ගෝලීය උණුසුම “සාමාන්‍යයෙන් විශ්වාස කරනවාට වඩා ආර්ථිකමය වශයෙන් අඩු හානිකර” බවට නිගමනය කරමින්, එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව (DoE) විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාවකට ප්‍රතිචාර දැක්වීමට බොහෝ විද්‍යාඥයින් කටයුතු කරමින් සිටිති. දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක එකඟතාව ප්‍රශ්න කරන කුඩා විද්වත් කණ්ඩායමක් විසින් ලියන ලද මෙම වාර්තාව, හරිතාගාර වායු මහජන සුබසාධනයට අනතුරක් බවට 2009 දී ලබා දුන් රාජ්‍ය තීන්දුවක් අවලංගු කිරීමේ අරමුණින්, දශක ගණනාවක දේශගුණික විද්‍යාව වැරදි ලෙස නිරූපණය කරන බව ඔවුහු පවසති. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමට ඉඩ ඇති නීතිමය සටනකට තම තර්ක බලපෑ හැකි බව දන්නා විද්‍යාඥයෝ, දැන් ඒ සම්බන්ධව ඒකාබද්ධ ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීමට උත්සාහ කරති.

ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥවරියක වන ජොඑලන් රසල් පවසන්නේ, “මේ කුඩා වාර්තාව මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ විද්‍යාව යටපත් කිරීමටයි, එය වැඩිදියුණු කිරීමට හෝ දිරිමත් කිරීමට නොවේ. එය භයානකයි.”

“මම වියරු වැටුණා,” යැයි එක්සත් රාජධානියේ නෝර්විච් හි නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ දේශගුණික විද්‍යාඥයෙකු වන බෙන්ජමින් සැන්ටර් පවසයි. ඔහු දශක තුනක් කැලිෆෝනියාවේ DoE ආයතනයට අයත් ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරයේ සේවය කළේය. “එය විද්‍යාවේ සහ ඉතිහාසයේ සංශෝධනයක්. අප දැඩිව ප්‍රතිචාර දැක්විය යුතුයි.”

සමහර දේශගුණික පර්යේෂකයින් දැන් DoE වාර්තාවේ ඉදිරිපත් කර ඇති විද්‍යාත්මක තර්කවලට කෙටි ප්‍රතිවිරුද්ධ තර්ක ලියමින් සිටිති. එක් උත්සාහයක් සම්බන්ධීකරණය කිරීමට උදව් කරන, ටෙක්සාස් A&M විශ්වවිද්‍යාලයේ වායුගෝලීය විද්‍යාඥ ඇන්ඩෲ ඩෙස්ලර් පවසන්නේ, “මීට ඇති විකල්පය නම් කිසිවක් නොකර සිටීමයි. මට එසේ කළ හැකි යැයි මම සිතන්නේ නැහැ.”

DoE ආයතනය වාර්තාවේ දක්වා ඇති විද්‍යාව පිළිබඳ විවේචන ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කළ නමුත්, එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, ලේඛනයේ කතුවරුන් පස්දෙනා එක්සත් ජනපද බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (හිටපු තෙල් හා ගෑස් විධායක නිලධාරියෙක්) විසින් බඳවා ගත් බවත්, ඔවුන් “විවිධ දෘෂ්ටිකෝණ සහ දේශපාලන පසුබිම් නියෝජනය කරන, සියල්ලන්ම ඉහළ පිළිගැනීමක් සහ ඉහළ සුදුසුකම් ලත් පුද්ගලයින්” බවත්ය. එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කරන්නේ, මෙම වාර්තාව ආයතනය තුළ අභ්‍යන්තරව සමාලෝචනය කරන ලද අතර, සැප්තැම්බර් 2 වන දිනෙන් අවසන් වන අදහස් දැක්වීමේ කාල සීමාව සමඟ, DoE ආයතනය දැන් එය “විද්‍යාත්මක ප්‍රජාවෙන් සහ මහජනතාවගෙන් පුළුල් සම සමාලෝචනයක්” සඳහා විවෘත කර ඇති බවයි.

කතුවරුන් — ඇලබාමා විශ්වවිද්‍යාලයේ වායුගෝලීය විද්‍යාඥ ජෝන් ක්‍රිස්ටි; ඇට්ලන්ටා හි ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ දේශගුණ විද්‍යාඥ ජුඩිත් කරී; කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හූවර් ආයතනයේ භෞතික විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ සාමාජික ස්ටීවන් කූනින්; කැනඩාවේ ඔන්ටාරියෝ හි ගල්ෆ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ රොස් මැක්කිට්‍රික්; සහ ඇලබාමා විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥ රෝයි ස්පෙන්සර් — Nature සඟරාවට ලිඛිත ප්‍රතිචාරයක් ලබා දුන්හ. ඔවුන් පවසන්නේ “දේශගුණික විද්‍යාව පිළිබඳ විනිවිදභාවයෙන් යුතු සහ කරුණු මත පදනම් වූ සංවාදයකට කැපවී සිටින” බවත්, “විද්‍යාත්මක විවේචන සහ ප්‍රතිවිරුද්ධ තර්ක එම ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බව දිගු අත්දැකීමෙන් දන්නා” බවත්ය. “නමුත් ඵලදායී විද්‍යාත්මක එකඟ නොවීම් සාමාන්‍ය කරුණු මත නොව, නිශ්චිත කරුණු මත කේන්ද්‍රගත විය යුතුය.”

