
වයඹ හවායි දූපත් වල, පර්ල් සහ හර්මීස් අතොළුවෙ හි කොරල්/ගල්පරයක මාළු පිහිනති. AP Photo/Jacob Asher
අපි මාළු ඔක්කොම සාගරයෙන් එලියට ගත්තොත් (සාගරයට) මොකද වෙන්නේ?
සමුද්‍ර පරිසර විද්‍යාඥයෙක් මත්ස්‍යයන් තම පරිසර පද්ධතිය තුළ ඉටු කරන සංකීර්ණ භූමිකා පැහැදිලි කරයි
ප්‍රශ්නය අසන්නේ: 12 හැවිරිදි, රෙනී
පිළිතුරුදෙන්නේ: රයිස් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා සහකාර මහාචාර්ය, Kory Evans
මුළින්ම කියන්න ඕනෑ මා, මත්ස්‍යයන් සහ ඔවුන්ගේ විවිධත්වය මෙන්ම සාගර පරිසරයට ඔවුන් දායක වන සියලුම ආකාර අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්.
සාගරය අති දැවැන්තයි. අපේ පෘථිවි පෘෂ්ඨයේ වැඩි කොටසක් ආවරණයවන්නේ සාගර වලිනුයි. අති විශාල ප්‍රමාණයකින් සමන්විත වනවාට අමතරව සාගර, ශාක, ක්ෂුද්‍ර ජීවීන්, පණුවන්, කොරල්පර සහ කකුළුවන්ගේ සිට දැල්ලන්, තල්මසුන් සහ ඔව්, මාළු පවා දක්වා විශ්මයජනක විවිධත්වයක් සහිත ජීවයෙන් පිරී ඇත. සාගරය මත්ස්‍යයන්ගෙන් කොපමන නම් පිරී ඇත් ද කීවොත්, සමස්ත සත්ව ලෝකයේම ජීවින් සෑදෙන ද්‍රව්‍ය වන සියලුම කාබන් වලින් දෙවන විශාලතම ප්‍රමාණය සාදන්නේ මසුන්ය. ඔවුන් සිටින්නේ කෘමීන් සහ කබොල සහිත සත්ව කණ්ඩාය අපි මාළු ඔක්කොම සාගරයෙන් එලියට ගත්තොත් (සාගරයට) මොකද වෙන්නේ? ට පමණක් පිටුපසින් ය.


බොහෝ මිනිසුන් සාගරය සමඟ අන්තර් ක්‍රියා කරන්නේ වෙරළේ සිට හෝ බෝට්ටුවක සිට පමණි, එබැවින් ඇත්ත වශයෙන්ම මාළු කීයක් සිටී ද යන්න සිතින් සිතා තක්සේරුකිරීම දුෂ්කර විය හැකිය. එසේනමුත් සාගරයෙහි, මතුපිට සිට ගැඹුරුම තැන් දක්වා රොද බැඳ රංචු ගැසෙමින් සිටින්නේ මත්ස්‍යයින්ය.
කොරල් පරයක ඔබට දැකිය හැකි සාඩින්, ගප්පි සහ බ්ලෙනී වැනි කුඩා මත්ස්‍යයන් ගේ සිට විවෘත සාගරයේදී ඔබට සොයා ගත හැකි දැවැන්ත බලයා, කෙලවල්ලා, තල්මසුන් මෝරුන් දක්වා විවිධ හැඩයන් සහ විවිධ ප්‍රමාණවලින් මෙම මත්ස්‍යයන් අපට හමුවේ.
මෙම මත්ස්‍යයෝ, තමුන් වටා සිටින අනෙකුත් ජීවීන්ගේ ජීවිතවලට සහාය වන පරිදි, ඔවුන්ගේ පරිසර පද්ධති තුළ, සෑම ආකාරයකම භූමිකා ඉටු කරති. ඔවුන් යම් දිනක අතුරුදන් වුවහොත්, සාගරය බොහෝ සේ වෙනස් වනු ඇත.
slopehead parrotfish මාළු අයිනක් NOAA, Kevin Lino

ආහාර ලෙස මාළු
මත්ස්‍යයෝ, සාගර පරිසර පද්ධතිවල විලෝපිකයන් මෙන්ම ගොදුරු ලෙසද වැදගත් කාර්යභාරයක් ඉටු කරති. සාගර සහ භෞමික පරිසර පද්ධති පුරා සිටින — මිනිසුන් ඇතුළුව– විශේෂ දහස් ගණනක් ආහාර සඳහා මාළු මත රඳා පවතී.
කොරල්පර පරිසර පද්ධතිවල කුඩා මසුන්, විශාල මසුන් විසින් සහ අනෙකුත් සාගර සතුන් විසින් අනුභව කරනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ කුඩා මාළු ආහාර ජාලයේ පදනම සාදන බවයි – ඔවුන්(කුඩා මසුන්) විශාල මසුන්ට සහ අනෙකුත් ජීවීන්ට ශක්තිය සපයයි.

විවිධ කොරල් පර සතුන් අතර සම්බන්ධතා. Global Change Biology, Rogers et al., 2015
ජලයෙන් පිටත බොහෝ පක්ෂීන්, ක්ෂීරපායින් සහ උරගයින් මාළු අනුභව කරන අතර ප්‍රෝටීන් අත්‍යවශ්‍ය ප්‍රභවයක් ලෙස ඔවුන් මත රඳා පවතී.
(සාගරයේ) මාළු සිටීමෙන්, ගොඩබිම් ශාකවලට පවා ප්රයෝජන ගත හැකිය. එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ, වසර ගණනාවක් මුහුදේ ගත කිරීමෙන් පසු කුඩා දිය පහරවල් වෙත ආපසු පැමිණෙන සැමන් මත්ස්‍යයන්, පෝෂක වාහක පටියක් ලෙස ක්‍රියා කරයි. සැමන් මත්ස්‍යයා වලසුන් වැනි ඔවුන් අල්ලා ගන්නා සතුන්ට ආහාර බවට පත්වෙනවා පමණක් නොව ඇළ දොළවලට මායිම්ව පවතින ශාක ද පෝෂණය කරයි. සමහර ශාකවලට, ඒවාට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණයෙන් 70%ක් ලැබෙන්නේ ගං ඉවුරේ හෝ ඒ ආසන්නයේ මිය යන සැමන් මත්ස්‍යයන්ගෙන් බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.
ආහාර ප්‍රභවයක් ලෙස මිනිසා ද මාළු මත යැපේ. මාළු සහ අනෙකුත් මුහුදු ආහාර නිෂ්පාදන බිලියන 3 කට ආසන්න ජනතාව සඳහා වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයකි. මිනිස් ජනගහනය වසර දහස් ගණනක සිට ලොව පුරා මසුන් ආහාරයට ගන්නවා පමණක් නොව ඔවුන් සොයා හඹා යමින් සිටී.
මාළු වාසස්ථාන පවත්වාගෙන යති
මාළු හුදු ආහාරයක් පමණක් නොවේ. මත්ස්‍යයන් විසින්ම ආහාර සොයා ගන්නා බැවින්, අනෙකුත් සජීවීන් වෙනුවෙන් වැදගත් වාසස්ථාන නිර්මාණය කර පවත්වාගෙන යා හැක. කොරල්පර පරිසර පද්ධති තුළ, ශාක අනුභව කරන මත්ස්‍යයෝ ඇල්ගී නිරන්තරයෙන් උලා කෑමෙන්, ඒවායේ වර්ධනය පාලනය කරති. මෙම ශාක භක්ෂකයන්ගේ හෙවත් ශාක අනුභව කරන මසුන්ගේ උපකාරය නොමැතිව, ඇල්ගී වේගයෙන් වර්ධනය වී කොරල්පර වැසී ගොස්, ඒවා මරා දමනු ඇත.

එක් ශාකභක්‍ෂක මත්ස්‍ය විශේෂයක් වන parrotfish මත්ස්‍යයෝ, කොරල්පර මත ආහාරයට ගනිති. මෙය කොරල්පර සම්බන්ධයෙන් නරක දෙයම්ක් ලෙස මුලදී පෙනුනද, parrotfish මත්ස්‍යන් විසින් කරනු ලබන උලා කෑම නිසා කොරල් පර වර්ධන වේගය වැඩි කළ හැකිය. තවද, parrotfish මත්ස්‍යන්ගෙන් ලැබෙන අසූචි – ඔව්, අසූචි – විශේෂයෙන් කොරල්පර සඳහා පෝෂ්‍යදායී බව පෙන්වා දී ඇත. Parrotfish අසූචි, ඔබ පවුලේ අය සමග නිවාඩුවක් ගත කරන්න පැමිණෙන පියකරු සුදු වැලි වෙරළ තීරයේ ද කොටසක් වේ.
අනෙකුත් මත්ස්‍යයෝ වෙනත් සතුන් සඳහා වාසස්ථාන නිර්මාණය කරන අතර ඔවුන් ආහාර ගන්නා අතරතුර වැලි එහා මෙහා කරමින් ඔවුන්ගේ පරිසරයට බලපෑම් කරයති. වැලි අවිස්සීමෙන් ඔවුහු, වැලි වල සැඟවී සිටින කුඩා ජීවීන් වෙනත් සතුන්ට ආහාරයට ගත හැකි පරිදි නිරා වරණය කරති.
සමහර මත්ස්‍යයෝ තම ආහාර සොයා ගැනීම සඳහා වැලි ‘ගරති’. එමඟින් අනෙකුත් ජීවීන්ට වැල්ලේ ආහාර සොයා ගැනීමට වැඩි අවස්ථාවන් නිර්මාණය වේ.

බොහෝ මාළු වර්ග සාගරයට සීමා වී ඇතත්, වාසස්ථාන බොහොමයක් හරහා ඔවුන්ගේ පැවැත්ම දැනී යා හැකිය. ආහාර සහ නවාතැන් සඳහා ඔවුන් මත යැපෙන සජීවීන්ගේ ජීවිතවලට සෘජුව හා වක්‍රව බලපෑම් කළ හැකිය. මාළු නොමැති වුවහොත්, පෘථිවියට එහි සුන්දර සුදු වැලි වෙරළ ක්‍රමයෙන් අහිමි වනු ඇත; කොරල්පර පරිසර පද්ධති ඇල්ගී වලින් වැසී යනු ඇත; බොහෝ මිනිසුන්ට කෑමට ආහාර හිඟ වනු ඇත; එපමනක් ද නොව, ග්‍රහලෝකයේ වඩාත් ආකර්ෂණීය ජීවීන් සමහරක් අපට අහිමි වනු ඇත.
Curious KIds(The Conversation) හී පළවන What happens to the ocean if we take out all the fish? A marine ecologist explains the complex roles fish play in their ecosystem (Published: January 8, 2024 ) යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න