ඉස්තරම්ම පෑන් කේක් හදන්න ගණිතය යොදා ගනිමු
රස කෑමක් පිටුපස ඇති භෞතික විද්‍යාව හඹා යෑම
රසවත් අතුරුපසක් හදාගන්න ගණිතය යොදාගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් අපි ඒක පිළිගන්න මැලි වේවි. ඒත් පරිගණක විඩම්බනවල(simulations) සහ තරල ගතිවිද්‍යාවේ(fluid dynamics) සුලු ආධාරයක් යොදාගනිමින් පෑන් කේක් හදන කලාව පරිසමාප්ත තත්ත්වයකට නැතිනම් ප්‍රශස්ත තත්වයකට ගෙන ඒමට ඉංජිනේරුවන් සමත් වෙලා තියෙනවා. ඉංජිනේරුවෝ? ඇයි ගෘහනියෝ නෙවෙයි ද? පෑන් කේක් තැනීමේදී අසීරුම දෙයක් හැටියට සැලකෙන්නේ පෑන්කේක් රොටිය නිසි ඝනකමට නිසි පදමට සාදා ගන්නා එකයි. මැදට දාන්නේ චොක්ලට්ද, චීස් ද, ජෑම් ද (ලංකාවේ නම් පැණිපොල්) යන්න මොනවා වුණත් රොටිය හරි හැටි හදා ගන්න එපායෑ.
දැවටීම සඳහා සකසා ගත් පිටි මිශ්‍රණය රත් වූ තැටියක වත්කළ විට හැසිරෙන ආකාරය ගැන, හරියටම කිව්වොත් පිටි මිශ්‍රණය එවිට ක්‍රියාකරන ආකාරය ගැන ලෝකයේ දෙතැනක සිටින එහෙත් පෑන්කේක් බුදීමට එකවගේ ආශාවක් දක්වන ඉංජිනේරුවරු දෙදෙනෙක් අධ්‍යයනයක යෙදුණා. ඔවුන් එහිදි උත්සාහ කළේ තැටිය ඇල ගසන කෝණය (හෝ ඇලවෙන) සහ තැටිය එහාමෙහා වන අන්දම(pan-angle and swirl conditions) විඩම්බණය කර ගණිතමය වශයෙන් සොයාබලා ප්‍රශස්ත පෑන් කේක් රොටිය හදන්න සුදුසුම තත්ත්වය නිර්ණය කිරීමයි.
මෙම අධ්‍යනය සිදු කළේ නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු මැතිවු සෙලියර් විසිනුයි. මෙය ඇත්තටම ඔහුගේ සිතේ ඇතිවූ අදහසක් කියන්න පුළුවන්. ඔහු විවිධ මට්ටම්වලදී (අණ්වික්ෂීය ධාරවල සිට ග්ලැසියර් ගලායෑම දක්වා) තරල පද්ධති(fluid systems) ගැන අධ්‍යයනයෙහි යෙදෙන්නෙක්. ඒ වගේම ඔහු, සිය නිවසේ ප්‍රධාන පෑන් කේක් නිෂ්පාදකයායි. නිවසේ දී පෑන්කේක් හදන බොහෝ වෙලාවල ඔහු හිතා බලන දෙයක් තමයි පිටි මිශ්‍රණය යොදාගනිමින් සෑම තැනකම එක සමානව ඝනකමක් පවතින රොටියක් තනා ගන්නේ කොහොමද කියන එක.
දැනට ප්‍රංශයේ École Polytechnique හි ඉංජිනේරුවකු වන එඩුවා බවුරෝ(École Polytechnique) 2016 වසරේ දී මුනගැහුන අවස්ථාවේ සෙලියර්, පෑන්කේක් රොටියේ තුන් තේරවිල්ල ඔහුට කියා සිටියා. ඔවුරෝ ප්‍රශස්තකරණය (optimization) ගැන හදාරන්නෙක්. ඒ වගෙම පෑන් කේක් ලෝලියෙක්. දෙන්න එකතුවෙලා පෑන්කේක් රොටි කතාව ගණිතමය ස්වරූපයකට පෙරලුවා.

කෙනෙකු කොහොමද සැබෑ ලෝකයේ දී පෑන් කේක් එකක් සහ, එක සමානව පැතැලි පරමාදර්ශි පෑන්කේක් රොටියක් අතරේ ඝණකම් වල වෙනස අවම කරගන්නේ කෙසේද? මේක තමයි ඔවුන්ගේ අභියෝගය. විද්‍යාඥයන් දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිඵල Physical Review Fluids සඟරාවේ ජූනි කලාපයේ පළ වෙලා තියෙනවා. ඔවුන් විසින් සොයා ගනු ලැබූ ප්‍රශස්තකරන ක්‍රමවේදය — ඒ කියන්නේ පිටි මිශ්‍රණය ඒකාකාරව විහිදී ගොස් තැටියේ කෙළවර දක්වා යන පරිදි තැටිය නැතිනම් පෑන් එක ඇල කරන ආකාරය — උණු තැටියකට පාන් පිටි මිශ්‍රණය දමා පෑන්කේක් සාදා පුරුද්දක් තියෙන අයට නම් පුදුමයක් නොවන්නට පුළුවන්. ඒත් මෙහි ඇඟවීම් නැතිනම් ගම්‍යාර්ථ(implications) කුස්සියෙන් ඔබ්බටත් යනවා සිකුරුයි.
“ප්‍රශ්නය විසඳීම පිණිස ප්‍රශ්නය සරල කිරීමේ හොඳ ක්‍රමයක් තමයි මේක” යනුවෙන් කියා සිටින්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතඥ මැතිව් මුවර්ය. හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ අයෙක් නොවේ. (ඒ වුණාට පෑන්කේක් කෑමට කෑදර ගතියක් දක්වන්නකු බව පිළිගන්නා අයෙකි.) තරල අවධියේ සිට ඝන අවධිය දක්වා සංක්‍රමණයේදී සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීම සංකීර්ණ වන්නට පුළුවන් බව හෙතෙම පෙන්වා දෙයි.

පෑන් කේක් පිටි රොටිය තැනීම ප්‍රශස්තකරණය ගැටලුවක් ලෙස සලකා ක්‍රියාකිරීමේ ක්‍රමෝපාය වෙනත් කාර්යන් සඳහා යොදාගැනීමට හැකි වන්නකි. තුනී පෑන්කේක් රොටිය තැනීමේ ශිල්ප ක්‍රමය මයික්‍රොචිපයකට තුනී ස්තර එක්කිරීම හෝ මෝටර් රථයකට ඒකාකාරව තීන්ත ආලේප කිරීම හෝ වැනි ශිල්ප ක්‍රම වලට සමාන විය හැකියි. තමුන් පෑන්කේක් රොටි තැනීමට උපයෝගී කරගත් ප්‍රවේශය මේ කාර්ය සඳහා යෝග්‍ය වෙතැයි ඉංජිනේරුවන් දෙදෙනා කියා සිටිනවා. මේවා අතර සම්බන්ධය සොයනවා නම් කියන්න තියෙන්නේ ඔය කිවු ආකාර කාර්යයන් සෑම එකකදීම වැදගත් වන්නේ තුනී එක හා සමාන පැතිරුණු ස්තරයක් ලෙස තරලයක් පැතිර යාමට සැලැස්වීම යි සෙලියර් පෙන්වා දෙයි. “(අපට මුහුණ දෙන්නට වෙන) බොහොමයක් අවස්ථාවලදී ගැටලුව ඕක තමයි” හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
Scientific American(September, 2019) සඟරාවෙහි පල වූ The Perfect Crepe යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න