ඇතමුන් යෝජනා කරන පරිදි අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 6% වෙන් කළ යුතුය යන අදහස ලංකාවේ දී මුලින් ම ඉස්මතුවූයේ හුදෙක් වැටුප් අරගලයක සටන් පාඨයක් වසයෙන් පමණි. එම ප්‍රතිශතය වෙන් කළ යුත්තේ ඇයි දැයි කියන කාරණය සම්බන්ධයෙන් රටවැසියන් සමග දැනුවත් කතිකාවක් ඇති කිරීම දේශපාලනඥයන් හා බලධාරීන් මගහැර ඇත්තේ ඒ නිසා විය හැකිය. රටක අධ්‍යාපනය සඳහා පොදු අරමුදල් වලින් සෑහෙන මුදලක් වෙන් කළ යුතුය යන කාරණය මුලින්ම වසර 2000 දී යුනෙස්කෝවේ මැදිහත්වීමෙන් සෙනෙගාලයේ අගනුවර වන ඩකාර් හිදී පැවති ලෝක අධ්‍යාපන ෆෝරමයේ දී (World Education Forum) ලංකාවද ඇතුළු රටවල් 164ක් විසින් එකඟ වූ සම්මුතියකි. එහිදිී ‘අධ්‍යාපනය සියල්ලන්ට ම’ යන මැයෙන් එකඟ වූ මූලික අරමුණු හය සාක්ෂාත් කරගැනීම සඳහා සැකසූ Dakar Framework  හෙවත් ඩකාර් රාමුසැකිල්ල මගින් මේ කාරණය අවධාරණයට ලක්විය. 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟව ඇති තිරසාර සංවර්ධන අරමුණු 17 සහ ඒවා සාක්ෂාත් කරගැනීමෙ වැඩපිලිවෙළවල් ගැන ද පොදුජනතාව අතර දැනුවත් සාක්ච්ඡාවක් දියත් කර නැති නමුත් තිරසර සංවර්ධනය සඳහා පිහිටුවන ලද කවුන්සිලයක් සහ කාර්යමණ්ඩලයක් ද කලක සිට අපට තිබේ. තිරසර සංවර්ධන අරමුණු අතරින් 4 වැනි අරමුණ අධ්‍යාපනය ප්‍රමුඛකර ගත්තකි. ගුණාත්මක සහ අන්ත්ර්ග්‍රහණිය (සියුලු සමාජ ස්තරයන්ට සමාන අවස්ථා ලැබෙන) අධ්‍යාපනයක් ලැබීම තහවුරු කිරීම සහ ජීවිත කාලය පුරා අධ්‍යාපනය ලබා ගැනීමෙ අවස්ථා ප්‍රවර්ධනය කිරීම එම අරමුණයි. එ් අරමුණට ළඟාවිමට සාක්ෂාත් කරගත යුතු ඉලක්ක හතකි. 2030 වන විට ඉටුකර ගතයුතු මෙ අරමුණ සම්බන්ධ සාමාජික රටවල් පිළිගත් වැඩපිලිවෙළක රාමුවක් 2015 දි යුනෙස්කෝවේ මැදිහත්වීමෙන් කරන ලද සාකච්ඡාවලින් බිහිවිය. එය හඳුන්වන්නේ ඉන්චියොන් ප්‍රකාශය (Incheon Declaration) යන නමිනි. අධ්‍යාපනයට 6%ක් යන කියමනට පදනම වූ බව පෙනෙන්නේ එම ප්‍රකාශයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයට යොදන අරමුදුල් ප්‍රමාණය රටේ දළ දේශිය නිෂ්පාදිතයෙන් 4%-6%ක් හෝ රජයේ අරමුදල් වලින් 15%-20% අතර විය යුතු බවට යුනෙස්කෝවේ සාමාජික රටවල් අකර ඇති වූ එකඟත්වයයි. යටකි ප්‍රකාශනයට අනුව එම මුදල් සැම දෙනෙකුටම ගුණාත්මක ළමාවිය, ප්‍රාථමික, ද්වීතීයික හා උසස් අධ්‍යාපනයක් ලබාගැනීම,  අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මනා ගුරුපුහුණුව, ගුණාත්මක පෙළපොත් සහ අන්තර්ගතය හඳුන්වාදීම, අධ්‍යාපනයේ ඇති අසමානතා ආමණ්ත්‍රණය කිරීම සහ තිරසාර සංව්රධන අරමුණු අංක 4 අනුව 2030 වන විට අධ්‍යාපනය සම්බන්ධ ඉටුකරගතයුතු ඉලක්ක සාක්ෂාත් කර ගැනීමයි. ඒනිසා තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් අධ්‍යාපනයට අනුක්‍රමයෙන් 6% ක් හෝ රජයේ වැය වලින් 15-20-% වෙන්කළයුත්තේ කෙසේද කුමන ඉලක්ක සඳහාදැ.යි යන කාරණය පිළිබඳ දැනුවත් මහජන කතිකාවක්, සංවිචාරණයක් ඇති කිරීමට නව රජය කටයුතු කළ යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending