පැලියොලිතික් සමාජ
පැලියොලිතික(Paleolithic) යන්නෙහි වචනාර්ථයෙන් ගතහොත් “පුරා ශිලා [යුගය]” යන්න අදහස් කෙරෙන නමුත් වඩාත් පුළුල් අර්ථයෙන් ගත් විට, පැලියොලිතික යුගය යනු මානව ඉතිහාසයේ ආහාර සොයා ගැනීම, දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම ආහාර ලබා ගැනීමේ මූලික ක්‍රමය ලෙස භාවිත වූ කාලයකි.
සමාජ සංස්කෘතික පරිණාමය
පැලියොලිතික හෙවත් පුරා ශිලා යුගය වනවිට මානවයන්ට, සතුන් ගෘහාශ්‍රිත කිරීම නැතිනම් හීලෑ කිරීමට සහ ශාක වගා කිරීම සම්බන්ධයෙන් තවමත් අත්හදා බැලීමට හැකියාව ඇතිවී නොතිබිණ. මෙම දඩකරු-අන්නගවේෂක(hunter-gatherers) මානවයන්ට කෘෂිකාර්මික ක්‍රම ගැන දැනුම් තේරුම් නොවූ නිසා ඔවුන්ගේ ආහාර රටාව ස්වභාවික පරිසර පද්ධතිවල උච්චාවචනයන් මත රඳා පැවතුනි. ජලාශයක අධික ලෙස මසුන් ඇල්ලීමෙන් මත්ස්‍ය සම්පත අහිමිවී යාද, නැතහොත් නියඟයක් නිසා ප්‍රයෝජනවත් ශාක වියළී යාද යන්න ගැන ඔවුන්ට අවබෝධයක් නොවීය. ඔවුන්ගේ ප්‍රජාවන් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය සහතික කරනු වස්, දඩයම් කිරීම සහ ආහාර රැස් කිරීම වැනි යම් යම් ක්රමවලින් එම පද්ධති හැසිරවීමට ඒ පුරාන මානවයෝ ක්‍රියා කළහ.
මානව ඉතිහාසයේ බොහෝ කාලයක් තුල සිදු වූයේ මෙයයි; වසර 11,000 කට පමණ පෙර වන තෙක් මෙම දඩයක්කාර ඵලවල රැස්කරන්නන් හෙවත් දඩකරු-අන්නගවේෂක පද්ධති පරිවර්තනය වීමට පටන් ගත්තේ නැත. මානවයන් සංක්‍රමණය වෙමින් නව පරිසරයන්ට අනුවර්තනය වීමට පටන් ගත් විට, ඔවුන් තම පාරිසරික සීමාවන් පරයා ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය මෙවලම් සහ ක්‍රම වර්ධනය කිරීමට පටන් ගත්හ.
මුල් මානවයන් පිළිබඳ අධ්යයනය බොහෝ විට ජීව විද්යාවත්මක පරිණාමය සහ ස්වාභාවික වරණය කෙරෙහි අවධානය යොමු කරයි. කෙසේ වෙතත් සමාජ සංස්කෘතික පරිණාමය එහෙම නැති නම් මුල් මානව සමාජ සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කිරීම ද එක හා සමානව වැදගත් වේ. පැලියොලිතික මානවයා, ඊළඟ ආහරවේල සොයා ගන්නේ කෙසේද යන්න ගැන පමණක් කල්පනා කල ලෙන්වාසී මානවයන් මෙන් නොවීය.
පුරාවිද්යාත්මක සාක්ෂි පෙන්වන්නේ, යුරෝපයේ සහ නිරිතදිග ආසියාවේ නියැන්ඩර්තාල්වරුන් අතරේ ආගමික විශ්වාස පද්ධතියක් තිබූ බවත් අවමංගල කටයුතු වැනි චාරිත්‍ර ඉටු කළ බවත්ය. මිය ගිය නියැන්ඩර්තාල් පුද්ගලයා ගේ සිරුර, එම අයගේ පවුලේ අයවලුන් විසින් මල්වලින් ආවරණය කරනු ලබන්නට ඇති බව නූතන ඊසානදිග ඉරාකයේ ශානිදාර් ගුහාවේ මිනී සොහොන් කළ භූමියකින් හැඟවෙයි. එයින් පෙන්නුම් කරන්නේ මරණයෙන් ඔබ්බට යමක් පිළිබඳ විශ්වාසයක් සහ අධ්‍යාත්මික හැඟීමක් ඔවුන් තුළ තිබූ බවයි. නියැන්ඩර්තාල්වරු නිවහන් සහ ආයුධමෙවලම් ද සෑදූහ.
ගුහාවට ඇතුල්වන විවරය හරිතවර්ණ ගහ කොළ හා සරල මාර්ග හා ව්‍යුහයන්ගෙන් වටවී ඇත.

ශානිදාර් ගුහාව, උතුරු ඉරාකයේ ඉරාක කුර්දිස්තානයේ සැග්රොගස් කඳුකරයේ පුරාවිද්යාත්මක ස්ථානයක්. Image credit Flickr
සංස්කෘතීන් විශේෂිත පාරිසරික සන්දර්භයන් තුළ පරිණාමය වී වර්ධනය වී ඇත්තේ, සංස්කෘතියේ හිමිකාර ප්‍රජාවන්ගේ පැවැත්මට පමණක් නොව අද්විතීය හා ගතික ආකාරයෙන් සමෘද්ධිමත් වීමට ද හැකිවෙන අයුරිනි. එනමුත් ඇත්ත වශයෙන්ම සංස්කෘතිය යනු කුමක්ද? සංස්කෘතිය යනු බොහෝ විට පැවැත්මට සම්බන්ධ වන්නාවූ මානවයන් දැන උගත් හැසිරීම් රටා මෙන්ම හැසිරීම් වල සම්පූර්ණ පරාසය ඇතුළත් වන පුළුල් යෙදුමකි.
හෝමෝ සේපියන්වරු පසුගිය වසර 120,000 තුළ ව්‍යුහවිද්‍යාත්මකව බොහෝ සේ වෙනස් වී නැත, එහෙත්, මානව සමාජය දැවැන්ත සංස්කෘතික පරිණාමයකට ලක්ව ඇත. ඒ අනුව, භෞතික පරිවර්තනයට වඩා සංස්කෘතික නිර්මාණශීලීත්වය මිනිසා ස්වභාවධර්මයෙන් මතුවන වුවමනාවන් සමඟ කටයුතු කරන කේන්ද්‍රීය මාර්ගය බවට පත් විය.
කෙසේ වෙතත්, සංස්කෘතික පරිණාමය ජීව විද්‍යත්මක පරිණාමයෙන් වෙන් කර නොහැක, මන්ද සමාජ ව්‍යුහයන්ට වඩාත් අනුගත වූ මානව මොළයේ පරිණාමය, සංස්කෘතික වර්ධනයට හේතු වූ හෙයිනි. ඇත්ත වශයෙන්ම, මිනිස් මොළයේ ඉතා විශාල ප්‍රමාණයම යම් යම් සංස්කෘතික අනුවර්තනයන් අවශ්‍ය වීමට හේතු විය: හිස් කබල විශාල වීම දරු උපත වඩා අපහසු කිරීම, ගැබ්දරීමේ කාලය දිගුවීම සහ ව්ඩා දිගු ළදරු යැපීම් කාලය හේතුවෙන් වඩාත් දියුණු සමාජ සංවිධානයක් සහ සන්නිවේදනයක් අවශ්‍ය වී යයි බොහෝ විද්යාශඥයෝ කල්පනා කරති. මේ කාරණාව මානවයන්ගේ සංස්කෘතික පරිණාමය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළේ යයි සලකේ.
නිර්මාණශීලිත්වය සඳහා හෝමෝ සේපියන්වරුන්ගේ තිබූ අද්විතීය අභියෝග්‍යතාවය සංකේතාත්මක ප්‍රකාශනයට, විශේෂයෙන් කලා කෘති සහ භූමදානකිරීමේ චාරිත්‍ර වැනි සංස්කෘතික හා අධ්‍යාත්මික සන්දර්භ තුළ ඉඩ ලබා දේ. මෙම නිර්මාණාත්මක ක්‍රියාකාරිත්වය හෝමෝ සේපියන්ස් සේපියන්ස් (Homo sapiens sapiens) උප විශේෂයේ කැපී පෙණෙන ලක්ෂණයයි. මේ උප විශේෂය — එනම් නූතන මිනිසා — බුද්ධිමය හැකියාවන් සඳහා සුවිශේෂී වූ උප විශේෂයකි.

කුඩා ප්‍රජාවන්
අවසානයේ, මිනිස් ජනගහනයේ ව්‍යාප්තියත් සමඟ මිනිස් ජන ඝනත්වය ද වැඩි විය. මෙය බොහෝ විට හොඳම ඉඩම් කට්ටිය හා සම්පත් සම්බන්ධයෙන් ගැටුම් මෙන්ම තරඟයක් ද ඇති කළ නමුත් සහයෝගීතාවයේ අවශ්‍යතාව ද මතු කළේය.. පවතින ස්වභාවික සම්පත් වල සීමාවන් හේතුවෙන්, මෙම මුල් ප්‍රජා කණ්ඩායම් ඉතා විශාල නොවූ නමුත්, යම් ආකාරයක් ශ්‍රම විභජනයක්, ආරක්ෂාවක් සහ බහීර්යෝගී ප්‍රජනන රටාවක්(එයින් කියවෙන්නේ තම කණ්ඩායමෙන් බාහිරව විවාහ වීම හෝ ප්‍රජනනය කිරීමයි) වෙනුවෙන් පහසුකම් සැලසීමට ප්ර්මණවත්ත් සාමාජිකයින් ඇතුළත් විය.
අප්‍රිකානු කලහාරි කාන්තාරයේ Khoisan වැනි නූතන දඩකරු-අන්නගවේෂක ප්‍රජාවන්ගේ අත්දැකීම් බහීර්නිවේශනයෙන්(බිහිතැන් සෙවීමෙන්) පැලියොලිතික මිනිසුන් පිළිබඳ මෙම නිගමනවලට එළඹීමට මානව විද්‍යාඥයින්ට හැකි විය. සාමාන්‍යයෙන් සාමාජිකයින් 500ක් පමණ සිටින නවීන දඩකරු-අන්නගවේෂකයන්ගේ සමාජවල අත්දැකීම් මත පදනම්ව සහ කණ්ඩායම් ක්‍රියාවලීන් පිළිබඳ ගණිතමය ආකෘති මත පදනම්ව සලඛන විට පැලියොලිතික මිනිසුන්ගේ කණ්ඩායම් සාමාජිකයින් සංඛ්‍යාව විසිපහක් පමණ විය හැකි අතර සාමාන්‍යයෙන් එවැනි කණ්ඩායම් විස්සකින් පමණ ගෝත්‍රයක් සෑදී ඇත.
මිනිසෙක් සිටගෙන දුර ඈත බලයි. පසුබිමේ වැලි සහිත භූමියක්, කොළ පැහැති පඳුරු කිහිපයක් සහ ලී දණ්ඩක් ඇත. ඔහු පබළු මාලයක් වැනි එකක් පැළඳ සිටින අතර කමිසයක් පැළඳ නැත.

නැමීබියාවේ සැන්(San) මිනිසෙක්. බොහෝ සැන් මිනිස්සු තවමත් දඩකරු-අන්නගවේෂකයන් ලෙස ජීවත් වෙති.Image courtesy Wikimedia Commons
ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාර හා ජලය සැපයීම උදෙසා මෙම ජන කණ්ඩායම්වලට කොපමණ භූමි ප්‍රමාණයක් අවශ්‍ය ද? මානව විද්‍යාඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ වසර 150,000 ත් 12,000 ත් අතර කාලයකට පෙර ජීවත් වූ පැලියොලිතික මානවයන්ට තිබූ තාක්ෂණය සැලකිල්ලට ගන්නාවිට, එක් එක් කුඩා ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලනු වස්, සැතපුම් හැත්තෑවකට වඩා වැඩි ඵලදායි නොවන, අඩු සම්පත් ඝනත්වයක් සහිත භූමියක් හෝ සැතපුම් හතකට වඩා සාරවත් භූමියක් අවශ්‍ය වන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රජාවන් කෙතරම් සීමිත වූවද යන්න සලකා බැලීමේදී, මෙම ඉඩම් අවශ්‍ය තාවය නවීන ඵලදායිතා මට්ටම්වලට සාපේක්ෂව අතිශයින් අකාර්යක්ෂම වේ. එවැනි ඝනත්වයක් අනුව, නූතන එක්සත් ජනපදයේ භූමිප්‍රදේශය තුළ මිනිසුන් 600,000 කට වඩා ජීවත් විය නොහැකි අතර මුළු පෘථිවිය තුළම සිටිය හැක්කේ මිලියන 10 ක් පමණි. සංසන්දනය කිරීම සඳහා දක්වමු: එක්සත් ජනපදයේ වත්මන් ජනගහනය මිලියන 300 කට වඩා වැඩි වන අතර පෘථිවියේ බිලියන 8 ක ජනතාවක් සිටිති!
ශ්‍රම විභජනය
කෘෂිකර්මාන්තය පැමිණීමට පෙර, පැලියොලිතික් මානවයන්ට පරිසරය පාලනය කිරීමට නොහැකි වූ නිසා, ඔවුන් අවධානය යොමු කළේ භූමිය වෙන් කර ගැනීමට සහ අවට ප්‍රජාවන් සමඟ සබඳතා සාකච්ඡා කිරීමට ය. අවසානයේදී, කණ්ඩායම් කුඩා, තාවකාලික ජනාවාස, බොහෝ විට ජල කඳ අසල නිර්මාණය කළහ. මෙම ජනාවාස මගින් ශ්‍රම බෙදීම සඳහා ඉඩ ලබා දී ඇති අතර, ශ්‍රමය බොහෝ විට ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදී ගිය අතර, කාන්තාවන් එකතු කිරීම, ඉවුම් පිහුම් සහ දරුවන් ඇති දැඩි කිරීම සහ පිරිමින් බොහෝ දඩයම් කිරීම සිදු කරයි, නමුත් මෙය නිසැකවම සියලුම පැලියොලිතික් සමාජවල සිදු නොවීය. . නිදසුනක් වශයෙන්, සමහර පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ යුරේසියාවේ මධ්‍යම පැලියෝලිතික් සංස්කෘතීන් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමානව ක්‍රියා කරන බවයි.
කෙසේ වෙතත්, පැලියොලිතික් යුගයේ ස්ත්‍රී පුරුෂ ගතිකය අපගේ ඒවාට වඩා බෙහෙවින් වෙනස් වූ බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර, එබැවින්, පිරිමින් සහ කාන්තාවන් අතර ශ්‍රම බෙදීම සමානාත්මතාවයේ හෝ බලයේ වෙනස්කම් අවශ්‍යයෙන්ම පෙන්නුම් නොකරයි. දඩයම් කිරීම හෝ එකතු කිරීම කණ්ඩායම් පෝෂණයට වැඩි දායකත්වයක් ලබා දුන්නේද යන්න පිළිබඳ තරඟකාරී න්‍යායන් ඇත, නමුත් දෙකම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනේ.
Khan Academy වෙබ් අඩවියෙහි පළවන Paleolithic societies යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න