පරිණාමීය වශයෙන් සළකන විට මේ බොනබෝ(bonobo) යහතින් කල් ගෙවයි.((mage credit: Shutterstock)

සියලුම අග්‍රේශයන්(primates) මිනිසුන් බවට පරිණාමය නොවන්නේ ඇයි?

අප ලොව පුරා සංක්‍රමණය වෙමින්, කෘෂිකර්මාන්තය නවෝත්පාදනය කරමින්, සඳ මත ඇවිදිමින් කල් ගත කරද්දී, අපගේ සමීපතම ඥාතීන් වන චිම්පන්සියන් තවමත් රුක් අත්නොහැර ඒවායේම වාසයේ යෙදෙමින්, පලතුරු අනුභව කරමින්, වඳුරන් දඩයම් කරමින් කල් ගෙවති.

නූතන චිම්පන්සි, නූතන මිනිසුන්ට වඩා දිගු කාලයක් මේ මිහිපිට  වාසය කර ඇත (නූතන මිනිසා(Homo sapiens) ජීවත්ව ඇති අවුරුදු 300,000 හා සසඳන විට නූතන චිම්පන්සි වසර මිලියන 1 ට ආසන්න කාලයක් මෙහි ගත කර ඇති බව වඩාත්ම මෑත ඇස්තමේන්තු දක්වයි). කෙසේවෙතත්, අපි වසර මිලියන 6 ක් හෝ මිලියන 7 ක් තිස්සේ වෙනමම පරිණාමීය මාවත්වල ගමන් කරමින් සිටිමු. චිම්පන්සිලා අපේ ඥාති සොහොයුරන් ලෙස අප සලකන්නේ නම්, අපගේ අවසාන පොදු පූර්වජයා වනාහී  පැවත එන්නන් දෙදෙනෙකු පමණක් තවමත් ජීවමාන ව සිටින මී මිත්තනියක් බඳුය.

එහෙත්, ප්‍රශ්නය වන්නේ ඇගේ පරිණාමීය දරුවන්ගෙන් එක් අයෙකු අනෙකාට වඩා බොහෝ දේ ඉටු කිරීම සමත් වූයේ කෙලෙස ද? යන්නය.

“අනෙකුත් ප්‍රයිමේටස් සතුන් මිනිසුන් බවට පරිණාමය නොවීමට හේතුව එම සතුන්ට  (දැන් සිටිනා ආකාරයෙන්ම) යහතින් ජීවිතය ගෙන යාමට හැකි වීමයි” යනුවෙන් වොෂින්ටන් හි ස්මිත්සෝනියන් ආයතනයේ පුරාමානව විද්‍යාඥ. Briana Pobiner, Live Science වෙත පැවසීය. උගන්ඩාවේ කඳුකර ගෝරිල්ලන්, ඇමරිකාවේ හූ වඳුරන්(howler monkeys)  සහ මැඩගස්කරයේ ලීමරයන් ඇතුළුව අද ජීවත්වන සියලුම ප්‍රයිමේටස් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල යහතින් පැවතීමට හැකි බව ඔප්පු කර ඇත.

howler monkey

ඩේවිස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Lynne Isbell පවසන්නේ “පරිණාමය යනු ප්‍රගමනයක් නොවේ. ඉන් දැක්වෙන්නේ ජීවීන් ඔවුන්ගේ වර්තමාන පරිසරයට කෙතරම් හොඳින් ගැලපේද යන්නයි” යනුවෙනි. පරිණාමය අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ ඇස් හමුවේ  අනෙකුත් ප්‍රයිමේටස් හා සසඳන විට මිනිසුන් “වඩාත් පරිණාමය වී” නොමැත. අප නිසැකවම ඊනියා පරිණාමීය ක්‍රීඩාව ජයගෙන නැත. මිනිසුන් සතුව ඇති, අතිශයින්ම අනුවර්තනය වීමේ හැකියාව  අපගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ පරිසරයන් හැසිරවීමට ඉඩ දෙන නමුත් එම හැකියාව මිනිසුන්ව පරිණාමීය ඉණිමඟේ ඉහළින්ම තැබීමට ප්‍රමාණවත් නොවේ.

උදාහරණයක් ලෙස කුහුඹුවන් ගන්න. “කූඹියෝ අපට සමානව හෝ අපටත් වඩා සාර්ථකයි,” Isbell, Live Science වෙත පැවසීය. “ලෝකයේ මිනිසුන්ට වඩා කුහුඹුවන් බොහෝ ඇති අතර, ජීවත් වන ස්ථානයට ඔවුන් හොඳින් අනුවර්තනය වී ඇත.”

(අපේ පැවැත්මට බොහෝ කලකට පෙර ඔවුන් කෘෂිකර්මය නිර්මාණය කර ඇතත් ) කුහුඹුවන් ලිවීම වර්ධනය කර නොමැති නමුත්  ඔවුන් අතිමහත් සාර්ථක කෘමීන්ය. මිනිසුන්  සැලකිලිමත් වීමට නැඹුරු වන සෑම දෙයකින්ම කුහුඹුවන් පැහැදිලිවම විශිෂ්ට නොවන බව සත්‍යයකි. එහෙත්, එය එසේ සිදුවන්නේ මිනිසුන් සැලකිලිමත් වන්නේ ඔවුන් විශිෂ්ට දස්කම් දක්වන දේවල් ගැන වීම නිසාවෙන්ය.

“උචිතම දේ ශක්තිමත්ම හෝ වේගවත්ම වීම යැයි යන  අදහස අපට ඇත; එනමුත් පරිණාමීය ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමට නම් අප සැබවින්ම කළ යුත්තේ දිවි‍රැක ගැනීම සහ ප්‍රජනනය කිරීම පමණි,” Pobiner පෙන්වා දෙයි.

අපේ මුතුන් මිත්තන්,  පුර්වජ චිම්පන්සියාගෙන් අපසරනය වීම හොඳ උදාහරණයකි. මිනිසුන් හෝ චිම්පන්සීන් පිළිබඳ සම්පූර්ණ පොසිල වාර්තාවක් අප සතුව නොමැත. එසේනමුත් විද්‍යාඥයන්, ජීවමාන ප්‍රයිමේටස්ගෙන් ලබාගත් ජාන සහ චර්යාත්මක ඉඟි සමඟ පොසිල සාක්ෂි ඒකාබද්ධ කර දැන් වඳ වී ගොස් ඇති විශේෂයන් ගැන ඉගෙන ගෙන ඇත. මිනිසුන් හා චිම්පන්සි බවට පත්ව ඇත්තේ, එම විශේෂයන්ගෙන් පැවත එන්නන්ය.

“අපට එම ආදිතමයාගේ අවශේෂ නොමැති අතර,  එසේ තිබුණත්, අපට එම පූර්වජයා මිනිස් පරම්පරාවේ නිශ්චිත තැනක තැබිය හැකිදැයි මට නම් විශ්වාස නැත,” යයි Isbell පවසයි.  මෙකී ආදිතමයා මිනිසකුට වඩා චිම්පන්සියෙකු මෙන් දිස් වන්නට ඇතැයි විද්‍යාඥයෝ සිතති.  එම ආදිතමයා,  බිමට බසින්නේම නැතුව,  බොහෝ විට ගසකින් ගසට ගමන් කළ හැකි වන පරිදි ඝන වනාන්තර (රුක්) වියන්වල වැඩි කාලයක් ගත කරන්නට ඇතැයි Isbell කල්පනා කරයි.

විද්‍යාඥයන් අදහස් කරන්නේ, පූර්වජ මිනිසුන්,  චිම්පන්සි පූර්වජයන්ගෙන් තමන් වෙනස් වූ පිරිසක් ලෙස හඳුනා ගැනීමට පටන් ගත්තේ ඔවුන්  වැඩි කාලයක් බිම ගත කිරීමට පටන් ගත් විට බවයි. සමහර විට අපේ මුතුන් මිත්තන් නව වාසස්ථාන ගවේෂණය කරන විට ආහාර සොයමින් සිටියා විය හැකි බව Isbell පෙන්වා දෙයි.

“චිම්පන්සියන් හා අපගේ පොදු පූර්වජයාගෙන් අපසරනය වූ අපගේ පැරණිතම මුතුන් මිත්තන් ගස් නැගීම සහ බිම ඇවිදීම යන දෙකටම දක්ෂයන් වන්නට ඇතැයි” Isbell පවසයි.  සාපේක්ෂව මෑතකදී, සමහර විට වසර මිලියන 3 කට පෙර  මෙම මුතුන් මිත්තන්ගේ කකුල් දිගු වීමට පටන් ගත් අතර ඔවුන්ගේ මහපට ඇඟිලි ඉදිරියට හැරී, (ඔවුන්) බොහෝ විට පූර්ණ කාලීන ඇවිදින්නන් බවට පත් විය.

“වාසස්ථාන තෝරාගැනීමේ දී ඇති වූ යම් වෙනසක්, බොහෝ විට පළමු කැපී පෙනෙන හැසිරීම් වෙනස විය හැකියි,” Isbell  පෙන්වා දෙයි, “දෙපාවත්බව(bipedalism) වර්ධනය කර ගැනීමට, අපේ මුතුන් මිත්තන් ඝන වියන් නොමැති වාසස්ථානවලට යන්නට ඇත.  ගස්  අතරින් පතර පමණක් ගස් වැඩිපුර ඇති ස්ථානවල ඔවුන්ට පොළව මත වැඩිපුර ගමන් කිරීමට සිදුවන්නට ඇත.”

ඉතිරිය මානව පරිණාමීය ඉතිහාසයයි. චිම්පන්සීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තවදුරටත් ගස්වල රැඳී සිටි පමණින් ඔවුන් පරිණාමය වීම නතර වූ බවක් අදහස් නොවේ.  2010 දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවේණික විශ්ලේෂණයකින් පෙනී යන්නේ ඔවුන්ගේ පූර්වජයන් මීට වසර 930,000 කට පෙර පූර්වජ බොනබෝගෙන් වෙන් වූ බවත්, ජීවමාන උප විශේෂ තුනක මුතුන් මිත්තන් වසර 460,000 කට පෙර අපසරනය වූ බවත්ය. මධ්‍යම සහ නැගෙනහිර චිම්පන්සියන් පැහදිලිව වෙනස් වූයේ මීට වසර 93,000 කට පෙරය.

“ඔවුන් පැහැදිලිවම චිම්පන්සින් වශයෙන් යහතින් කල් ගත කරනවා,” Pobiner  පවසයි, “ඔවුන් තවමත් අප අතරේ සිටින අතර, අපි ඔවුන්ගේ වාසස්ථාන විනාශ නොකරන තාක් කල්, සමහරවිට බොහෝ කාලයක් ඔවුන් එසේ සිටිනු ඇත”

Live Science හී පළ වූ Why haven’t all primates evolved into humans? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending