ඔබේ මානසික සෞඛ්‍යය කැප නොකර අභිලාෂකාමී වන්නේ කෙසේද?
“නිහඬව අත්හැරීම”(quiet quitting රැකියා අත්හැරීමට මාන බලමින් සිටින) සහ ඊට පෙර ආ “මහා හැරයාම”(Great Resignation මහා පරිමානයෙන් රැකියාවලින් ඉවත්ව යාම) ප්‍රචලිත මෙම යුගයේ, අභිලාෂය යන වදන ‘ක්ලිෂ්ට‘ නැතිනම් ‘කැත‘ වචනයක් ලෙස දැනිය හැකිය. සෑම විටම වෙරදැරීමේ මානසිකත්වය, මානසික සුවතාවයට බරක් විය හැකි බව බොහෝ ඇමරිකානුවන් විසින් අවබෝධ කරගනු ලැබ ඇත. (කෝවිඩ්)වසංගතය හමුවේ එක්සත් ජනපද සර්ජන් ජනරාලවරයා(එ රට මහජන සෞඛ්යය වැඩිදියුණුකිරීමට මෙන්ම ලෙඩරෝග හා තුවාල සිදුවීමේ අවදානම අඩු කිරීම සඳහා විද්යාත්මක තොරතුරු සපයන ජාතියේ වෛදයවරයා සර්ජන් ජනරාලවරයාය) නිකුත් කල වාර්තාවක සේවා ස්ථානයේ මානසික සෞඛ්‍යය නව මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස පවා නම් කරනු ලැබ ඇත්තේය. බලය වැනි පරායත්ත අරමුණු පසුපස හඹා යාම කාංසාව සහ මානසික අවපීඩනයට සම්බන්ධ බව පර්යේෂණ මගින් තහවුරු කරනු ලැබ ඇත.

කෙසේවෙතත්, ඔබේ අභිලාෂය සහමුලින්ම අත්හැර දැමීම, අභ්‍යන්තර හෙවත් මානසික සාමයට මග පාදන්නේ ද? අවශ්්යයෙන්ම එසේ විය යුතු යයි කිව නොවේ. ඒ වෙනුවට, පර්යේෂණ යෝජනා කරන අන්දමට, ප්රධාන දෙය වන්නේ ඔබේ යහපැවැත්මට උපකාරීවන ඉලක්කයක් සඳහා ඔබේ අභිලාෂය භාවිතා කිරීමයි.
සායනික මනෝවිද්‍යාඥයෙකු වන රිචඩ් රයන් පවසන්නේ “අපගේ අභිලාෂය අප සැලකිලිමත් වන ආකාරයට යොමු කර ඇති බව සහතික කර ගැනීම තමයි අපට අවශ්‍ය”. රයන්, මානව අභිප්‍රේරණය කෙරෙහි අවධානය යොමු කරන්නා වූ ස්වයං නිර්ණ න්‍යාය(Self-Determination Theory) ගුරු කුලයක පුරෝගාමියෙකි. “අපි එය කරන්නේ අපගේ ජීවිතයේ අනෙකුත් දේවලට හරස් වීමක් නොවන ආකාරයට නම් පමණක්” උත්සාහවන්ත වීම වැඩදායකය. අභිලාෂය මානසික සෞඛ්‍යයට සහජයෙන්ම හොඳ හෝ සහජයෙන්ම නරක නැත.
2012 සිදුකල, එක් ප්‍රසිද්ධ අධ්‍යනයක, දශක හතක් තිස්සේ පියමං ඔස්සේ එක් රැස් කරන ලද සිය ගණනකගේ දත්ත මත පදනම්ව, අභිලාෂය මගින් වෘත්තීය සාර්ථකත්වය දැඩි ලෙස පුරෝකථනය කරන නමුත් එය ජීවන තෘප්තියට සම්බන්ධ වන්නේ ප්‍රබල ආකාරයකින් නොවන බව සොයා ගන්නා ලදී. අභිලාෂකාමී පුද්ගලයින්, ඒ ආකාර නොවන මිනිසුන්ට වඩා බොහෝ සේ තෘප්තිමත් හෝ බොහෝ සේ අතෘප්තිමත් හෝ අය නොවන බව, දැන් ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ Fisher College of Business හි මහාචාර්යවරයෙකු වන, සම කර්තෘ Tim Judge පැහැදිලි කරයි.
ඔබේ අභිලාෂයේ ඉලක්කය මානසික සෞඛ්‍යය කෙරෙහි වඩා ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. අධ්‍යයනයන් මගින් අඛණ්ඩව පෙන්වා දෙනු ලැබ ඇත්තේ ධනය, තත්ත්‍වය හෝ ජනප්‍රියත්වය වැනි සාර්ථකත්වයේ “බහිස්ථ”( extrinsic) සලකුණු වලින් අභිප්‍රේරණයවී(motivated) සිටින පුද්ගලයන්, පුද්ගලික වර්ධනය, ගැඹුරු සබඳතා හෝ දැනුම වැනි “අන්තරස්ථ”(intrinsic) අභිප්‍රේරක මගින් පෝෂණය වන පුද්ගලයන් තරම් මනෝවිද්‍යාත්මකව තෘප්ත හෙවත් සාධිත නොවන බවයි. බහිස්ථ ඉලක්කයක් කරා ළඟා වීම කෙටිකාලීනව ඔබව තෘප්තිමත් කළ හැකි වන්නට පුළුවන; “නමුත් එය දිගුකාලයක් පවතින්නක් නොවේ,” යයි නොක්ස් විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය Tim Kasser පවසයි.

ඔබේ මානසික සෞඛ්‍යයට හානි කරනවාට වඩා එය පෝෂණය කිරීමට හැකියාව ලැබෙන අයුරින් යම් පුහුණුවක් සහ අන්තරීක්‍ෂණයක් සමඟින් ඔබේ අභිලාෂය නැවත පුහුණු කළ හැකිය. ඒ සඳහා පර්යේෂණ පිටුබලය සහිත ක්‍රම පහක් මෙන්න.
ඔබේ සබඳතාවලට ප්‍රමුඛත්වය දෙන්න
ජීවිතයේ අනෙකුත් වැදගත් කොටස් “යටපත්” කරන විට අභිලාෂය හානිකර විය හැකි බව රයන් පෙන්වා දෙයි. “අභිලාෂය අධික පරිශ්‍රමයෙන් යුක්තයි” ඔහු පවසයි. “ඔබ සාර්ථක වීමට සහ අභිලාෂකාමී වීමට නම්, ඔබ එයට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය.” ඉතින්, එවන් පරිශ්‍රමයක්, ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට හෝ කාලය ස්වාධීනව කළමණාකිරීමට ඔබට ඇති හැකියාව වැනි මනෝවිද්‍යාත්මකව තෘප්ත වන දේට බාධවක් බවට පත්වන්නේ නම්, එය මානසික සෞඛ්‍යයට හානියක් විය හැකිය.
ප්‍රතිලාභ කෙරෙහි නොව කාරිය කෙරෙහි අවධානය යොමු කරන්න
පර්යේෂණ මගින් යෝජනා කරනු ලබන්නේ, ඊළඟ උසස්වීම හෝ වැටුප් වැඩි කිරීම ලබාගැනීම සඳහා පමණක් උත්සාහ කරනවාට වඩා, කාර්යයක් ප්‍රගුණ කිරීම, යමක් ඉගෙන ගැනීම හෝ ඔබේ ගනුදෙනුකරුවන් හෝ ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක වෙනසක් ඇති කිරීම ආදී වශයෙන් කාර්ය සාධනය සඳහාම කාර්ය සාධනය කෙරෙහි ඔබ අවධානය යොමු කරන්නේ නම් ඔබට වඩාත් තෘප්තියක් දැනෙනු ඇති බවයි. (මෙම අභ්‍යන්තර අභිප්‍රේරණ අනුගමනය කරන පුද්ගලයින් අවසානයේ වැඩි ජයග්‍රහන ප්‍රමාණයක් ලබා ගන්නා බව පවා සමහර පර්යේෂණ යෝජනා කරයි.) “ඔබට අභිලාෂයක් තිබිය හැකි අතර ඒ සමඟම සහජයෙන්ම අභිප්‍රේරණය විය හැකිය,” රයන් පෙන්වා දෙයි. “ඔබ කරන කාර්යයට ඔබට ආදරය කළ හැකිය … නමුත් එය ඔබ කවුරුන්ද යන්න නිර්වචනය කරන සෙසු දේවල් සමග ගැලපිය යුතුවේ.”
වර්ධනය සඳහා උත්සුක වන්න
අභිලාෂයට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දෙනවා වෙනුවට, “වර්ධන මානසිකත්වයක්” ඔබට අනුගමනය කළ හැකිය. එයින් අදහස් කරන්නේ බුද්ධිය වෙනස් කිරීමට නොහැකිවන සේ ස්ථාවර අයුරින් සැකසූවක් නොව පෝෂණයෙන් වර්ධනය කළ හැකි බවට වන විශ්වාසයයි. රැකියාවේ නිශ්චිත තනතුරක් හෝ වැටුපක් ලබා ගැනීම වැනි නිශ්චිත ඉලක්කවලට වඩා, වර්ධනය සඳහා වෙහෙසීම — කුසලතාවක් ඉගෙනීම හෝ ඔප්නැංවීම හෝ අන් අය තුළ ඔබ අගය කරන ගති ලක්ෂණයක් ඔබ තුළ වර්ධනය කරගැනීම — වඩාත් යහපත් විය හැකි බව Judge පවසයි.
කෘතඥතාව හුරුපුරුදු කරන්න
විශේෂයෙන්ම ධනේශ්වර සමාජවල මිනිසුන්ට ස්වභාවිකවම යම් භෞතිකවාදී ප්‍රවණතා ඇත. එහෙත්, Kasserගේ පර්යේෂණවලින් පෙනී යන්නේ එම ආශාවන් යටපත් කර ගැනීමෙන් මානසික-සෞඛ්‍යමය වාසි ලබා ගත හැකි බවයි. එහි දී, සති මතය (mindfullness) සහ කෘතඥතාවය උපකාර විය හැක. එක් අධ්‍යනයකින් පෙන්නුම් කළේ, දිනපතා භාවනා කරන අය තම මූල්‍ය තත්ත්වය ගැන වඩාත් තෘප්තියෙන් පසුවූ අතර යහපැවැත්මකින් යුක්ත වූ බවයි. කෘතඥතාව, සබඳතා, හෝ මර්ත්‍යතාව(mortality) ගැන නිතිපත ආවර්ජනය, භෞතිකවාදී නැඹුරුවීම් අඩු කිරීමට හේතු වන බව ද පෙන්වා දෙනු ලැබ ඇති අතර එමඟින් මානසික යහපැවැත්ම වැඩිදියුණු කළ හැකිය.
සෑම දෙයක්ම මිල මුදලින් මනින්නට උත්සාහ නොකරන්න
ඔබ ඉතා කැමති විනෝදාංශයක් කඩිමුඩියේ පැත්තකට ඇද දැම්මිමෙන් පසුව පසුව ඔබට ඒ කෙරෙහි ඇති උනන්දුව කිසිදාක නැති වී තිබේද? (මේ ගැන) විද්‍යාව පදනම් කරගත් පැහැදිලි කිරීමක් ඇත. මිනිසුන් සතුටින භුක්ති විඳින ක්‍රියාකාරකම්වලට, (මුදල් ත්‍යාග වැනි) බාහිර අභිප්‍රේරක අනුයුක්ත කිරීමෙන් ඒවා දිගටම කරගෙන යාමට ඇති ඔවුන්ගේ අභ්‍යන්තර පෙළඹවීම අඩු වන බව දශක ගණනාවකට පෙර, පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. මානසික තෘප්තිය ඔබේ ඉලක්කය නම්, අමතර මුදල් නොමැතිවීම ඔබට වඩා හොඳ විය හැකිය.
TIME Healthහී පළව ඇති How to Be Ambitious Without Sacrificing Your Mental Health ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න