
ගැබ් ගත් දා සිට ගතවන දින දහස (1000) තුළ මව සීනි පරිභෝජනය සීමා කළ හොත් උපදින දරුවා මැදිවියේ දී දෙවැනි මාදිලියේ දියවැඩියා (Type two diabetic) රෝගයට ගොදුරුවීමේ අවදානම 35% දක්වා අඩු වී අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ද 20% දක්වා අඩු වන බව පර්යේෂකයෝ සොයා ගනිති. බ්‍රිතාන්‍යයේ සීනි පරිභෝජනය දෙවැනි ලෝක යුද සමයේදී සලාක ක්‍රමය මගින් අඩු කළ අවදියේ දී සහ අනතුරුව සලාක ක්‍රමය ඉවත් කිරීමෙන් පසුව සිදුවූ දරු ප්‍රසූතවලින් බිහි වූ දරුවන් මැදිවියේ දී මුහුණ දුන් ලෙඩ රෝග පිළිබඳව දත්ත සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීමෙන් පර්යේෂකයෝ මේ නිගමනයට එළඹි ඇත. මොන්ට්‍රියෙල්හි මැක්ගිල් විශ්ව විද්‍යාලයේ සමග එක්සත් ජනපදයේ බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම කළ අධ්‍යයනයක් විස්තර කරමින් ලියූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් Science සඟරාව මේ පුවත වාර්තා කළේය.
1942 දී බ්‍රිතාන්‍යයේ හඳුන්වා දුන් සීනි සලාක ක්‍රමය 1953 දක්වා ම පැවතුණි. ඒ අනුව දිනකට එක් අයෙකු පරිභෝජනය කළයුතු සීනි ප්‍රමාණය තේ හැඳි 8ක් නොහොත් ග්‍රෑම් 40 කට සීමා විය. සලාක ක්‍රමය අවසන් කළ පසු සීනි පරිභෝජනය එමෙන් දෙගුණයක් එනම් දිනකට ග්‍රෑම් 80 දක්වා ඉහළ ගියේ ය.
කෙසේ වෙතත් එකල පැවැති මේ සලාක ක්‍රමය නිසා කිසිවෙකුටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂ්‍ය පදාර්ථ ලැබුණේ යැයි කිව නො හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පරිදි දරුවන්ට සීනි කිසිදු ප්‍රමාණයක් නො දිය යුතු අතර වැඩිහිටියන්ගේ සීනි පරිභෝජනය (රසකැවිලි පැණිබීම ආදියේ ඇතුළත් වන ප්‍රමාණද ඇතුළුව) දිනකට හැඳි 12කට හෙවත් සීනි ග්‍රෑම් 50ක උපරිමයකට සීමාවිය යුතුය.
“ආහාරයට අමතරව එක් කරන සීනි ප්‍රමාණය නිසා ඇතිවෙන දිගුකාලීන බලපෑම් සම්බන්ධව අධ්‍යනයක නිරත වීම ඉතා අභියෝගාත්මක ය” යනුවෙන් අධ්‍යයන පත්‍රිකාවේ කර්තෘවරයෙකු වන දේජා ග්‍රැක්නර් පවසයි. “මිනිසුන් ළදරුවියේ දී නිරාවරණය වෙන පෝෂණ රටාව අහඹු ලෙස විමසමින් අවුරුදු 50කට හෝ 60කට පසු ඔවුන්ට ඒ නිසා සිදුවන බලපෑම දැන ගත හැකිවන අවස්ථා ගැන තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව බෙහෙවින් විරලය. එහෙත් දෙවැනි ලෝක යුද්ධ සමයේ ක්‍රියාත්මක වූ සලාක ක්‍රමය ඒ සඳහා අවශ්‍ය වැදගත් දත්ත අපට සැපයීය” යනුවෙන් ද ඇය සඳහන් කළා ය.
පුද්ගලයෙකුගේ තීරණාත්මක වර්ධන අවධිය වන ළමා වියේ දී පමණට වඩා සීනි පරිභෝජනය කිරීමෙන් දිගුකාලීන ව ඇතිවිය හැකි ආබාධ ගැන විශේෂඥයෝ බෙහෙවින් කනස්සල්ලට පත්වී සිටිති. ළමයින්ගේ සීනි පරිභෝජනය අඩු මට්ටමකට ගෙන ඒම පහසු කරුණක් නොවන්නේ ළදරු ආහාරවල ද සැලකිය යුතු සීනි ප්‍රමාණයක් අඩංගු කරන බැවිනි. ඒ හැර රූපවාහිනී වෙළඳ දැන්වීම් වලින් සීනි පරිභෝජනය සඳහා ළමයින් පොලඹවාලීම ද සුළුපටු කාරණයක් නොවේ.
ජීවිත කාලය පුරා සිය දරුවන්ගේ නිරෝගී පැවැත්ම සහතික කිරීමට නම් ළමයින්ට ආහාර පිණිස දිය යුත්තේ සහ නොදිය යුත්තේ මොනවාද යන්න සම්බන්ධ නිවැරදි තොරතුරු දෙමව්පියන්ට ලබා දීම අනිවාර්යයෙන් ම කළ යුත්තක් බව මේ අධ්‍යයනයේ සමකර්තෘවරියක වන මැක්ගිල් විශ්ව විද්‍යාලයේ ක්ලයොර් බූන් පෙන්වා දෙයි.
මූලාශ්‍රය: Tadeja Gracner, Claire Boone, Paul J. Gertler. Exposure to sugar rationing in the first 1000 days of life protected against chronic disease. Science, 2024; DOI: 10.1126/science.adn5421





ප්‍රතිචාරයක් ලබාදෙන්න