙගේ ලොම් ලොව සිසාරා සොයා ගොස් මිඩ්යාගේ ද සහය ඇතිව ලබාගත් වීරයා ජේසන්ය). රුක් ලාටු තුළ සිරවී සිටින කුරුමිණියා අන්වීක්ෂනයකින් බලන විට පෙණී ගියේ සියුම්ව විස්තර දැකගත හැකි ලෙස සතා හොඳින් ආරක්ෂාවී තිබෙන බවයි. කුරුමිණියාගේ සිරුර දිගේ සිහින් ඉරි මෙන් තව් හෙවත් කට්ට තුණක පෙළක්ම තිබෙන බව ඔහුට දිස්වූයේය. කුරුමිණියා කලු පැහැතිය. කුරුමිණියාගේ ස්පර්ශක උගේ සිරුර තරමටම දිගය.
අද පිහාටු-පියාපත් කුරුමිණියන් විශාල කාණ්ඩයකි. ලොවපුරා එම විශේෂ 63,650ක් පමණ දැක ගත හැකිය. P. archaius අයත්වන උපකුලය Piestus නම් දකුණු ඇරිසෝනාවේ විශේෂයක් හැරුණු කොට අද සුවිශේෂව දක්ෂිණ අර්ධ ගෝලයට සීමාවූ සංසිද්ධයකි. දුර්ලභ සොයාගැනීමක් වන මෙම කුරුමිණි නව විශේෂයක් ලෙස Propiestus archaicus යනුවෙන් නම් කර ඇත. මොවුන් රොඩුබොඩු අතරේ ජීවත් වන පිහාටු-පියාපත් කුරුමිණියන්ගේ මුතුන් මිත්තෙකි. පිහාටු-පියාපත් කුරුමිණියන් අද දැකිය හැක්කේ දකුණු අමරිකාවේ සහ දකුණු අරිසෝනාවේ පමණකි. (මෙසෝසොයික යුගයේ අවසාන සමය වන) ක්‍රිටේසීය සමයට අයත් මේ සන්ධිපාදික ආදිතමයා මියන්මාරයෙන්(බුරුමයෙන්) සොයා ගැනීමට හැකිවීමෙන් කුරුමිණි කතාවට තවත් මානයක් එක් කර ඇත: ” Propiestus බොහෝ කලකට පෙර නෂ්ටප්‍රාප්ත වුවත්, අපේ සොයා ගැනීම හේතුවෙන් දක්ෂිණ අර්ධගෝලයත් මියන්මාරයත් අතර පුදුම එළවනසුළු සම්බ්න්ධතාවක් පෙන්නුම් කිරීමට මග පාදන්න පුළුවනි” යමමොටෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මියන්මාරයෙන් සොයාගනු ලැබූ අනෙකුත් කෘමි ෆොසිල සමග ගත් කල මේ ඉතා කුඩා කුරුමිණියා අපට දක්වන්නේ මියන්මාරය කලක්, පැංජියාව(Pangea) කැබලි වුවාට පසුව සෑදුණු අති දැවැන්ත මෙගා මහාද්වීපය වන ගොන්ද්වානාලන්තයේ කොටසක්ව පවතින්නට ඇතිබවයි.

ගොන්ද්වානාලන්තය(Gondwanaland), අද දක්ෂිණ අර්ධද්වීප සැදුම් ලත් භූස්කන්ධයෙන් විශාල කොටසක් අයත්වන්නට ඇත. ඒ අනුව අද ජීවත්වන විශේෂයන් සහ ඔවුන්ගේ ෆොසිලගත ආදිතමය ජීවත් වු ප්‍රදෙශ ගැන සොයා බැලීම පෘථිවියේ මේ සුවිභේදයන් අධ්‍යනය කිරීමෙ දී වැදගත් තොරතුරු අනාවරණය කිරීමට මග සලසනු ඇත. ඒ ගැන දැන ගැනීමත් කුරුමිණියාගේ කතාව මෙන්ම රසවත් විය හැක.
LIVE SIENCE හී පළවූ Tiny Beetle Entombed in Amber 99 Million Years Ago Reveals How Continents Shifted යන ලිපිය සහ තවත් වෙබ් අඩවි කිහිපයක් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න