Mr.Bean ලෙස අප බොහොදෙනා හඳුනන, නළු Rowan Atkinson විසින් The Guardian පුවත්පතේ පළකර ඇති මතයක දැක්වෙන්නේ ද  විදුළි වාහන පිළිබඳ හුරුපුරුදු සහ නොමඟ යවන සුළු විවේචනමය.

LONDON, ENGLAND – JUNE 19: Rowan Atkinson attends the UK Premiere of “Man Vs Bee” at Everyman Borough Yards on June 19, 2022 in London, England. (Photo by Dave J Hogan/Getty Images)

Rowan Atkinson 2022 ලන්ඩන් නුවර දී  “Man Vs Bee” හි UK මංගල දර්ශනයට සහභාගීවෙයි. credit: Dave J Hogan/Getty Images

Mr.Bean මොනවා කිව්වත්, පෙට්‍රල් වාහනවලට වඩා  විදුලි වාහන පරිසර හිතකාමීයි! එය ඇත්තක් ද?

කැණීම් ඇතුළුව විදුලි මෝටර් රථ නිෂ්පාදනයට සම්බන්ධව හට ගන්නා විමෝචන නිසා විදුලි වාහන ද පරිසරාත්මකව හානිකර බවට  බොහෝ විට නොමඟ යවන ආකාරයෙන් අටවන අදහස  ඉඳහිට යළි මතුවීමේ තත්ත්වයට, විදුලි වාහනවල සහ පෙට්‍රල් වාහනවල විමෝචනය අධ්‍යයනය කරන පර්යේෂකයෝ පුරුදු වී සිටිති.

මෙම ‘මතය’ යළි අවධානයට යොමුවූයේ සෙනසුරාදා එළියට ආ ප්‍රකාශනයක් සමඟය: විදූෂකයෙකු ( comedian) සහ නළුවෙකු වන රෝවන් ඇට්කින්සන් විසින්  ගාඩියන් හි පල කරන ලද මතයකින් කියැවෙන්නේ, ඉලෙක්ට්‍රික් වාහන පරිසරයට වඩා හොඳ බවට දුන් පොරොන්දුවෙන් තමාට “රැවටුණු” සෙයක් දැනුණේ යයි හැඟී ගිය බවකි. ඔහුගේ අදහස් පසුව Fox Business සහ  New York Post   ඇතුළු වෙනත් අය විසින් පල කරන ලද කථා මගින් විස්තාරණය විය.

“කනගාටුවට කරුණක් නම්, ඔබේ පැරණි පෙට්‍රල් මෝටර් රථය තවදුරටත් තබා ගැනීම විදුලි වාහනයක් මිලදී ගැනීමට වඩා හොඳ විය හැකිය” යනුවෙන් ඇට්කින්සන් ලියයි, “විදුලි වාහන වෙත නැඹුරු නොවීමට තරම් තවමත් හොඳ පාරිසරික හේතු තිබේ.”

ඔහුගේ නිගමනය විද්‍යුත් වාහන සහ ඒවායේ විමෝචනය පිළිබඳ පර්යේෂණ කරන පුද්ගලයින්ට කලකිරීමක් ඇති කරයි; මන්ද එය ෆොසිල ඉන්ධන වෙත නැඹුරු වූ  කණ්ඩායම්වල හුරුපුරුදු රූපාලංකාර භාවිතයක් පමණක් වන හෙයිනි. විද්‍යුත් වාහන වෙත සංක්‍රමණය වීම මන්දගාමී කිරීමෙන් මූල්‍ය වාසි හිමිවන අය අතර මෙම කණ්ඩායම්, වෙයි. ඇරත්,  එම අදහස, දත්තවල නොමඟ යවනසුලු දැක්මක් මත පදනම් වූවකි.

ඉලෙක්ට්‍රික් වාහනයක් නිෂ්පාදනයේ දී අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහනයක නිෂ්පාදනයටට වඩා වැඩි විමෝචනයක් ඇති වන බව ඇත්තක් වුවත්, ඉලෙක්ට්‍රික් වාහනයක් පාරේ ගමන් කරන කාලය තුළදී ඉතා අඩු විමෝචනයක් සිදුවන නිසා, නිෂ්පාදනයේ දී ඇතිවන විමෝචන වැඩිවීම කිහිප ගුනයකින් හිළව් කරයි. විදුලිය නිපදවීමට ෆොසිල ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින පෝලන්තය වැනි ස්ථානවල පවා විද්‍යුත් වාහනවල  මද වාසියක් ඇත.

පර්යේෂණ සහ උපදේශන කණ්ඩායමක් වන Transport & Environment  2020 සිදු කළ, නිතර උපුටා දැක්වෙන අධ්‍යයනයකින් හෙළිවූයේ, විද්‍යුත් වාහනයකින් ඇතිවන “ජීවන චක්‍ර විමෝචනය”(“life cycle emissions”),  යුරෝපීය සංගමයේ පෙට්‍රල් හෝ ඩීසල් මත ධාවනය වන වාහනයකට වඩා සාමාන්‍යයෙන් තුන් ගුණයකින් අඩු බවයි. ජීවන චක්‍ර විමෝචනය යනු (වාහනයක) අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ සිට (වාහනය) කසළ ගොඩට යවන තාක් කල්  වාහනයක ආයු කාලයට අදාළ සම්පූර්ණ විමෝචනය ගණනය කිරීමකි.

මතු දැක්වෙන්නේ මෙම විෂය පිළිබඳ වෙනත් පර්යේෂණවල නියැදීමකි:

●       අදූෂිත ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය(The International Council on Clean Transportation), පර්යේෂණ සහ උපදේශන කණ්ඩායමකි.  2021 දී එමගින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක දැක්වෙන්නේ විදුලි වාහනවල ජීවන චක්‍ර විමෝචනය,  ඒවා හා සැසඳිය හැකි පෙට්‍රල් මෝටර් රථවලට වඩා සියයට 66 සිට සියයට 69 දක්වා අඩු බවයි.  තවද, බලශක්ති ජාලයන්(power grids) පොසිල ඉන්ධන භාවිතය අඩු කරන විට මෙම වෙනස තවත්  වර්ධනය වනු ඇත.

●       නෙදර්ලන්තයේ Eindhoven තාක්ෂණ විශ්ව විද්‍යාලයේ Auke Hoekstra විසින් රචනා කරන ලදුව 2019 දී ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවකින් කියැවෙන්නේ විදුලි වාහන සඳහා ජීවන චක්‍ර විමෝචනය ගණනය කරන ආකාරය සහ මෙම ක්‍රම බොහෝ විට විදුලි වාහනවල දේශගුණික ප්‍රතිලාභ අවතක්සේරු කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

●       යුරෝපීය පර්යේෂකයන් පිරිසක් එකතු වී 2020 දී යුරෝපීය කොමිසම සඳහා වාර්තාවක් සකස් කළහ. ජීවන චක්‍ර විමෝචනය සහ විද්‍යුත් වාහන ආශ්‍රිත අනෙකුත් පාරිසරික ගැටළු පිළිබඳව එමගින් ගැඹුරින් විමසා බැලුණු අතර, “නව විදුලි වාහන, සාම්ප්‍රදායික දහන එන්ජින් සහිත වාහනවලට සාපේක්ෂව දේශගුණයට සැලකිය යුතු ලෙස අඩු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව” ඉන් නිගමනය කර තිබුණි.

ඇට්කින්සන් ලියූ සටහන්  වගේ රචනාවල ඇති මිථ්‍යාව හෙළිකරන්නන් අතරේ Hoekstra ප්‍රමුඛ පෙළේ අයෙකු බවට පත් වී ඇත. ඇට්කින්සන් ගොඩනගන්නට තනන තර්කයේ අඩුපාඩු ගැන හෙතෙම තබා ඇති ට්විටර් සටහනක මෙසේ ද දැක්වෙයි:

“ඇට්කින්සන් මෙහි දි අවංකව කතා කරන බව මට සම්පූර්ණයෙන්ම ඒත්තු ගැන්වෙන්නේ නැත”  මන්ද ඔහු,  විදුලි වාහන විරෝධී සියලු කතාවල ඔහුට ඕනා කොටස් පමණක් ඉතා ඕනෑකමින් තෝරා ගෙන ඇති නිසාවෙන් ” යයි Hoekstra පෙන්වා දෙයි.

සම්මුඛ සාකච්ඡාවකදී Hoekstra පැවසුවේ, අභ්‍යන්තර දහන එන්ජින්වලට වඩා විදුලි වාහන පරිසරයට හානිකරය යන අදහස, ප්‍රවාහනයෙන් සිදුවන විමෝචනය අඩු කිරීමේ වෑයම අඩපණ කළ හැකි අන්දමින් විදුලි වාහන පිළිබඳ මහජන අවබෝධයට සැබෑ හානියක් කළ හැකි බවය.

“අපි අපේ මේ ලෝකය වඩා හොඳ තැනකට ගෙන යාමේ අදහසින් ඇත්තටම අවංක උත්සාහයක් දරද්දී, මේ වගේ විකාර, මුග්ධ මත ගෙන හැර පෑමෙන්  ඇත්තටම අපේ ප්‍රයත්න අසීරු කරනවා.” යනුවෙන් Hoekstra පවසයි. “සැතපුම් 20,000 කට පමණ පසු පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව විදුලි වාහනයකට ජීවන චක්‍ර විමෝචනය අනුව ශුද්ධ ප්‍රතිලාභයක් ඇති බවත්, කාලයත් සමඟ ප්‍රතිලාභය වැඩි වන බවත් ඔහු පෙන්වාදෙයි.

නොමඟ යවන සුළු නිගමනයක් ඉදිරිපත් කිරීම සඳහා ඇට්කින්සන් විදුලි වාහන භාවිතය ගැන ඔහුට වාසිවෙන සාක්ෂි පමනක් තෝරා ගන්නා බවට එල්ල වූ විවේචනයට ප්‍රතිචාර දැක්වීමට අවථාවක් සලසා දීම වස් Inside Climate News  ඔහු සම්බන්ධ කර ගත්තේය.

“තමන්ගේ මතය සනාථ කිරීම සඳහා ඕනෑම අයෙකු ‍තෝරාගත් සාක්ෂි පමණක් ඉදිරිපත්කරනවා” ඇට්කින්සන් විද්‍යුත් පණිවුඩයක් එවමින් කියා සිටියි,  “ඔබේ විද්‍යාඥයන් සහ ප්‍රවීණයන් ද කරන්නේ එයම යයි මට විශ්වාසයි. මගේ මූලික අරමුණ වූයේ විවාදයක් දිරිමත් කිරීමයි. සමහරවිට  කාබන් විමෝචනය සහ මෝටර් රථය පිළිබඳ මා මෙතෙක් දැක ඇතුවාට වඩා අතිවිශාල සංකීර්ණ ප්‍රශ්නය පිළිබඳ වඩාත් සියුම් විවාදයක් විය හැකිය. ඔබ  සංවාදයට එළඹ සිටීම මට හොඳ ආරංචියක්. ”

මෙම නළුවා වඩාත් ප්‍රසිද්ධ වන්නේ Mr. Bean සහ Blackadder ටෙලිවිද්‍යුත් මාලාවේ ඔහුගේ භූමිකා වෙනුවෙනි. ඔහු ගාඩියන් පුවත්පතට සැපයූ ලිපියේ කියා සිටියේ ඔහුගේ මූලික විශ්ව විද්‍යාල උපාධිය විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව වන අතර පසුව ඔහු පාලන පද්ධති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් බවයි.  මුල් කාලයේ සිටම විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාවම හඳුන්වා දෙමින් ඔහු කියා සිටින්නේ මීට වසර 18 කට පෙර දෙමුහුන් වර්ගයක් සහ වසර නවයකට පෙර සර්ව විද්‍යුත් මාදිලියක්(all-electric) මිල දී ගෙන ඇති බවයි.

“විදුලි වාහන ප්‍රසන්න ගතියෙන් මදක් අඩු විය හැක, නමුත් ඒවා පුදුමාකාර යාන්ත්රණ: වේගවත්, නිහඬ සහ (මෑතක් වන තුරු), ධාවනය කිරීමට ඉතා ලාභදායී”, ඇට්කින්සන් ලිවීය, “නමුත් ටිකක් රැව‍ටුනා වගේ ගතියක් වැඩි වැඩියෙන් දැනවා. කරුණු ගැඹුරින් සොයා බැලීමට පටන් ගත් විට, විද්‍යුත් මෝටර්රථය ඔය කියන විදිහේ පාරිසරික වශයෙන් කෝකටත් තෛලයක් නොවන බව පෙනේ.”  තමන් මේ අදහස් දක්වන්නේ 2030 දී නව පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ විකිණීම තහනම් කිරීමට එක්සත් රාජධානියේ යෝජනාවකට අර්ධ වශයෙන් ප්‍රතිචාර දක්වමින් බව ඔහු පැවසීය.

Hoekstra පැවසුවේ විදුලි වාහන විරෝධී පණිවිඩය  ජනප්‍රිය, කීර්තිමත් පුද්ගලයකුගෙන් ඉදිරිපත්වීම විශේෂයෙන් හානිකර බවයි.

“ප්‍රකාශය නිකුත් කළ අය, විපරීත බුද්ධික මහලු මහාචාර්යවරයෙකු වී නම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම එක අතකින් පහසු වන්නට තිබුණා. මන්ද, එවිට සිදුවන්නේ විද්‍යාඥයින් ඔහු  සමග හෝ  ඔවුන් එකිනෙකා අතර වාද විවාද කරන ආකාරයක් බවට පත්වීමය” යි ඔහු කියා සිටියි.

කෙසේවෙතත්, බොහෝ විට හිතාමතා නොවෙතත්,  නොමඟ යවනසුලු කතා එක් කරගනිමින් මෙම විරෝධතාම මතු කිරීම් දැකීමට තමන් පුරුදු වී ඇතයි Hoekstra වැඩිදුරටත් සඳහන් කරයි.

එසේවූවද,  විද්‍යුත් වාහන බැටරි සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා පතල් කැණීමේ පාරිසරික හානිය සහ වාහනවල අධික පිරිවැය සහ අධික බර පිළිබඳව සැබෑ අවධානයක් පවතින බව ඇත්තකි.

ඒවා ගැන තමන් ද සැලකිල්ලෙන් පසුවන බව Hoekstra පිළිගනී. එහෙත්, මෙහිදී (සමහරු) සිදුකරන වැරදි ක්‍රියාව වන්නේ, එම ප්‍රශ්න මතම පය ගසාගෙන,  ලෝකයා තවදුරටත් පෙට්‍රල් වාහනම භාවිත කළ යුතු යැයි හෝ විදුලි වාහන වෙත මාරුවීම මන්දගාමී විය යුතු යැයි කීමට ඉදිරිපත් විම යයි හෙතෙම පෙන්වා දෙයි.  මක්නිසාද යත්, බැටරිවල දියුණුව, බැටරි ප්‍රතිචක්‍රීකරණය වැඩිදියුණු කිරීම සහ ක්‍රියාත්මක වෙමින් පවතින අනෙකුත් ප්‍රයත්නයන් සමඟ විදුලි වාහනවල ගැටලු බොහොමයක් (ඉදිරියේ දී) අඩු කර ගත හැකි බැවිනි.

එහෙත්, ඒ අන්දමට, ෆොසිල ඉන්ධන නිෂ්පාදනයෙන් සහ එම ඉන්ධන එන්ජින් තුළ දහනය කිරීමෙන් සිදුවන පාරිසරික හානිය සඳහා සැලකිය යුතු විසඳුමක් නම් ඉදිරිපත්ව නොමැත.

Inside Climate News (June 5th, 2023) හී පළ වී ඇති Regardless of What Mr. Bean Says, EVs Are Much Better for the Environment than Gasoline Vehicles යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending