ළමා මානසික හිංසනයේ විවිධ ස්වරූප

ළමා කායික හිංසනය සහ  ලිංගික අපචාරය මෙන්ම මානසික හිංසනය(emotional abuse)ද විවිධ ස්වරූප ගනී. එමෙන්ම කායික හා ලිංගික හිංසනයේදී මෙන් මානසික හිංසනයේ ස්වරූප එතරම් ප්‍රකටව විද්‍යාමාන නොවන්නට පුළුවනි. මානසික පීඩනය නැතිනම් හිංසන ස්වරූප කිහිපයක් අපි දැන් හඳුනා ගනිමු.

පිළිකෙව් කිරීම(Rejection):

එක එක නම් පටබැඳ බැනවැදීම, නිරතුරුව කටුක විවේචනයට ලක් කිරීම, ළමයා සෙනෙහසින් වැළඳ ගන්නට තැත් කරද්දී ඊට ඉඩ නොදීම, පවුලේ කටයුතු හෝ සමාජයීය ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ළමයාට අවසර නොදීම හෝ සහභාගීවීමේ ඉඩකඩ ඇහිරීම. ළමයා “කිසි කමකට නැති කෙනෙකුය” යන හැගීම, ළමයා මෝඩයකුය යන අදහස ළමයා තුළ ඇති කිරීම.

නොසලකා හැරීම(Ignoring):

මෙය ඇතැම්විට සෘජු හිංසනයට වඩා ළමා සිත රිදවන සුළු විය හැකිය. කිසිසේත්ම ළමයා ‘ගණන් නොගැනීම’ ළමයා ක්ගැන කිසිම අවධානයක්  යොමු නොකිරීම, දරුවාගේ පාසල් කටයුතු හෝ දරුවා වැදගත් වන වෙනත් කාරණා ගැන කිසි වග විභාගයක් නොමැති ආකාරයෙන් හැසිරීම, ආරක්ෂාව ගැන හෝ සෞඛ්‍ය අවශ්‍යතා ගැන සැලකිල්ලක් නොදැක්වීම, පොදුවේ ගත් කළ දරුවාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් නොසලකා හැරීම මෙයට අයත්ය.

බියවැද්දීම හෙවත් තැතිගැන්වීම(Terrorizing:)

කෑමොර ගැසීම, ශාප කිරීම්, බිය වැද්දීම්, අතිශය දරුණු වදන් යොදාගෙන සැර පරුෂ ලෙස බැණ වැදීම්, නිවසෙන් පිටමං කරන බවට දරුවාට තර්ජනය කිරීම, දරුවා ආදරය කරන සුරතල් සතෙකුට හිංසා පැමිණවීම හෝ එම සතා මරා දමන බවට තර්ජනය කිරීම, දරුවන් ආශා කරන සෙල්ලම් බඩු යනාදිය කඩාබිඳ දැමීම, අනුන් අභියස දී දරුවාට ප්‍රසිද්ධියේ පරිභව කිරීම මෙයට ඇතුළත් ය.

හුදෙකලා කිරීම(Isolating):

මිතුරන් හඳුනාගෙන ඇසුරු කිරීම හෝ මිතුරන් සමග සෙල්ලම් කිරීම ළමයට තහනම් කිරීම, දිගු කාලවේලාවක් ළමයා නිවසේ තනිකර දමා යාම, ළමයා කාමරයකට වී තනිව පොතපත කියවීමට බලකිරීම හෝ ගෙදර දොරේ වැඩකටයුතු වල තනිව කිරීමට පැවරීම මෙයට අයත්ය.

exploitation of child labour සඳහා පින්තුර ප්‍රතිඵල

උපයෝජනය හෙවත් සූරාකෑම(Exploiting):

දරුවා කායික මෙන්ම මානසික යන දෙයාකාරයෙන්ම හිංසනයට පත් කිරීමට දරුවාට වයසට ඔරොත්තු නොදෙන තරමට  බැරි වැඩ පැටවීම, කිසිම විවේකයක් නොමැතිව ළමයා ගෙදර දොරේ හෝ වත්ත පිටියේ නැතිනම්, ගොවි පළ හෝ කුඹුර, කඩය වැනි වැඩිහිට්යන්(බොහෝවිට දෙමාපියන්) හරිහම්බ කරන ස්ථානයේ වැඩට යෙදවීම. සමහර අවස්ථාවලදී  ළමයාට ළමා කාලයක් ඇතිය යන්න නොසලකා විශේෂයෙන්ම දුගී පවුල්වල මෙය දරුවාගේ වගකීමක් ලෙස සැලකේ.

අදාළ රූපය

වරදට පෙළඹවීම හෙවත් කෙලෙසීම(Corruption):

කෙනෙකු අපහසුතාවයකට පත් කිරීමට හෝ අමාරුවේ දැමීමට ළමයා පෙළඹවීම, පික්පොකට් ගැසීම, මත් ද්‍රව්‍ය අලෙවිය, ලිංගික ක්‍රියාවන්හි යෙදීමට ළමයා දැනුවත්ව ධ්‍යෛර්‍මත් කිරීම හෝ එවැනි ක්‍රියාවන් සිදුවෙනු දැක අහක බලාගෙන සිටීම, මෙපමණක් නොව වැඩිහිටියන්ගේ කලකෝලාහල හා වාදබේද වල දී ළමයාද පංගුකාරයෙක් වූ බවට පත් කිරීම වෙනත් අයගේ කුල මල ජාතිය හෝ තරාතිරම පහළට හෙළා ක්‍රියා කිරීමට දරුවා පුරුදු කිරීම, ආගමික හා වාර්ගික සමගියට හානි වෙන ආකාරයට ළමයා හැසිරවීම මීට ඇතුළත්ය.

දරුවාගේ ජීවිතයට අහිතකර ලෙස බලපාන අයුරින් වෙනත් ආකාරයක මානසික හිංසනය ද ඒ ඒ සමාජ හා සංස්කෘතීන් තුළ තිබිය හැකිය.

eschooltoday හි පළවන Your basic guide to emotional child abuse ලිපියෙහි Forms of emotional child abuse
 කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending