අලින්ට පිම්මක් පනින්න පුලුවන්ද?

නැහැ නැහැ මේක දේශපාලන කතාවක් නොවෙයි. හීලෑ අලි මෙන්ම වල් අලින්ගේ හැකියාවන් පිළිබඳ ප්‍රශ්නයක්.  ග්‍රන්ථ රචක ඩේවිඩ් පෙල්ඩ්මන් අලි විශේෂඥයන් කිහිප දෙනෙකුගෙන්ම මේ ගැන අසා බැලුවත් ඔවුන් අතරින් කිසිම කෙනෙකු අලි පැනීමක් දැකලාම නැත. පැනීම, වැඩුනු අලියෙකුට හෝ ඇතෙකුට කායික විද්‍යාත්මකව කළ නොහැක්කක් බවයි මොවුන්ගෙන් වැඩිදෙනා අදහස් කරන්නේ. සමහර වෙලාවට පුංචි ඇතුන්ට සෙල්ලම් ගතියෙන් මදක් උඩ පැනීමට පුළුවන්කම තිබුණත් කකුල් හතරම එකවර බිමට සිටිය යුතු තරමට වැඩිහිටි අලින්ගේ බර වැඩි වෙනවා පමණක් නොව ඔවුන්ගේ පාද සැකසී ඇත්තේ බරින් වැඩි සිරුර දරා සිටීමට අවශ්‍ය ශක්තිය සඳහා  මිස පැනීමේ හැකියාව සඳහා නොවේ.

පිලඩෙල්පියා සත්වෝද්‍යානයේ අලි ඇතුන් බලාගන්නා හැටියට දශකයකට වැඩි කාලයක් සේවය කර ඇති මාක් ග්‍රන්වෝල්ඩ් දක්වන අන්දමට අලින්ගේ අස්ථි ව්‍යුහය හේතුවෙන් පැනීමට අවශ්‍ය ලෙස සුවිසල් කඳ එසවීමට තරම් ප්‍රමාණවත් අයුරින් කකුල් නැමීමේ හැකියාව ඔවුන්ට නැත. කෙසේ වෙතත්, වනගතව වසන අලි පැනීම් කළ අවස්ථා දුටු අය සිටින බව පැවසේ.  අලි ඇතුන් ගැන ඇති සම්ප්‍රදායානුකූල මතය ස්ථිර කරමින් එස්.කේ.එටින්හැම් ලියූ Elephant නම් ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ඔවුන්ගේ මහා බර හේතුවෙන් අලි ඇතුන්ට උඩ පැනීමට තබා අප දන්නා අර්ථයෙන් දිවීමට වත් නොහැකි බවයි. ඒත් ජේ.එච්. විලියම්ස් ලියූ Elephant Bill  ග්‍රන්ථයෙහි විස්තරයක් අනුව ඇතින්නක් ගිරි කඳුරකින් පැන ඇත්තේ හරියට අශ්වයකු දියකඩිත්තක් පනින විලාසයකිනි.

වේගයෙන් දිවිය හැකි සතුන් හෝ පැනීමේ මනා හැකියාවක් ඇති සතුන්ට  එම හැකියාවන් සාමාන්‍යයෙන් පරිණාමය වී ඇත්තේ විලෝපිය සතුන්ගෙන් බේරි පලායාම යාම සඳහාය (නැතිනම් ගොදුරු අල්වා ගැනීමටය). එහෙත් අලි ඇතුන්ට ස්වභාවික විලෝපියන් නොමැති යයි සැන්දියාගෝ වන සත්ව උද්‍යානයේ පාලක ඇලන් රොන්ස්ක්‍රෝෆ්ට් පවසයි. අලි ඇතුන්ව මරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. එහෙම නැතිනම් ඉතින් ව්‍යඝ්‍රයෙකු හෝ සිංහයෙකු වගේ තව වෙනත් සතෙකු නම් ටොන් දාහතරක් බර ඇති එකෙක්  වෙන්න ඕන.

සිය ස්වභාවික වාතාවරණය තුළ අලි ඇතුන්ට පැනීමට හේතු පැන නොනගින තරම් යයි ව’මොන්ට් විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාඥ රිචඩ් ලැන්ඩෙස්මාන් පෙන්වා දෙයි. බොහෝ විශේෂඥයෝ ඒ මතයට එකඟ වෙති. ඝන සම ඇති විශාල සිව්පා සතුන්(pachyderms) ඇවිදින්නේ නුහුරු ආකාරයකට බව පෙන්වා දෙන සැන්දියාගෝ සත්ත්ව උද්‍යානයේ අලි ඇතුන් පාලක මයික් ශුලැක් ඒ හේතුව නිසා ඔවුන් ගමන බිමන සිදු කරන්නේ පරිසමෙන් බව සඳහන් කරයි.

pachyderms

ඒත් ඉතින් අලි ඇතුන් එහෙම පහසුවෙන් හෑල්ලුවට ලක් කරන්න බැහැ. තමන් ඉදිරියේ ඇති ගමන්මගේ තිබෙන ඕනෑම දෙයක් තල්ලුකරගෙන පාගාගෙන හෝ බැරිම නම් මගහැර යාමට ඔවුනට පුළුවනි. සිය ස්වභාවික වාස භූමියේ අලි ඇතුන් ගේ ගමන්බිමන්  පාලනය කිරීම සඳහා ඉන්දියාවේ සම්ප්‍රදානුකූලව යොදාගන්නා උපක්‍රමය අගල් කැපීමයි. මේ අගල් අඩුම තරමින් මීටර් දෙකක් ගැඹුරුයි. අගල උඩ හරහාට මීටර් දෙකයි. යට මීටර් එකහමාරයි. පනිනවා නම් ඔන්න අඩි හයහමාරක් පනින්න ඕන. එහෙම නම් ඉතින් අලි පනියිද? නැද්ද? කැලිෆෝනියාවේ පශු වෛද්‍යවරයෙකු මයිරොන් හින්රික්ස් කියන්නේ මේ අගල් උපක්‍රමය බෙහෙවින් අසාර්ථක බවයි. ඒ කියන්නේ අලි ඇතුන් අගල පනිනවාද? මෙහෙමයි. මේ අගල් නැවත පුරවන්න උන්ට පුළුවන්. විශේෂයෙන්ම වර්ෂා කාලෙට. එතකොට තියෙන්නේ ඇවිදගෙන යන එකයි. විශාල අලින්ට මේ අගලට බැහැලා එගොඩ වෙන්නත් පුළුවන්.

අදාළ රූපය

ඉතින් අර මුලින් අහපු ප්‍රශ්නය? අලින්ට පිම්මක් පනින පුලුවන්ද? අපෙන් නෙවෙයි අලි ඇතුන් ගේ ඔය ප්‍රශ්නය ඇහුවොත් මෙහෙම පිළිතුරු දේවි: ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙද්දී  පනින හදන්නේ මොකටද?

 

Do Elephants Jump?( David Feldman, 2004)  නම් ග්‍රන්ථයේ Do Elephants Jump?  නම් කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending