විද්‍යාව සහ දේශපාලනය

විද්‍යාව පක්ෂභජනයෙන් තොරව පැවතිය යුතු නමුත් එය සේවය සපයන සමාජයෙන් ඈත් විය නොහැකිවා සේම ඈත්  නොවිය යුතුය.

මිහිකත දිනයට සමගාමීව 2017 අප්‍රේල් 22 දින, විද්‍යාඥයින්, විද්‍යා ලෝලීන් සහ සාමාන්‍ය ජනතාව දහස් ගණනක් ලොව පුරා ස්ථාන 600කට අධික සංඛ්‍යාවක විද්‍යාව වෙනුවෙන් පෙළපාලි යාමට වීදි බැස සිටියහ. ‘විද්‍යාව සඳහ ප්‍රයාණය’ ජාලය නම් එහි සංවිධායකයින්ට අනුව මෙම උත්සවය මහජන වේදිකාවේ විද්‍යාවේ දෘශ්‍යතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. ගෝලීය දකුණේ සිට උත්තර ධ්‍රැවය දක්වාම, පාගමන්කරුවන් මෙසේ ජප කළහ: “අපට අවශ්‍ය කුමක්ද? සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්තිය. අපට එය අවශ්‍ය වන්නේ කවදාද? සමස්ථපාදික සමාලෝචනයෙන් පසුවය. ”

පාගමන සහ එහි සඵලතාවය, පාගමනට පෙර සහ ඉන් පසුව යන අවස්ථා දෙකෙහිම පුළුල් ලෙස විවාදයට ලක් විය. උත්සවයේ මූලික අරමුණු සම්බන්ධයෙන් කිසිවකුත් විරුද්ධ නොවූ නමුත් සමාජය තුළ විද්‍යාවේ භූමිකාව  සහ ප්‍රතිපත්ති සම්පාදනය  වෙනුවෙන් කතා කිරීමට හොඳම මාර්ගය පාගමන ද? සමහරුන්ට එය,  එළිපිට ප්‍රජා කටයුතුවල නියැලීම  සඳහා අවස්ථාවක්, විද්‍යාව වෙනුවෙන් කතා කිරීමට සහ විද්‍යාව සැමරීමට අවස්ථාවක් විය. අනෙක් අයට, පෙළපාලි යාම විරෝධතා දේශපාලනය සමඟ ඉතා සමීපව සම්බන්ධ වූ අතර එය පක්ෂග්‍රාහී සිදුවීමක් ලෙස සැලකීමට ඉඩ තිබුණි: විශේෂයෙන් එක්සත් ජනපදයේ  එය “තවත් ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලීන්ගේ දොස් පැවරීමේ උත්සවයක්” ලෙස සලකන්නට ඉඩ තිබුණි. (http://go.nature.com/2ps5gl1)

විද්‍යාත්මක ප්‍රජාව බොහෝ දුරට දේශපාලනික වශයෙන් ලිබරල් හෙවත් ස්වතන්ත්‍රය. එක්සත් ජනපදයේ, Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ, සමීක්ෂණයට ලක් කළ විද්‍යාඥයින් අතරින් 55%ක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ලෙසද, 32%ක් ස්වාධීන අය ලෙසද හඳුනාගෙන ඇති අතර, රිපබ්ලිකානුවන් යැයි කියා සිටියේ ඔවුන් අතුරෙන් 6%ක් පමණි (http://go.nature.com/2olt6Ph). කෙසේ වෙතත්, ඒ අතරම,  විද්‍යාඥයින් පක්ෂග්‍රාහී නොවන අය ලෙස මහජනයා  සලකයි: ඇමරිකානුවන්ගෙන් 64% ක් විද්‍යාඥයින් ගැන සිතන්නේ ලිබරල්වාදී හෝ ගතානුගතික නැතිනම් කොන්සවටිව්වාදි නොවන අය ලෙසය (http://go.nature.com/2oCnaha).

පර්යේෂකයන් අතර මතවාදී විවිධත්වය ඇතුළු විවිධත්වයේ අවශ්‍යතාවය ගැන කීමට බොහෝ දේ ඇත.  ඒ කෙසේ වෙතත්, විද්‍යාඥයින් විද්‍යාව කෙරෙහි ඔවුන්ගේ කැපවීම සහ කරුණු සෙවීම පුද්ගලික දේශපාලන හෝ මතවාදී නැඹුරුවීම් අබිභවා යන බව සන්නිවේදනය කිරීමේ දී පැහැදිලිවම සාර්ථක වී ඇත.

විද්‍යාව පක්ෂග්‍රාහී නොවිය යුතු අතර  රජයන්ගේ හෝ සාමාන්‍ය ජනතාවගේ සාමාජිකයන් වේවා, එය(විද්‍යාව) අවශ්‍ය හෝ එයින් ප්‍රතිලාභ ලැබිය හැකි ඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට හැකි  විය යුතුය. වම, දකුණ හෝ  මැද ආදී වශයෙන්  සියළුම රජයන්ට තම තීරණ ගැනීම දැනුම් දීමට විද්‍යාත්මක කරුණු අවශ්‍ය වේ. විද්‍යාව පක්ෂග්‍රාහී බවට පත් කිරීම, ඊට  සම්බන්ධ සියලු දෙනාටම හානියක් වේ.

ඒ අතරම, විද්‍යාව අදේශපාලනික හෝ නිර්පාක්ෂික විය නොහැක: එය රික්තකයක් තුළ බිහි නොවන අතර එය රාජ්‍යයේ කටයුතුවල ප්‍රධාන කොටසකි. විද්‍යාඥයින්, ඔවුන්ගේ සේවය සලසන සමාජයන් තුළ, මහජනතාව සමඟ සම්බන්ධ වී අන්තර්ගත විය යුතු අතර සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ විද්‍යාවේ අවශ්‍යතා (අරමුදල් සහ අහුම්කන් ලැබීමට ඇති අයිතිය ඇතුළුව) වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

විද්‍යා ප්‍රජාව පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දෙන නිසා වෙන්, විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමට ඇති හොඳම ක්‍රමය නිරවුල්ව දැක්විය හැකි කාරණයක් නොවේ. තර්ජනය වන්නේ සාක්ෂි දේශපාලනීකරණය වීම නොවේ; එය, දේශපාලන විද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ කරමින් සිටින දිගු ඉතිහාසයක් ඇති සංසිද්ධියකි. ඒ වෙනුවට, තර්ජනය නම්, වාගාලංකාරය(rhetoric) මගින් විද්‍යාත්මක සාක්ෂි අනදාල බවට පත්කිරීමයි – එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, තුර්කිය සහ වෙනත් තැන්වල, දේශපාලන සංස්ථාපිතය, මහජන ප්‍රතිපත්ති කතිකාවෙන් විද්‍යාත්මක සාක්ෂි බැහැර කරමින් සිටී. යුරෝපා සංගමයේ එක්සත් රාජධානියේ සාමාජිකත්වයේ ඉරනම තීරණය කළ ජනමත විචාරණයට මොහොතකට පෙර බ්‍රෙක්සිට් වෙනුවෙන් පෙණී සිටි Michael Gove  පැවසුවේ “මේ රටේ මිනිසුන්ට ඕනෑවටත් වඩා ප්‍රවීණයන් ඇත” යනුවෙනි. (http://go.nature.com/2obxz6w). නිහඬව සිටීමේ මෙම පෙර නොවූ විරූ තර්ජනය පෙර නොවූ විරූ ක්‍රියාවකට මග පාදයි. “උද්‍යෝගීමත් පුද්ගලයින්ට පෙළපාළි දැක්වීමට සිදුවීම ගැන  සමාජය කනස්සල්ලට පත්විය යුතුය!” ඇම්ස්ටර්ඩෑම් හි විද්‍යාව වෙනුවෙන් පෙළපාලි යන්නෙකුගේ පුවරුවක දැක්වින (http://go.nature.com/2p8KcwX).

උද්‍යෝගීමත් පුද්ගලයින්ට පෙළපාළි දැක්වීමට සිදුවීම ගැන  සමාජය කනස්සල්ලට පත්විය යුතුය!

විරෝධතා දේශපාලනයක් අනුගමනය කිරීම හේතුවෙන් විද්‍යාඥයින් නිර්පාක්ෂික, අපක්ෂපාතී සත්‍ය ගවේෂකයින් ලෙස මහජනතාව තුළ ඇති මතය ඛාදනය විය හැකිද? පිළිතුර අපි නොදනිමු, නමුත් විද්‍යාවේ අනෙක් සියල්ල මෙන් මෙයද කරුණු සාධක සමඟ විසඳිය හැකි ප්‍රශ්නයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending