වයසට යාම මන්දගාමී කිරීමට ටෝරීන්වලට හැකිද?  විද්‍යාව, අළුතෙන්ම පවසන්නේ කුමක් ද?

වයසට යාම වැළැක්වීමේ පරිපූරක(supplements) ජනප්‍රිය වන්නේ ප්‍රබල සාක්ෂි පදනම් කර ගෙන නොව බොහෝ අවස්ථාවල ඒවාට ලබාදෙන ප්‍රචාරනය මතය. එසේනමුත් මෙ ආකාර ප්‍රකාශයන්ට යම් විද්‍යාත්මක පදනමක් එක් කිරීමේ අරමුණ ඇතිව පර්යේෂකයෝ,  වඩාත් අපේක්ෂා තැබිය හැකි සමහරක් ටෝරීන් පරිපූරක ගැන විමර්ශනය කිරීමට පටන් ගනිති.

මේවා අතුරෙන් නවතම වන්නේ ටෝරීන් ඇමයිනෝ අම්ලයයි : එය ශක්තිජනක් පානවල අඩංඟු හුරුපුරුදු අමුද්රව්යයකි. එමෙන්ම  වයසට යෑම හැර වෙනත් හේතු ගැන විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරමින් සිටි එකකි. පණුවන්, මීයන් සහ වඳුරන් ඇතුළු සත්ව විශේෂ ගණනාවක ටෝරීන්වලින් වයසට යාම මන්දගාමී කළ හැකි බව පෙන්නුම් කරන දිරිගන්වනසුලු ප්රතිඵල පිළිබඳව  හී ජූනි 8 වැනි දින ප්‍රකාශයට පත් කළ පත්‍රිකාවක පර්යේෂකයෝ පෙන්වා දෙති. මිනිසුන් තුළ ටෝරීන් මට්ටම, වයස සමඟ අඩු වන අතර ව්‍යායාම මගින් මට්ටම වැඩි කළ හැකි බව පර්යේෂක කණ්ඩායම වාර්තා කරති.

ටෝරීන් යනු (ජන ප්‍රවාද වල කියැවෙන තරුණ බව යළි ලබාදෙන) තාරුණ්‍යයේ උල්පතකට වඩා බොහෝ සෙයින් වෙනස් ය, එහෙත්, නව සොයාගැනීම්වලින් පෙනී යන්නේ එය ඇතැම් ශරීර පද්ධති වඩා හොඳින් ක්‍රියා කිරීමට සහ නැවත තරුණ ලෙස ක්‍රියා කිරීමට උපකාරී වන අතිරේකයක් ලෙස බලාපොරොත්තු තැබිය හැකි බවයි.

මිනිස් ශරීරය තුළ, බොහෝ දුරට මොළය, හෘදය සහ ප්‍රජනක අවයව වල ටෝරීන් ස්වාභාවිකවම නිපදවනු ලබන අතර,  මස්, මාළු සහ බිත්තර ආහාරයට ගැනීමෙන් අපට එය ආහාර වේලෙන් ද ලබා ගත හැකිය. ටෝරින්වලට, ශක්තිය සහ කාර්ය සාධනය වැඩි දියුණු කළ හැකි බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ කලක සිට දන්නා අතර එය තරබාරුකමට ප්‍රතිකාර කිරීමේ දී ද උපකාරී වේ. එනමුත් වයසට යාමේදී එහි කාර්යභාරය, නැතිනම් භූමිකාව මේ වන තෙක්ම පැහැදිලි කමක් තිබුණේ නැත.

නව සොයාගැනීම් පිළිබඳ විශේෂයෙන් කුතුහලය දනවන කරුණ වන්නේ,  ටෝරීන් වයසට යාම මන්දගාමී කරනවා පමණක් නොව අතර ආයු කාලය දීර්ඝ කිරීම ද සිදු කරන්නේ යයි කතුවරු, කරුණු පැහැදිලි කිරීමේ සාකච්ඡාවකදී පැවසුහ.  සෞඛ්‍ය කාලය වැඩි දියුණු කරන බව පෙනේ, එයින් අදහස් කරන්නේ සතුන් හුදෙක් දිගු කලක් ජීවත් වෙනවා පමණක් නොව වඩාත් නිරෝගීව සිටින බවයි.

ඉන්දියාවේ, නවදිල්ලියේ ජාතික ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ(National Institute of Immunology)  විජේ යාදව්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වසර 11ක් පුරා සිදු කරන ලද පරීක්ෂණ මාලාවකදී, මීයන්ගේ රුධිරයේ ටෝරීන් සංසරණයවන ප්‍රමාණය වයසට යාමත් සමඟ අඩු වන බව ප්‍රථම වරට ලේඛනගත කළේය. මීළඟට, ඔවුන් මීයන් කුඩා කාලයේ පසු වූ මට්ටම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩිහිටි සතුන්ට ටෝරීන් පරිපූරක ලබා දුන් අතර, පරිපූරකය ලද මීයන්, ටෝරීන් පරිපූරකය ලබා නොගත් වයස්ගත මීයන්ට වඩා සාමාන්‍යයෙන් 10% සිට 12% දක්වා වැඩි කාලයක් ජීවත් වන බව සොයා ගන්නා ලදී.

ටෝරීන්(Taurine) – කෙටි හඳින්වීමක්

ටෝරීන් යනු ඇමයිනෝ සල්ෆොනික් අම්ලය(amino sulfonic acid) ලෙස හඳුන්වන රසායනික වර්ගයකි. එය ශරීරය තුළ ස්වභාවිකව හටගනී. ටෝරීන්  සඳහා හොඳම ආහාර ප්‍රභවයන් වන්නේ මස්, මාළු සහ බිත්තර ය.

ශාකවල සැලකිය යුතු තරම් ටෝරීන් අඩංගු නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සත්ත්ව ආහාර වලින් තොර හෝ නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන පුද්ගලයින්ගේ  ටෝරීන් පරිභෝජනය අඩුයි. ඔවුන් නිතිපතා සත්ව ප්‍රෝටීන අනුභව කරන අයට වඩා අඩු ටෝරීන් මට්ටම් තිබීමට නැඹුරු වේ.  එසේ වුවද, ටෝරීන් ඌනතාවය ඇති විය නොහැක. මන්ද වෙනත් ඇමයිනෝ අම්ල  වලින් ඔබේ අක්මාව තුළ ටෝරීන් සෑදීමට ඔබේ ශරීරයට ඇති හැකියාව නිසාවෙනි.

හදවත සහමොළයෙහි ටෝරීන්  වැදගත් කාර්යයන් ඉ‍ටු කරයි.  එය ස්නායු වර්ධනයට උපකාර කරයි. ටෝරීන්, රුධිර පීඩනය පහත හෙලීමෙන් සහ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමෙන්  හෘද අකරණය(heart failure) ඇති පුද්ගලයින්ටද ප්‍රයෝජනවත් විය හැකිය.   මෙය හෘදයාබාධ නරක අතට හැරීම වළක්වා ගැනීමට උපකාරී වේ.

සංචයන් හෘද් අකරණිය (congestive heart failure – CHF) සහ අක්මාව ඉදිමීම(hepatitis) සඳහා ද  ටෝරින් භාවිතා වේ. තරබාරුකම, මලල ක්‍රීඩා කාර්ය සාධනය,තෙහෙට්ටුව, දියවැඩියාව, සහ තවත් බොහෝ තත්වයන් සඳහා ද එය භාවිත වෙන නමුත් ඒ භාවිතයන් සඳහා හොඳ විද්‍යාත්මක සාක්ෂි නොමැත.

ටෝරීන්, homotaurine සමඟ පටලවා නොගත යුතු. මේවා සමාන ඒවා නොවේ.

— WebMD වෙබ් අඩවිය අසුරෙනි.

දිගු ආයු කාලය සතුන්ට සෞඛ්‍ය සම්පන්න එකක් ද විය. “අපි කුමක් පරීක්‍ෂා කළත්, ටෝරීන් පරිපූරක මීයන් සෞඛ්‍ය සම්පන්නව තබාගත්  අතර (සම්පරීක්ෂණයේ දී යොදාගත්) මීයන්ගේ පාලන කණ්ඩායමේ මීයන්ට වඩා තරුණ වී යයි යාදව් පවසයි. වයසට යාමේ ප්‍රධාන ලක්ෂණ සියල්ලටම බලපාන නිසාවෙන් ටෝරීන්,  සතුන් නිරෝගීව මෙන්ම දිගු කාලයක් ජීවත් වීමට සැලැස්වීය.

ටෝරීන් පරිපූරක ලබා දුන්  පණුවන් සහ (මිනිසුන්ට සමීප) වඳුරන් තුළ ද  සමාන ආයු කාලය දීර්ඝ කිරීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ බලපෑම් සොයා ගැනීමට යාදාව් සමත් විය.

එය සත්‍යයක් කියලා කියන්න බැරි තරම්ම වගේ හොඳ දෙයක් ”ජර්මනියේ මියුනිච් හි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ව්‍යායාම ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය යාදාව්ගේ සහකාර Henning Wackerhage පැවසීය. Wackerhage විවිධ සත්ත්ව විශේෂවල යාදව්ගේ අත්හදා බැලීම් පදනම් කරගෙන   මිනිසුන් වයසට යාම හා සමඟ ටෝරීන් මට්ටම් සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බැලීය.

මෙයට කලින්,  පුද්ගලයින් 12,000 ක් පිළිබඳව  සිදු කළ  විශාල අධ්‍යයනයක දත්ත හෙතෙම ප්‍රයෝජනයට ගත්තේය. එම අධ්‍යයනයට සහභාගී වූවන්ගෙන් වෙනත් විද්‍යාඥයන්  රුධිර සාම්පල එකතු කර ඇති අතර එම නිසා ටෝරීන් ඇතුළු විවිධ පරිවෘත්තීය ද්‍රව්‍ය පිළිබඳ දත්ත සපයා ගත හැක් වී ඇත. අධ්‍යනයට,  පුද්ගලයන්ගේ සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳ දත්ත ද ඇතුළත් කර ඇති අතර ඉහළ ටෝරීන් මට්ටම් ඇති පුද්ගලයින්, අඩු ටෝරීන් මට්ටම් ඇති අය සමඟ සසඳන විට,  රුධිර ග්ලූකෝස්, කොලෙස්ටරෝල් සහ ප්‍රදාහය යන මේ සියල්ල අඩුවෙන ඇතිව සෞඛ්‍ය සම්පන්න වීමට නැඹුරු වන බව එම දත්ත පෙන්නුම් කළේය.  අධික රුධිර ග්ලූකෝස්, කොලෙස්ටරෝල් සහ ප්‍රදාහය වයස්ගත වීම සමඟ සම්බන්ධ වේ.  “රුධිරයේ ටෝරීන් මට්ටම් රෝගී තත්ත්වයන්  සමඟ සම්බන්ධ වී ඇති බව ඉන් පෙන්නුම් කරයි,” යනුවෙන් ඔහු කියා සිටියි.

අනතුරුව Wackerhage පසුව ව්‍යායාමවල යෙදීම මගින් ටෝරීන් මට්ටමට බලපාන ආකාරය විමර්ශනය කර බැලීය. විශාල දත්ත කට්ටලයේ සිටින පුද්ගලයින් පිරිසකට දැඩි විඩාවෙන් හෙම්බත්වන තුරුම ස්ථාවර බයිසිකලයක බයිසිකල් පැදීමට අවස්ථාව සලසා දීමෙන් පසුව, ඔවුන්ගේ ටෝරීන් මට්ටම ඉහළ ගියේය.

එක්ව ගත් විට, දත්ත සියල්ලම පෙන්වා දෙන්නේ වයසට යාම මන්දගාමී කිරීමට හෝ ඉතා අඩුම වශයෙන් සතුන් වයසට යත්ම ඔවුන් සෞඛ්‍ය සම්පන්න කිරීමට ටෝරීන්වලට කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.  ක්ෂය වූ මට්ටම්, පෝෂණ පරිපූරක හෝ සමහර විට ව්‍යායාම මගින් පවා  යථා තත්ත්වයට පත් කළ හැකි බව ද දත්ත යෝජනා කරයි.

කෙසේ වෙතත්, වයසට යාම කෙරෙහි ටෝරීන් වල බලපෑම මානව අධ්‍යයනයන්හි සත්‍යාපනය කළ යුතු බව yadav සහ Wackerhageපැවසීය. විකිණීමට ඇති ටෝරීන් මිලදී ගැනීම හෝ ශක්තිජනක බීම වශයෙන් පානය කිරීම අපි නිර්දේශ නොකරමු,” යාදව් පවසයි. මිනිසුන් සම්බන්ධ කරගෙන සිදු කරන සායනික අත්හදා බැලීම් අවසන් වන තෙක් අපි බලා සිටිය යුතු අතර, ටෝරීන් පරිපූරක ලෙස භාව්ත් කිරීමට හෝ නොකිරීමට තීරණය කළ යුත්තේ වයස සහ ජනගහනය මත රඳා පවතින ප්‍රතිලාභ සහ අවදානම් සංසන්දනය කිරීම මත ය. එය සෘජු, සරල පිළිතුරක් නොවනු ඇත.

ප්රතිශක්තිකරණ පද්ධතිය මර්දනය කරන සංයෝගයක් වන rapamycin සහ  දියවැඩියා ඖෂධයක් වශයෙන් ප්‍රකට metformin ඇතුළුව වෙනත් පරිපූරකවලට ශරීරය වයසට යාමේ ක්රියාවලීන් මන්දගාමී කළ හැකි දැයි දැනට ගවේෂණය කරමින් සිටින වෙනත් අත්හදා බැලීම්වලට මෙකී  අධ්‍යයනයන් ද එක්වෙයි.

TIME(June 08th, 2023) මාර්ගගත සඟරාවෙහි පළ වූ Can Taurine Slow Aging_ Here’s What the Latest Science Says  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending