පෘථිවියෙහි ජීව ස්කන්ධය නව සමීක්ෂණයක් මගින් ජීවීන් අනුව විශ්ලේෂණය කෙරේ.

 

පෘථිවියෙහි ජීව ස්කන්ධය නව සමීක්ෂණයක් මගින් ජීවීන් අනුව විශ්ලේෂණය කෙරේ. ශාක අපේ මේ ග්‍රහලෝකය පාලනය කරයි.  අඩු තරමින් හුදු ජීව ස්කන්ධය ගත්තොත් එය එසේය. පෘථිවිය මත ජීවය පිළිබඳ ප්‍රගණන බොහොමයක් ගණන් ගැනීම පිණිස ජෛවී විවිධත්වය යොදා ගන්නා අතර සිදුකෙරෙන්නේ හුදෙක් විශේෂයන් ගණන ගණන් කිරීමය. කෙසේවෙතත්, ගෝලීය වශයෙන් වැඩි බරක් දරන්නේ කුමණ රාජධානිය ද, වර්ගය ද, විශේෂයද යන්න නිර්ණය කරනු වස්  ජෛව ස්කන්ධය මත පදනම්ව සිදු කළ  නව සංගණනයක දී කලින් සිදු කළ අධ්‍යයන සිය ගණනක දත්ත සම්පාදනය කෙරිණ.  මෙහි ප්‍රථිපල පෙන්නුම් කරන්නේ ශාක(මූලිකවම ගොඩබිම ශාක) සම්පූර්ණ ජෛව ස්කන්ධයෙන් 80%කට වග කියන බවයි. මිට බොහෝ දුරින් දෙවැනි තැනට එන්නේ සකල පරසර පද්ධති අතරේ සිටින බැක්ටීරියාය. ප්‍රතිශත වශයෙන් දක්වතොත් 15% කි.  අධ්‍යනයේ ප්‍රතිඵල Proceedings of the National Academy of Sciences USA  හි  පසුගිය මැයි මස මාර්ග ගතව පළ විය.

උසස්-විභේදන චන්ද්‍රිකා දත්ත  යොදාගැනීම සහ   ගෙනෝමික අනුක්‍රම නිර්ණය(genomic sequencing) සම්බන්ධයෙන් සිදු කළ වැඩිදියුණු කිරීම් ඒ ආකාරයේ මිනුම් සඳහා මග පාදා ඇත්තේ වඩාත් නිරවද්‍ය ඇස්තමේන්තු සපයාගැනීමෙනි.  එසේවුවද, ක්ෂුද්‍ර ජීවීන් හා කෘමීන් වැනි ගණනය කිරීමට අපහසු ජීව ස්වරූප පිළිබඳව ඇති අවිනිශ්චිතතාව තවමත් ඉහළ මට්ටමක පවතී. නිදසුනක් ගනිමු: අන්ටාක්ටික් ක්‍රිල් යනුවෙන් හැඳින්වෙන කුඩා ප්‍රමාණයේ  ක්‍රස්ටේසියාවා හෙවත් කවචයා(crustacean) ගතහොත් ඌට මනුෂ්‍යයෙකු හා සංසන්දනය කළ හැකි පූර්ණ ජෛව ස්කන්ධයක් ඇත. පූර්ණ ජෛව ස්කන්ධය ගතහොත් මනුෂ්‍යන් සැදුම් ගන්නේ මුලු ප්‍රමාණයෙන් සියයට පංගුවක ප්‍රතිශතයක්  පමණක් වුවත්  එය කැලෑ හෙවත් වල් ක්ෂීරපායීන් සියල්ලගේ  ජෛව ස්කන්ධය ඉක්මවයි. පශූ සම්පතට ද ප්‍රබල තැනක් හිමිවේ: නිදසුනක් ලෙස කුකුලන් ගතහොත්, ඔවුන්ගේ ජෛව ස්කන්ධය වල් පක්ෂීන්ගේ ජෛව ස්කන්ධය මෙන් තුන් ගුණයකට වග කියයි. දඩයම් කිරීම සහ වන විනාශය වැනි සිය ක්‍රියා පිළිවෙත් මාර්ගයෙන් මනුෂ්‍යයන් විසින් වල් ක්ෂීරපායීන්ගෙ ජෛව ස්කන්ධය හයගුණයකින් ද ශාක ජෛව ස්කන්ධය දෙගුණයකින් ද අඩු කර ඇතැයි අධ්‍යනය ගණන් බලයි.

Scientific American(USA)  2018 අගෝස්තු කලාපයෙහි Taking Stock  of Life යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending