ප්රශ්නය අසන්නේ: Oregon, Lake Oswego හී 9 හැවිරිදි Daisy.
පිළිතුරුදෙන්නේ: Gonzaga විශ්වවිද්‍යාලයේ, සංවිධානාත්මක නායකත්ව මහාචාර්ය Kristine Hoover සහ එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපන පීඨාධිපති Yolanda Gallardo විසිනි
මිනිසුන් මිනිසුන්ට වෛර කරන්නේ ඇයි?
ඔබ කවදා හෝ කෙනෙකුට “මම ඔබට වෛර කරනවා” කියා පවසා තිබේද? එහෙම නැතිනම්, එදිනෙදා සාමන්‍ය කතා බහේ දී “රතු මල්ගෝවා මට පෙන්නන්න බැහැ” වගේ “වෛරී වචන” භාවිතා කිරීම ගැන කුමක් කිව හැකිද? ඔබ යම් දෙයකට හෝ කෙනෙකුට වෛර කරන බව පවසන විට ඔබට ඇත්තටම හැඟෙන්නේ කුමක්ද?
Merriam-Webster (ඉංග්‍රීසි) ශබ්දකෝෂය “Hate(වෛරය)” යන වචනය විස්තර කරන්නේ “සාමාන්‍යයෙන් බිය, කෝපය හෝ තැවුලක් පිළිබඳ හැඟීමෙන් ඇති වන දැඩි විරෝධයක් සහ පිළිකුලක්” ලෙසයි. ලොව පුරා, අප වැනි පර්යේෂකයෝ අධ්‍යාපනය, ඉතිහාසය, නීතිය, නායකත්වය, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව සහ තවත් බොහෝ ශික්ෂණයන් ඔස්සේ ‘වෛරය’ යන්න අධ්‍යයනය කරති.
ඔබට ගිගුරුම් සහිත කුණාටු පිළිබඳ භයානක අත්දැකීමක් තිබේ නම්, ඔබ ගිගුරුම් සහිත වැසි වලට වෛර කරන බව පැවසිය හැකිය. සමහර විට ඔබ යම් තැනක දී සිදු වූ දෙයකට බොහෝ කෝපයට පත් වී ඇති නිසා, දැන් ඔබ එහි යාමට අකමැති බව කියන්නට පුළුවන. සමහර විට කවුරුහරි ඔබට සිත් රිදවන යමක් කීවා විය හැකිය, එබැවින් ඔබ එම පුද්ගලයාට වෛර කරන බව ප්‍රකාශ කරන්නට හැකිය.
වෛරය චිත්තවේගීය ප්‍රතිචාරයක් ලෙස වටහා ගැනීම ඔබට යම් දෙයක් හෝ යමෙකු පිළිබඳ ඔබේ හැඟීම් හඳුනා ගැනීමට සහ එම හැඟීම් පැමිණෙන්නේ කොහෙන්දැයි උනන්දුවෙන් සිටීමට උපකාරී වේ. මෙම දැනුවත් කිරීම ඔබට තවත් තොරතුරු රැස් කිරීමට සහ අනෙක් පුද්ගලයාගේ ඉදිරිදර්ශනය සිතීමට කාලය ලබා දෙනු ඇත.
එසේනම් වෛරය යනු කුමක්ද සහ මිනිසුන් වෛර කරන්නේ ඇයි? මෙම ප්රශ්නවලට පිළිතුරු බොහොමයක් තිබේ.
වෛරය නොවන්නේ කුමක් ද?
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව වෛරය යන්නෙන් අදහස් කරන්නේ ප්‍රකෝපය, කෝපය හෝ සාමාන්‍ය අකමැත්ත නොවේ. සමහර විට මිනිසුන් සිතන්නේ ඔවුන්ගේ අවට පරිසරයේ අසන හෝ දකින දේ නිසා වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමක් ගැන යම් ආකාරයක හැඟීමක් හෝ අදහසක් ඇති කළ ගත යුතු බවයි. නිදසුනක් වශයෙන්, පුද්ගලයින් වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කණ්ඩායමකට වෛර කරන්නේ යයි පවසන විට ඒ අය සැබවින්ම අදහස් කරන්නේ මිනිසුන් ඔවුන් සමඟ එකඟ නොවීම, ඔවුන්ව තේරුම් නොගැනීම හෝ ඔවුන් හැසිරෙන ආකාරය හෝ ඔවුන් විශ්වාස කරන දේවල් වලට අකමැති වීම යන්න විය හැකිය.
ඔබ මෙම පුද්ගලයාට වෛර කරනවාද, නැතහොත් ඔබ කෝපයෙන් සිටිනවා ද, සිත් රිදීමකට ලක්ව සිටිනවා ද? නැතිනම් බියෙන් සිටිනවාද?

Lourdes Balduque/Moment via Getty Images
ඔබ විශ්වාස නොකරන දේවල් හෝ ඔබ අකමැති අත්දැකීම් සම්බන්ධයෙන් අන් අයට දොස් පැවරීම පහසුය. පාසැලේදී යමෙකු පන්තියේ මිතුරෙකුට හෝ ගුරුවරයෙකුට වෛර කරන බව පවසනු ඔබ අසා ඇති අවස්ථා ගැන සිතන්න. ඔවුන් යම් දෙයක් ගැන කෝපයට පත්ව, සිත් රිදවීමකට ලක්ව හෝ ව්‍යාකූලව සිටින නමුත් ඔවුන්ට හැඟෙන ආකාරය පැහැදිලි කිරීමට හෝ නම් කිරීමට වෛරය යන වචනය භාවිතා කළ හැකිද?
ඔබ වෙනත් කෙනෙකුව තේරුම් නොගත් විට, එය ඔබව කලබලයට හා බියට පත් කළ හැකිය. එකිනෙකාගේ අද්විතීය අත්දැකීම් ගැන කුතුහලයෙන්, උනන්දුවෙන් සිටීම වෙනුවට, මිනිසුන් අන් අයගේ වෙනස්කම් අනුව ඔවුන් විනිශ්චය කිරීමට, මැනීමට ක්‍රියා කළ හැකිය – වෙනස් කම් කීවොත, ඒ අයගේ සමේ වර්ණය වෙනස් විය හැකිය; වෙනත් ආගමක් අදහනවා විය හැකිය; වෙනත් රටකින් පැමිණියා විය හැකිය, වැඩිහිටි හෝ තරුණ විය හැකිය; හෝ රෝද පුටුවක් භාවිතා කරනවා විය හැකිය. ඔය යනාදී වශයෙන් තමුන්ට වඩා වෙනස් මිනිසුන්, තමන්ට වඩා නොවැදගත් හෝ මනුෂ්‍යයන් වශයෙන් තමන්ට වඩා අඩු මිනිසුන්ය ලෙස මිනිසුන් විනිශ්චය කරන විට, එය වෛරයේ ආකාරයකි.

වෛරය යනු කුමක්ද?
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිර්වචනය කරන්නේ “නීතිය මගින් නිර්වචනය කර ඇති විශේෂිත ලක්ෂණ සහිත පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහි අභිනතිය, පක්ෂග්‍රාහීත්වය” ලෙසිනි. මෙම ලක්ෂණවලට පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය, ආබාධිතභාවය සහ ජාතික සම්භවය ඇතුළත් විය හැකිය.
වෛරය ගැන සිතීමට එක් ක්රමයක් වන්නේ පිරමීඩයක් ලෙස කල්පනා කිරීමය. පිරමීඩයේ පතුලේ, වෛරය යනු සමහර පුද්ගලයින් සතුන්ය, කම්මැලියන්ය හෝ මෝඩයන්ය වැනි ඒකාකෘති අන් අය කෙරෙහි අගතිගාමී ආකල්ප වලින් වර්ධනය වන හැඟීමකි.
සමහර විට මෙම පක්ෂග්‍රාහී ආකල්ප සහ අගතිගාමී හැඟීම් මිනිසුන්ට හිරිහැර කිරීම, බැහැර කිරීම හෝ අපහාස කිරීම වැනි ඔවුන්ගේ පක්ෂග්‍රාහීත්වය ක්‍රියා වට නැංවීමට පදනමක් සපයයි. නිදසුනක් වශයෙන් දක්වතොත්, එක්සත් ජනපදයේ බොහෝ ආසියානු ජනයා COVID-19 වසංගතය තුළ වෛරී සිදුවීම්වලට වැඩියෙන් ගොදුරුවීමක් අත්වින්දහ. ප්‍රජාවන් පක්ෂග්‍රාහීත්වය ‘හරි දෙයක්’ ලෙස පිළිගන්නේ නම්, සමහර අය පිරමීඩයේ ඉහළට ගොස් වෙනස් කොට සැලකීම ද(to discriminate) හරි යැයි සිතිය හැකිය, නැතහොත් ඒ අය කවුරුන්ද යන්න මත ඔවුන් සමහර ප්‍රදේශවල පිළිනොගන්නට හෝ රැකියාවලට පිවිසීම පිළිගත නොහැකි බව විශ්වාස කරති.
පිරමීඩයේ මුදුනට ආසන්නව, සමහර අය ප්‍රචණ්ඩත්වයට හෝ වෛරී අපරාධයන්ට නැඹුරු වන්නේ ඔවුන් සහ ඔවුන්ගේම ක්‍රමය අන් අයට වඩා හොඳ යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. ඔවුන් අන් අයට තර්ජනය කිරීමට හෝ ශාරීරිකව හානි කිරීමට හෝ දේපළ විනාශ කිරීමට හැකිය. පිරමීඩයේ අන්තිම මුදුනේ ඇත්තේ ජන සංහාරයකි; එනම් විශේෂිත කණ්ඩායමක් විනාශ කිරීමේ අභිප්‍රායයි – දෙවන ලෝක යුද්ධයේදී යුදෙව් මිනිසුන් අත්විඳින දේ හෝ අද චීනයට ආසන්න මියන්මාරයේ රෝහින්ග්‍යා ජනයා අත්විඳින දේ වැනි ය.
පිරමීඩයේ මැද සහ ඉහළ මට්ටම්වලදී වෛරය ඇතිවන්නේ පිරමීඩයේ පහළ මට්ටමේ සිටින පක්ෂග්‍රාහී හැඟීම්, ආකල්ප සහ ක්‍රියාවන් අධෛර්යමත් කිරීමට කිසිවකු ක්‍රියා නොකළ නිසාය.
වෛරයට එරෙහිව පියවර ගැනීම
පුද්ගලයන්ට තනි තනියෙන් වෛර කළ හැකිවා පමණක් නොව, සුදු ජාතිකයන් නොවන, ලිංගික වශයෙන් සම්මත නොවන හෝ ක්‍රිස්තියානි නොවන මිනිසුන්ට පහර දෙන Ku Klux Klan වැනි වෛරී කණ්ඩායම් ද ඇත. සමහර විට වෛරය ඉන්දියානු ඉවත් කිරීමේ පනත හෝ ස්වදේශික සහ කළු ඇමරිකානුවන්ට පීඩා කළ ජිම් ක්‍රෝ නීති වැනි නීති, රටේ නීති සංග්‍රහට ඇතුළත් කර ඇත. වෛරය අපට අභිමුඛ වූ විට අපි නිහඬව සිටියහොත් එම වෛරය වර්ධනය වී විශාල හානියක් සිදු කළ හැකිය.
ඔබේ එදිනෙදා ජීවිතයේදී වෛරය නැවැත්වීමට ඔබට උපකාර කළ හැකි බොහෝ ක්‍රම තිබේ.
ඔබ අවට කරන කියන දේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ සමඟ වැඩි කාලයක් ගත කරන පුද්ගලයින් වෙනත් කණ්ඩායම් ගැන ද්වේෂසහගත දේවල් ප්‍රකාශ කරන්නේ නම්, කතා බහකිරීම හෝ ඔබ ඇසුරු කරන්නේ කවුරුන්ද සහ නිතර ගැවසෙන්නේ කොතැනද යන්න ගැන යළි යළිත් සලකා බලන්න. අවංක, සෘජු අයෙකු වන්න – වෛරයට ලක් කර ගන්නා, ඉලක්ක කරගන්න කෙනෙකු වෙනුවෙන් පෙණී සිටිමින් ද්වේෂ සහගත සිදුවීම් දකින විට හෝ ඇසෙන විට ඒවා වාර්තා කරන්න.
විරෝධතා යනු නිශ්චිත කණ්ඩායමක් වෙනුවෙන් මිනිසුන් අදහස් දක්වන එක් ආකාරයකි. .

FG Trade/E+ via Getty Images
ඔබ ඔබේ සිතුවිලි සහ ක්‍රියාවන් තුළට ද්වේෂ සහගත වචන හෝ හැසිරීම් රිංගන බවක් දනෙන්නට පටන ගත් විගසම ඒ ගැන අවධානය යොමුකරන්න. ඔබ සබැඳිව(online) දකින දේ ඇතුළුව ඔබ තුළ සහ අන් අය තුළ වෛරය පෙනෙන්නේ සහ ඇසෙන්නේ කැබඳු ආකාරයෙන් දැයි දැන ගන්න.
ඔබට වඩා වෙනස් අත්දැකීම් ඇති අන් අය හමුවීමට සහ ඔවුන් කවුදැයි ඔබට දැන ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න. නිර්භීතව ඔබේ බියට මුහුණ දෙන්න. අනුන් ගැන උනන්දුවන්න, ඔවුනට කාරුණික වන්න.
වෛරයට එරෙහිව නැගී සිටීම පිණිස සිටින්නේ ඔබ පමණක්ම නොවේ. මානව හිමිකම් කණ්ඩායම් බොහොමයක් ද සහ රජයේ මුල පිරීම් ද වෛරය තුරන් කිරීමේ කාර්යය කරමින් සිටී. අප සැමට “ප්‍රතිචාර දැක්වීමේ හැකියාව” හෝ ප්‍රතිචාර දැක්වීම සඳහා හැකියාව ඇත. සිවිල් අයිතිවාසිකම් නායක පූජ්‍ය මාර්ටින් ලූතර් කිං ජූනියර් පැවසූ පරිදි, “අඳුරට අන්ධකාරය පලවා හැරිය නොහැක, එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැක, එය කළ හැක්කේ ආදරයට පමණි. ”
අන් අයට වෛර කරනවාට වඩා ඔවුන්ට ආදරය කිරීම පහසු බව ඔබට පෙනෙනු ඇත. අන් අය ඔබ හැසිරෙන ආකාරය දකින අතර ඔබේ මූලිකත්වය අනුව ක්‍රියා කරනු ඇත.(අවධාරණය අපෙන්)
Curious Kids of 13th May, 2024(The conversation) හී පළවන Why do people hate people? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න