විද්‍යාඥයින් තම අදහස් “මාධ්‍ය හරහා පෙරීම වෙනුවට” සෘජුවම DoE වෙත ඉදිරිපත් කළ යුතු බවත්, ඔවුන් “සියලු බරපතල විද්‍යාත්මක අදහස්වලට” ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වන බවත්, අවශ්‍ය නම් වාර්තාව සංශෝධනය කරන බවත් ඔවුහු ලියා තිබුණි.

විවාදාත්මක වාර්තාවක්

2007 දී, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, හරිතාගාර වායු වායු දූෂක ලෙස සුදුසුකම් ලබන බවට තීන්දුවක් නිකුත් කළ අතර, විමෝචනය මහජනතාවට අනතුරක් කරන්නේද — එබැවින් නියාමනය කළ යුතුද — යන්න තීරණය කරන ලෙස එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට (EPA) නියෝග කළේය. 2009 දී බලයට පත් වූ ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති බරක් ඔබාමා යටතේ, EPA ආයතනය ‘අනතුරුදායක බවට වූ නිගමනය’ (‘endangerment finding’) නිකුත් කළේය. එමගින් කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු මහජන සෞඛ්‍යයට සහ සුබසාධනයට තර්ජනයක් බව තහවුරු විය. ඉන්පසු ඔබාමා පරිපාලනය මෝටර් රථ, බලාගාර සහ තවත් බොහෝ දේවලින් විමෝචනය සීමා කිරීමට මෙම තීන්දුව පදනම් කර ගත්තේය.

දේශගුණික විපර්යාස ප්‍රෝඩාවක් ලෙස හැඳින්වූ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ, EPA ආයතනය අද ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගනිමින්, එම නිගමනය අවලංගු කිරීමට උත්සාහ කරයි. මෙම පියවර අපේක්ෂා කරමින්, ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකු වන ස්කොට් සලෙස්කා සහ විද්‍යාඥයින් කණ්ඩායමක්, 2007 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සහ EPA ආයතනයේ පසුකාලීන අනතුරුදායක බවට වූ නිගමනයේදී විද්‍යාව ඉටු කළ කාර්යභාරය පරීක්ෂා කරමින්, AGU Advances සඟරාවේ ජූනි මාසයේදී විවරණයක් ප්‍රකාශයට පත් කළේය¹. හරිතාගාර වායු “මහජන සෞඛ්‍යයට හෝ සුබසාධනයට අනතුරක් විය හැකි යැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි” බවට EPA ආයතනයට 2009 දී තීරණය කිරීමට තරම් විද්‍යාව ප්‍රබල වූ බවත්, එම සාක්ෂි “වසර 16කට පෙර පැවති තත්ත්වයට වඩා අද සැලකිය යුතු ලෙස ශක්තිමත්” බවත් කතුවරුන් ලියා තිබුණි.

සලෙස්කා පවසන්නේ, පසුගිය සතියේ නිකුත් වූ DoE වාර්තාව — අනතුරුදායක බවට වූ නිගමනය අවලංගු කිරීමට EPA ආයතනයේ තර්ක ශක්තිමත් කිරීමේ උත්සාහයක — සමහර තැන්වල දේශගුණික විද්‍යාවේ අවිනිශ්චිතතා අතිශයෝක්තියට නංවන බවත්, තවත් තැන්වල, “දේශගුණික විපර්යාසයේ සමස්ත චිත්‍රය තුළ සැබවින්ම එතරම් වැදගත් නොවන” නියම විද්‍යාත්මක විවාදවලට ඕනෑවට වඩා බරක් දෙන බවත්ය. උදාහරණයක් ලෙස, ශාක ප්‍රභාසංශ්ලේෂණයේදී අවශෝෂණය කර භාවිතා කරන කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාමෙන්, හිතකර ‘පෝෂණ’ බලපෑමක් ඇති කළ හැකි බව වාර්තාව අවධාරණය කරයි. එම බලපෑම තේරුම් ගැනීම සහ නිවැරදිව ගණනය කිරීම වැදගත් බව සලෙස්කා පැවසුවද, දේශගුණයේ පුළුල් වෙනස්කම් හමුවේ එය කුඩා දෙයක් බව ඔහු පවසයි.

මුහුදු මට්ටම ඉහළ යාම, සාගර ආම්ලීකරණය සහ අන්ත කාලගුණික තත්ත්ව වැනි විෂයයන් ආමන්ත්‍රණය කිරීමේදී, වාර්තාව සම්පූර්ණ සාක්ෂි සමුදායන් නොසලකා හරින බව සමහර පර්යේෂකයෝ පවසති. වෙනත් තැන්වලදී, වාර්තාව නවතම විද්‍යාත්මක සාහිත්‍යය උපුටා දක්වන නමුත්, එය වැරදි ලෙස අර්ථකථනය කරන බව ඔවුහු තර්ක කරති. උදාහරණයක් ලෙස, හරිතාගාර වායු සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධය තහවුරු කිරීමට භාවිතා කළ හැකි, වායුගෝලීය ‘ඇඟිලි සලකුණු’ ලේඛනගත කළ ඔහුගේ 2023 අධ්‍යයනයක්² මෙම වාර්තාව වැරදි ලෙස නිරූපණය කරන බව සැන්ටර් පවසයි. “DoE වාර්තාව අපගේ පත්‍රිකාව උපුටා දක්වමින් පවසන්නේ අපට ඇඟිලි සලකුණක් හමු නොවූ බවයි, නමුත් සත්‍ය වශයෙන්ම අපට එය හමු විය,” යැයි ඔහු පවසයි.

නීතිමය දැක්ම

නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස නීතිය පිළිබඳ සැබින් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මයිකල් ජෙරාඩ් පවසන්නේ, අනතුරුදායක බවට වූ නිගමනය පිළිබඳ ඉදිරියේදී පැවැත්වෙන සටන විද්‍යාත්මක සාක්ෂි මත පමණක් තීරණය නොවන බවයි. මෙම නිගමනය අවලංගු කිරීමට එරෙහිව අභියෝග කර එය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන්, EPA ආයතනය ඊට එරෙහිව බහුවිධ නීතිමය තර්ක ගොඩනඟමින් සිටින බව ඔහු පවසයි.

උදාහරණයක් ලෙස, EPA ආයතනය තර්ක කරන්නේ, පිරිසිදු වායු පනත ආවරණය කරන්නේ “දේශීය හෝ කලාපීය නිරාවරණය” හරහා සෞඛ්‍යයට අනතුරක් කරන වායු දූෂක පමණක් බවයි. ඊට වෙනස්ව, හරිතාගාර වායු ගෝලීය මට්ටමින් ක්‍රියා කරන අතර, එම නිසා නීතියේ නියාමන බලයට යටත් නොවන බව එම ඒජන්සිය තර්ක කරයි. “සාමාන්‍ය කාරණයක් ලෙස, අදාළ හැසිරීම සමඟ ප්‍රමාණවත් තරම් සමීප සම්බන්ධයක් තවදුරටත් නොමැති, හේතුඵල සම්බන්ධයක් සාධාරණ ලෙස ඇඳිය නොහැකි මට්ටමකට හානිය පැමිණෙන අවස්ථාවක් තිබේ,” යැයි අනතුරුදායක බවට වූ නිගමනය අවලංගු කිරීමට EPA ආයතනයේ යෝජනාවේ සඳහන් වේ.

කොන්සර්වේටිව් විනිසුරුවන් හය දෙනෙකුගෙන් සහ ලිබරල් විනිසුරුවන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ කුමක් කරනු ඇත්දැයි අනාවැකි කීම ජෙරාඩ් ප්‍රතික්ෂේප කළ නමුත්, විද්‍යාත්මක වාර්තාව පැහැදිලි කිරීමට උත්සාහ කිරීමෙන් පර්යේෂකයන් තම කාර්යභාරය ඉටු කරන බව පවසයි. “උසාවි, කුමන විශේෂඥයින් හරිද වැරදිද යන්න තීරණය කිරීමට කැමති නැහැ. ඒ වෙනුවට, යම් ආයතනික තීරණයකට සහාය දීමට වාර්තාවේ ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට නැඹුරු වෙනවා,” ඔහු කියයි.

ඒ අනුව, DoE ආයතනයේ වාර්තාව, 2023 දී නිම කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ නවතම තක්සේරුව ඇතුළුව, දශක ගණනාවක් පුරා ලොව පුරා පර්යේෂකයන් විසින් සම්පාදනය කරන ලද විශාල විද්‍යාත්මක වාර්තාවක් සමඟ තරඟ කරනු ඇත. එසේ වුවද, ඉදිරියට යාමේදී කිසිදු සහතිකයක් නොමැති බව ජෙරාඩ් පවසයි. “විද්‍යාඥයින් කරමින් සිටින දෙය ප්‍රයෝජනවත් සහ වටිනා දෙයක්,” ඔහු පවසයි, “නමුත් එය තීරණාත්මක නැහැ.”

නේචර් වෙබ් අඩවිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending