.නව පාසල් වර්ෂය ආරම්භවෙද්දී,  ඉන්දියාවේ වයස අවුරුදු 16 ට අඩු ලමුන්ට  ආවර්තිතා වගුව මෙන්ම පරිණාමය ගැන  උගැන්වීම නතර කෙරේ.

පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සෙකන්දරාබාද්හි ශාන්ත තෝමස් පාසලේ ජාතික විද්‍යා දිනය. අනාගත සිසුන්ට ආවර්තිතා වගුව මෙලෙසප්‍රදර්ශනය කිරීමට හැකි වේවිද? Credit: Noah Seelam/AFP via Getty Images

ඉන්දියාවේ, පාසල් වර්ෂය ආරම්භයේදී මේ මාසයේ නැවත පාසලට පැමිණෙන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට පරිණාමය, මූලද්‍රව්‍යවල ආවර්තිතා වගුව හෝ ශක්ති ප්‍රභවයන් පිළිබඳව තවදුරටත් උගන්වනු නොලැබේ.

දහස් සංඛ්‍යාත ජනයා විරෝධතාවය පෙන්වන් පෙත්සමකට අත්සන් තබද්දී අවුරුදු 15-16 අතර සිසුන් සඳහා විෂය මාලාවෙන් පරිණාමය කපා හරින බවට පුවත පසුගිය මාසයේ පුළුල් වශයෙන් වාර්තාවිය. මේ අතර,  බලශක්ති ප්‍රභවයන් සහ පාරිසරික තිරසාරභාවය වැනි අනෙකුත් මූලික මාතෘකා සමඟින් ආවර්තිතා වගුවේ පරිච්ඡේදයක් ද කපා හරින බව නිල මාර්ගෝපදේශ මගින් අනාවරණය වී ඇත. තරුණ සිසුන්ට තවදුරටත් පරිසර දූෂණය සහ දේශගුණය ආශ්‍රිත මාතෘකා උගන්වනු නොලැබෙන අතර වැඩිහිටි පාසල් සිසුන් ගතහොත්, ඔවුන්ට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, ගණිතය සහ භෞතික විද්‍යා විෂයයන් සඳහා කප්පාදුවක් ඇත.

සමස්තයක් වශයෙන්, මේ වෙනස්කම් ඉන්දියාවේ පාසල්වල අවුරුදු 11-18 අතර ළමුන් මිලියන 134කට බලපායි.   ඉන්දියානු පාසල් විෂය මාලාව සහ පෙළපොත් සංවර්ධනය කරන මහජන ආයතනයජාතික අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු කවුන්සිලය (National Council of Educational Research and Training –  NCERT)  මැයි මාසයේ ආරම්භ වූ නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් නිකුත් කළ විට වෙනස් වී ඇත්තේ මොන මොනවා දැයි පැහැදිලිව දැකගත හැකිවිය.

විද්‍යා අධ්‍යාපනය හදාරන අය ඇතුළු පර්යේෂකයෝ මේ ප්‍රවෘත්තියෙන් කම්පාවට පත් සිටිති. කැලිෆෝනියාවේ, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පර්යේෂකයෙකු වන ජොනතන් ඔස්බෝන් පවසන්නේ “පරිණාමය ගැන හැදෑරීම ඉවතට දමා ජීව විද්‍යාව ඉගැන්වීමට උත්සාහ කරන ඕනෑම අයෙකු කරන්නේ අප දැනට තේරුම් ගෙන ඇති පරිදි ජීව විද්‍යාව ඉගැන්වීම නොවේ.  එය ජීව විද්යාව සඳහා මූලික ව්න්නක්.”  යනුවෙනි. ජීවයේ ගොඩනැංවීමේ ඒකක බෙහෙවි විවිධ වූ ගුණ සහිත ද්‍රව්‍ය ජනනය කිරීමට සම්බන්ධ වන ආකාරය ආවර්තිතා වගුව මගින් පැහැදිලි කරනු ලබන අතර,  “එය(ආවර්තිතා වගුව) රසායන විද්‍යාඥයින්ගේ විශිෂ්ට බුද්ධිමය ජයග්‍රහණවලින් එකකි” යයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාවේ මුම්බායි හි ටාටා සමාජ විද්‍යා ආයතනයේ(Tata Institute of Social Sciences) විද්‍යා-ගුරුවරුන්  පුහුණුකරන්නියක් වන මයිතිලි රාම්චන්ද් පවසන්නේ “ජලය, වායු දූෂණය, සම්පත් කළමනාකරණය සම්බන්ධ සියල්ල (විද්‍යා අධ්‍යාපනයෙන්) ඉවත් කර ඇති බවයි. “ජලය සහ වායු [දූෂණය] සංරක්ෂණය අපට අදාළ නොවන්නේ කෙසේදැයි මට නම් නොපෙනේ. වර්තමානයේ එහි අදාළත්වය තවත් වැඩි ය, ” යනුවෙන් ඇය තවදුරටත් පවසයි. ෆොසිල ඉන්ධනවල සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා විවිධ බලශක්ති ප්‍රභවයන් පිළිබඳ පරිච්ඡේදයක් ද ඉවත් කර ඇත. “අවංකවම කියතොත්, අද ලෝකයේ ඒවායේ අදාළත්වය අනුව බලනවිට, මෙය යම් අප්‍රබංශයක් තමයි,” ඔස්බෝන් පවසයි.

 පරිණාමය පිළිබඳ  අන්තර්ගතය ප්‍රතිස්ථාපනය කරන්නැයි ඉල්ලා සිටිමිමින්, ඉන්දියාවේ කොල්කටා හි පිහිටි මැදිහත්වීමේ කණ්ඩායමක් වන Breakthrough Science Society විසින් සංවිධානය කරන ලද අභියාචනයකට 4,500කට වැඩි විද්‍යාඥයන්, ගුරුවරුන් සහ විද්‍යා සන්නිවේදකයින් අත්සන් තබා ඇත.

මෙම අභියාචනයට NCERT ප්‍රතිචාර දක්වා නැත. වෙනස්කම් අධීක්ෂණය කිරීම සඳහා එය(NCERT) විශේෂඥ කමිටු මත විශ්වාසය තැබුවද, වෙනස්කම් සිදුකිරීමට ගත් තීරණයෙහි තාර්කිකත්වය පැහැදිලි කිරීම පිණිස එය දෙමාපියන් සහ ගුරුවරුන් සමඟ තවමත් සම්බන්ධ වී නොමැත.  අදහස් දක්වන්නයි nature Education කළ ඉල්ලීමට NCERT ප්‍රතිචාර දක්වා නොමැත. 

පරිච්ඡේද ඉවත් කිරීම

සාමාන්‍යයෙන් අවුරුදු 15-16 වයස්වල පසුවන 10 පන්තියේ සිසුන් සඳහා වන විෂය නිර්දේශයෙන් මූලද්‍රව්‍යවල ආවර්තිතා වගුවේ පරිච්ඡේදයක්ම ඉවත් කර ඇත. බලශක්ති ප්‍රභවයන් සහ ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය පිළිබඳ සම්පූර්ණ පරිච්ඡේද ද ඉවත් කර තිබේ.

දහනව වන ශතවර්ෂයේදි  විදුලිය සහ චුම්භකත්වය පිළිබඳ අවබෝධය සඳහා මයිකල් ෆැරඩේ දැරූ දායකත්වය පිළිබඳ කුඩා කොටසක් ද 10-පන්ති විෂය නිර්දේශයෙන් ඉවත් කර ඇත. විද්‍යාව නොවන අන්තර්ගතය සලකන විට,  ප්‍රජාතන්ත්‍රවාදය සහ විවිධත්වය පිළිබඳ එමෙන්ම; දේශපාලන පක්ෂ; සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝග පිළිබඳ පරිච්ඡේද ඉවත් කර ඇත. තවද,   කාර්මික විප්ලවය පිළිබඳව වයසින් වැඩි සිසුන් සඳහා වූ පරිච්ඡේදයක් ද  ඉවත් කර හිබේ.

සිදු කර ඇති වෙනස්කම් පැහැදිලි කිරීමේදී, NCERT සිය වෙබ් අඩවියේ සඳහන් කරන්නේ අන්තර්ගතය වෙනත් තැනක ආවරණය කර ඇති සමාන අන්තර්ගතයන් සමඟ අතිච්ඡාදනය වී ඇත්ද, අන්තර්ගතයේ දුෂ්කරතාවය සහ අන්තර්ගතය අදාළ නොවේද යන්න සලකා බැලූ බවයි. අත්දැකීම් සහිත අනුභූතිමය ඉගෙනීම(experiential learning) හෙවත් අත්දැකීම් පාදක කොටගත් ඉගෙනුම සහ නිර්මාණශීලීත්වය සඳහා අවස්ථා ලබා දීම ද එහි අරමුණයි.

COVID-19 වසංගතය අතරතුර අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබන සිසුන්ට ඇති පීඩනය ලිහිල් කරන බව පවසමින් NCERT පසුගිය වසරේ කප්පාදුව නිවේදනය කළේය. ඉන්දියාවේ බෙංගලරූ  විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජවහර්ලාල් නේරු උසස් මධ්‍යස්ථානයේ පරිණාමීය ජීව විද්‍යාඥ අමිතාබ් ජෝෂි පවසන්නේ සිසුන් ලබන වාරයේ පාසල් වෙත ආපසු පැමිණි පසු (ඉවත් කෙරුණු)අන්තර්ගතය නැවත ස්ථාපිත කරනු ඇතැයි විද්‍යා ගුරුවරුන් සහ පර්යේෂකයන් අපේක්ෂා කළ බවයි. ඒ වෙනුවට, 2020 ජූලි මාසයේදී රජය විසින් අනුමත කරන ලද ඉන්දියාවේ සංශෝධිත අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව, ඉදිරි අධ්‍යයන වර්ෂ දෙක තුළ ද වෙනස්කම් එලෙසම පවතිනු ඇති බවට ප්‍රකාශයක් සහිතව නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් මුද්‍රණය කිරීමෙන්  NCERT සියලු දෙනා කම්පනයට පත් කළේය.

“නව ප්‍රතිපත්තිය පිටුපස ඇති අදහස නම් සිසුන්ගෙන් ප්‍රශ්න ඇසීමට සැලැස්වීමයි” යනුවෙන් කොල්කටාහි ඉන්දියානු විද්‍යා අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වන අනින්දිතා භද්‍රා පවසයි. එහෙත් ඇය පෙන්වාදෙන්නේ මූලික සංකල්ප ඉවත් කිරීම කුතුහලය ධෛර්යමත් කරනවා වෙනුවට එය යටපත් කිරීමට ඉඩ ඇති බවයි. ” ‘අන්තර්ගතය අතහැර අඩුවෙන් උගන්වන්න’ යැයි පවසමින් මේ සිදු කරන විදිහ ඇත්තටම  එය සිදු කළ යුතු ආකාරය නම් නොවේ” යනුවෙන් ඇය පවසයි.

පරිණාමය පසෙක තැබීම

කප්පාදුවේ දී විද්‍යා අධ්‍යාපනඥයින් විශේෂයෙන් සැලකිලිමත් වන්නේ පරිණාමය ගැන ඉගැන්වීම ඉවත් කිරීම ගැනයි . සාමාන්‍යයෙන් අවුරුදු 14-15 වයස්වල පසුවන 9 පන්තියේ සිසුන් සඳහා වන විෂය නිර්දේශයෙන් සජීවීන්ගේ විවිධත්වය පිළිබඳ පරිච්ඡේදයක් සහ ‘අපි අසනීප වන්නේ ඇයි?’ යනුවෙන් එක් පරිච්ඡේදයක් ඉවත් කර ඇත. 10 පන්තියේ සිසුන් සඳහා වූ ‘ප්‍රවෙණිය සහ පරිණාමය'(heredity and evolution) යන පරිච්ඡේදයෙන් පරිණාමයට ඩාවින්ගේ දායකත්වය, පොසිල සෑදෙන ආකාරය සහ මානව පරිණාමය යන සියල්ල ඉවත් කර ඇත. එම පරිච්ඡේදය දැන් හඳුන්වන්නේ හුදෙක් ‘පවේණිය’ යනුවෙනි.  මානව විවිධත්වය සහ “ලෝකය තුළ අපගේ ස්ථානය” අවබෝධ කර ගැනීමට පරිණාමය ගැන දන ගැනීම අත්‍යවශ්‍ය බව ජෝෂි පවසයි.

 ඉන්දියාවේ හැම සිසුවෙකුටම විද්‍යාව උගන්වන අවසාන වසර 10 පන්තියයි. අධ්‍යාපනයේ අවසාන වසර දෙකේදී (විශ්ව විද්‍යාලයට පෙර) ජීව විද්‍යාව හැදෑරීමට තෝරා ගන්නා සිසුන් පමණක් මාතෘකාව ගැන ඉගෙන ගනු ඇත.

ජෝෂි පවසන්නේ විෂයමාලා සංශෝධන ක්‍රියාවලිය, විනිවිදභාවයෙන් තොර බවයි. එහෙත්, පරිණාමය සම්බන්ධයෙන්, “ඉන්දියාවේ තවත් ආගමික කණ්ඩායම් පරිණාමයට එරෙහි ස්ථාවරයන් ගැනීමට පටන් ගෙන ඇතැයි”, ඔහු පවසයි. අධ්‍යයන ආයතනවල ඉගැන්වීම් වලින්  පිටත පරිණාමයෙහි අදාළත්වයක් නොමැති බව මහජනතාව අතරෙන් සමහරුන්ගේ ද අදහසයි.

නව දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන ආදිත්‍ය මුකර්ජි පවසන්නේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට සමීප සබඳතා ඇති මහජන  ස්වේච්ඡා සංවිධානයක් වන Rashtriya Swayamsevak Sangh (RSS) විසින් විෂය මාලාවේ වෙනස්කම් මෙහෙයවනු ලබන බවයි. ඉන්දියාවේ අනෙකුත් ආගම් සහ සංස්කෘතීන්ගෙන් හින්දු ආගම තර්ජනයට ලක්ව ඇති බවයි RSS කල්පනා කරන්නේ.

ඉන්දියාවේ “ප්‍රබුද්ධත්වයට සහ බටහිර අදහස්වලට එරෙහිව තාර්කික චින්තනයෙන් බැහැර වූ ව්‍යාපාරයක් පවතී”, පාසල් පෙළ කෙරෙහි ර්‍SS බලපෑම පිළිබඳ අධ්‍යයනය සඳහා මුකර්ජි සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේම ඉතිහාසඥ සුචේතා මහාජන් සිය අදහස් එක් කරයි. පරිණාමය , ලොව මැවීමේ කථාවලට පටහැණිය;  “ඉතිහාසය තමයි ප්‍රධාන ඉලක්කය එනමුත් විද්‍යාව තමයි බිලි වශයෙන් ගොදුරු වූ එක් අංශයක්,” ඇය තවදුරටත් පවසයි.

මෙම ලිපිය ප්‍රථම වරට 2023 මැයි 31 දින nature Education මගින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.

Scientific American හී පළවූ India Cuts Periodic Table and Evolution from School Textbooks යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending