සීබ්‍රාට ඉරි තිබෙන්නේ ඇයි යන ප්‍රශ්නය හිතට නැගෙන්නේ කුඩා ළමුන්ට පමණක්ම නොවෙයි. ලෝකයේ විද්‍යාඥයන් බොහෝ දෙනා ද, ඊට පිළිතුරු සොයන්න වෙහෙසෙනවා.
අශ්වයින්ගේ සහ බූරුවන්ගේ ළඟම ඥාතීන් වන සීබ්‍රා විශේෂ තුනක් අප්‍රිකාවේ සැවනා තණ බිම් වල තණ කොළ වර්ග ගණනාවක රසවිඳිමින් සැරිසරනවා. පෙනුමෙන් තම ඥාතීන්ට සමාන වුණත් සමේ කැපී පෙණෙන ඉරි රටාව නිසා සීබ්‍රා ඉතා පහසුවෙන් වෙන්කොට හඳුනා ගන්න පුලුවන්. සීබ්‍රා එකිනෙකා අතර ඉරි රටා වෙනස් වෙනවා වාගේම කිසිම සීබ්‍රා සතුන් දෙදෙනෙකුට එක සමාන ඉරි රටා නැහැ. මේ සතුන්ට ඉරි තිබීම ගැන විවිධ සංස්කෘතීන් අතරේ නොයෙකුත් ජනප්‍රවාද තිබෙනවා. විද්‍යාඥයන් අතරේ නම් මේ සම්බන්ධව ප්‍රධාන පෙළේ උපන්‍යාස හතරක් තිබෙනවා කියලා කියන්න පුළුවන්.
· විශාල විලෝපියන්ගෙන් වසන් වීම පිණිස උපකාරී වන වේශාන්තරණයක් හැටියට
· එකිනෙකා හඳුනා ගැනිම වැනි සමාජයීය කර්තව්‍යයන් උදෙසා
· සතාගේ පිටුපස දිගේ සංවහන ප්‍රවාහ ඇතිකිරීමෙන් තාප පාලනය පිණිස සහ
· මැස්සන්ගේ ප්‍රහාර අවුරාලීම
ඔය අතුරෙන් සියුම්ව පරීක්ෂා කිරීමට ඉතිරිවන්නේ මැසි ප්‍රහාර උපන්‍යාසය පමණක් බව කැලිෆෝනියා-ඩේවිස් විශ්වවිද්‍යාලයේ චර්යාමය පරිසරවේදී ටිම් කැරෝ පවසනවා. PLOS ONE සඟරාවේ පළකළ මේ පර්යේෂණයේ ප්‍රධාන කර්තෲ කැරෝය.
එක සමානව තනි පාටක් තියෙන අශ්වයන් මත වසනවාට වඩා, අශ්ව මැස්සන්ට, ඉරි සහිත සීබ්‍රාගේ ඇඟේ වැසීම අපහසු බව නව පර්යේෂණයකින් හෙලිවීමත් සමග සීබ්‍රාට ඉරි ඇත්තේ මන්දැයි යන ප්‍රශ්නයට පර්යේෂකයන්ගෙන් පිළිතුරු ලැබෙන බවක් දැන් පෙනෙන්ට තියෙනවා.

ඔවුන්ගේ එක් පර්යේෂණයක දී පර්යේෂකයෝ අසුන්ට වරෙක ඉරි සහිත කබා ද තවත් විටක තනි පාට කබා ද පළඳවා බැලුවා. එහි දී පෙනී ගියේ තනි පාට කබාය මතට වඩා ඉරි සහිත කබාය ඇන්දවූ විට අඩුවෙන් මැස්සන් වසන බවයි.

“අශ්ව මැස්සන්, සීබ්‍රා සතුන් මෙන්ම තනි පාටැති අසුන් කරා සමාන අනුපාතයකින් පැමිණියත්, සීබ්‍රා හෝ ඉරි සහිත කබා ඇන්දවූ අසුන් මත වැසීමට අසමත් වූයේ නිසියාකාරව වේගය මන්දනය කරගැනීමට අපොහොසත්වීමෙන් ය” යි පෙන්වාදෙන කැරෝ, ” මැස්සන් එක්කෝ අසුන් හෝ සීබ්‍ර පසුකර පියෑඹුවා නැත්තං හැපී පොළා පැන්නා” යයි පවසයි.

අශ්ව මැස්සන්, හීලෑ සීබ්‍රා සහ ගෘහාශ්‍රිත අශ්වයින් වෙත පියඹා එන ආකාරය පර්යේෂකයෝ එංගලන්තයේ, උතුරු සමසෙට් හී සතුන් රැකබලාගන්නා ස්ථානයක දී වීඩියෝ කරා. දුර දී ඉරි රටාව මැස්සන්ට විකර්ෂණයක් නොවුනු බව පෙණුනේ ඔවුන් එකම අන්දමට සීබ්‍රා සහ මැස්සන් වටා කැරකෙන්නට පටන් ගත් හෙයිනි. එහෙත් අශ්වයින් මත වැසූ මැස්සන් ප්‍රමණයට වඩා හතරෙන් එකක් පමණ ප්‍රමානයක් තමයි සීබ්‍රා මත වැසීමට සමත්වුණේ. “මැස්සන්ට පාලනයකින් යුතුව වහන්න තියෙන හැකියාව ඉරි රටා නිසා වැළකී ගියා විතරක් නොවෙයි, සීබ්‍රා නිරතුරුව වලිගය වැනිම නිසා ද මැස්සන්ට හරියාකාරව ඔවුන් මත වැසීමට බාධාවක් වුනා. ඒකෙන් තේරෙන්නේ, මැස්සන් ලේ උරා බොන එක අධෛර්‍යමත් කරන්න සීබ්‍රා චර්යාමය උපක්‍රමත් භාවිත කරනවා යන්නයි” යනුවෙන් කැරෝ කියා සිටියි.
” සීබ්‍රාට ළං වෙද්දී පහළ විභේදනයකින් යුතු සිය ඇස්වලින් ඉරි දකින විට කොයි ක්‍රමයෙන් හරි ඇස් නිලංකාරවෙලා යනවා ඇතැයි ” බ්‍රිස්ටල් ජෛවී විද්‍යාඥ, අධ්‍යනයේ සම කර්තෲ මාටින් හව් පවසනවා.






ප්‍රතිචාරයක් ලබාදෙන්න