එක්සත් ජාතීන්ගේ ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වූ නවතම සාකච්ඡා වටය කිසිදු එකඟතාවයකින් තොරව ගිය සති අග අවසන් විය. වසර තුනකට වැඩි කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව ද, ගැඹුරු මතභේද තවමත් පවතී. සාකච්ඡා ආරම්භ කිරීමට පෙර පැවති තත්ත්වයට වඩා එකඟතාවයකට පැමිණ ඇත්තේ ඉතා සුළු වශයෙනි. බොහෝ රටවල්, ක්‍රියාකාරීන් සහ නිරීක්ෂණ සංවිධාන සඳහා මෙම ප්‍රතිඵලය දැඩි බලාපොරොත්තු සුන් කරවන්නක් වී ඇත.
ජිනීවා නුවරදී රාත්‍රිය පුරා පැවති අවසන් තීව්ර රැස්වීම්වලින් පසුව, ගිවිසුම් සාකච්ඡා පාලනය කරන අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ සභාපතිවරයා, ගිවිසුම් කෙටුම්පත පිළිබඳ එකඟතාවයකින් තොරව අගෝස්තු 15 වන දින සැසිවාරය නිල වශයෙන් අවසන් කළේය. මෙය අවසානය නොවේ. මෙම ක්‍රියාවලිය බිඳ වැටී නැත.
කෙසේ වෙතත්, මීළඟ සාකච්ඡා වටය සඳහා තහවුරු කරන ලද දිනයක් හෝ ස්ථානයක් නොමැති අතර, විධිමත් අන්තර්-සැසිවාර ක්‍රියාකාරකම් සඳහා කිසිදු බලයක් ලබා දී නොමැත. බොහෝ නියෝජිතයින් නැවුම් ප්රවේශයකට ඉඩ සැලසීම සඳහා, ක්‍රියාවලිය ගැන නැවත සිතා බැලීමේ කාල පරිච්ඡේදයක් සහ එය යළි සැකසීමක් (reset) පවා ඉල්ලා සිටියහ.
මින් පෙර පැවති සාකච්ඡා වටවලදී මෙන්ම, මෙවර ද ප්‍රගතිය මන්දගාමී විය. සාකච්ඡාවලට බාධා එල්ල වූයේ ක්‍රියා පටිපාටිමය අපැහැදිලිතාව, ඉහළ ඉලක්ක සහිත ගිවිසුමකට විරුද්ධ වන ෆොසිල ඉන්ධන සහ පෙට්රෝ රසායනික රටවල හිතාමතා ප්‍රමාද කිරීමේ උපක්‍රම, සහ සාකච්ඡාවට බඳුන් වූ කරුණුවල ඇති දැඩි සංකීර්ණත්වය හේතුවෙනි. සම්මුතියකට පැමිණීමට පෙර කාලය අවසන් විය.
සාකච්ඡා අවසන් වෙද්දී, මෙම පවතින අර්බුදයට හේතු වූ මූලික කරුණු තුනක් University of Portsmouth හි මහාචාර්ය ස්ටීව් ෆ්ලචෙර් සහ ආචාර්ය අන්ටායා අවධාරණය කරයි.
1. සභාපතිවරයාගේ උත්සාහයන් ප්‍රමාණවත් නොවීම
තානාපති ලුයිස් වායස් වල්ඩිවියෙසෝ පෙර සැසිවාරවලට වඩා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරමින්, සාකච්ඡාවල වේගය වැඩි කිරීමට සහ විවාදය කේන්ද්‍රගත කිරීම සඳහා ගිවිසුම් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළේය. පළමු කෙටුම්පතෙහි, ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීම, ප්ලාස්ටික් නිෂ්පාදන නියාමනය සඳහා ගෝලීය නීති, හානිකර රසායනික ද්‍රව්‍ය පාලනය සහ ශක්තිමත් මූල්‍ය විධිවිධාන වැනි ප්‍රධාන ප්‍රතිපාදන අතහැර දමා තිබිණි.
ශක්තිමත් ක්‍රියාමාර්ග සහ ප්‍රතිඵල අපේක්ෂා කරන ඉහළ අභිලාෂයන් සහිත බොහෝ රටවල්, පළමු කෙටුම්පත අසමතුලිත, අභිලාෂකාමී නොවන සහ වැඩිදුර සාකච්ඡා සඳහා නුසුදුසු යැයි පවසමින් එය ප්‍රතික්ෂේප කළහ. දැඩි සාකච්ඡාවලින් පසු අවසන් රාත්‍රියේ පාන්දර 1ට පමණ නිකුත් කරන ලද දෙවන කෙටුම්පතෙහි යම් යම් වැඩිදියුණු කිරීම් ඇතුළත් වුවද, අවශ්‍ය මූලිකාංග තවමත් එහි අඩංගු නොවීය. බොහෝ ජාතීන් නැවතත් එය දුටුවේ, අඩු අභිලාෂයන් සහිත රටවල සහ ඛණිජ ඉන්ධන අපනයනය කරන රාජ්‍යයන්ගේ ඉල්ලීම්වලට පක්ෂග්රාහී වූ, ඒකපාර්ශ්වික ලියවිල්ලක් ලෙසය.
2. දැඩි ස්ථාවරයන් වෙනස් නොවීම
සාකච්ඡා පුරාවටම, අඩු අභිලාෂයන් සහිත රාජ්‍යයන් තම ස්ථාවරයන්ගෙන් එතරම් වෙනස් නොවීය. ඔවුන් තම ‘රතු ඉරි’ සීමා ( කිසිසේත් එකඟ විය නොහැකි සීමාවන්) සම්බන්ධයෙන් සම්මුතියකට ඒම ප්‍රතික්ෂේප කළ අතර, අන් අය තම ස්ථාවරයන් අත්හරිනු ඇතැයි අපේක්ෂා කළහ.
මීට වසර තුනකට පෙර ගිවිසුම ඇතිකරගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ වරමෙහි ගිවිසුමේ අරමුණ සහ විෂය පථය ගෙනහැර දක්වා තිබුණ ද, ඒ පිළිබඳව නැවත නැවතත් හුරුපුරුදු තර්ක ඉදිරිපත් විය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ, එකඟ නොවන කරුණු සඳහා වැඩි කාලයක් යොමු කරමින්, විරුද්ධ තර්ක දැඩි ලෙස පරීක්ෂා කරමින් සහ සම්මුතියට පැමිණිය හැකි ක්ෂේත්‍ර ක්‍රියාකාරීව සොයන වෙනස් ප්‍රවේශයක් අවශ්‍ය බවයි.
3. ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති මැළිකම
අවසන් පූර්ණ සැසිවාරයේදී, විශේෂයෙන්ම ප්ලාස්ටික් සම්බන්ධයෙන් ආර්ථික උනන්දුවක් දක්වන බොහෝ නියෝජිතයින් අවධාරණය කළේ සම්මුතිය අත්‍යවශ්‍ය බවයි. එහෙත් පසුගිය වසර තුන තුළ, සමහර නියෝජිත කණ්ඩායම්, සම්මුතියකට පැමිණිය නොහැකි වූ විට යෙදිය යුතු එක්සත් ජාතීන්ගේ සාකච්ඡා රීතියක් වන ඡන්ද විමසීමකට යොමු වී අර්බුද නිරාකරණය කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
ඡන්ද විමසීමක්, බහුපාර්ශ්විකත්වයට බරපතල ඇඟවුම් සහිත, දේශපාලනිකව පුපුරන සුළු ක්‍රියාවක් ලෙස සැලකේ. මේ දක්වා, සභාපතිවරයා ඡන්ද විමසීමක් කැඳවීමට විරුද්ධ වී ඇති අතර, ඉහළ අභිලාෂයන් සහිත රටවල් ද, හදිසිභාවය සහ අභිලාෂය පිළිබඳව නැවත නැවතත් ප්‍රකාශ කළ ද, ඒ සඳහා බලපෑම් කර නැත. දුර්වල යැයි සැලකූ ගිවිසුම් කෙටුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අමතරව, ශක්තිමත් ප්‍රතිඵලයක් සඳහා තල්ලු කිරීමට ඔවුන්ට ඇති මෙවලම් බොහෝ දෙනෙක් භාවිතා නොකළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, අර්බුදකාරී තත්ත්වයන් දිගටම පැවතුණි.
ඉදිරි මාවත
අන්තර්-සැසිවාර කාලය – එනම්, දැන් සිට මීළඟ විධිමත් රැස්වීම දක්වා ඇති කාලය – ඉතා වැදගත් වේ. ක්‍රියාවලියේ මීළඟ අදියර සඳහා ස්ථිර දිනයක් නොමැතිව, මෙය නැවත සකස් වී තීරණාත්මක ප්‍රගතියක් සඳහා සූදානම් වීමට ඇති කාලයයි. එක් ප්‍රධාන අවධානයක් විය යුත්තේ දේශපාලන බෙදීම් සමනය කිරීමයි. ඉහළ අභිලාෂයන් සහිත රටවල් පුළුල් සන්ධාන ගොඩනගා ගත යුතු අතර, ඔවුන්ගේ දැක්මට සම්පූර්ණයෙන්ම සහාය නොදක්වන නමුත් ශක්තිමත් ක්‍රියාමාර්ග සඳහා විවෘත පාර්ශ්ව සමඟ පොදු පදනමක් සොයා ගත යුතුය.
පසුව කාලය ඉතිරි කර ගැනීම සඳහා, මූල්‍ය යාන්ත්‍රණ, අධීක්ෂණ සහ වාර්තාකරණ පද්ධති, සහ අනුකූලතාව සඳහා නීතිමය ආකෘති වැනි ප්‍රධාන තොරතුරු විධිමත් සාකච්ඡාවලින් බැහැරව දැන් සංවර්ධනය කළ යුතුය. එමෙන්ම, යුරෝපා සංගමය, පැනමාව, කොලොම්බියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ කුඩා දූපත් රාජ්‍යයන් වැනි ඉහළ අභිලාෂයන් සහිත ජාතීන්, දේශපාලනිකව අපහසු වුවද, අවශ්‍ය වූ විට ඡන්ද විමසීම වැනි ක්‍රියා පටිපාටිමය මෙවලම් භාවිතා කිරීමට කැමැත්තෙන් සිටිමින්, වඩාත් සමීපව සම්බන්ධීකරණය කළ යුතුය.
2022 දී එක්සත් ජාතීන් විසින් නියම කරන ලද, ප්ලාස්ටික් දූෂණය එහි සම්පූර්ණ ජීවන චක්‍රය පුරාම අවසන් කිරීමේ ඉලක්කය තවමත් සපුරාගත හැකිය. නමුත් ඒ සඳහා රජයන් ඉදිරි මාස කිහිපය නැවත සංවිධානය වීමට, අවංක දේශපාලන සාකච්ඡා පැවැත්වීමට සහ මීළඟට හමුවන විට වඩාත් තීරණාත්මක ප්රවේශයකට කැපවීමට භාවිතා කිරීම අවශ්‍ය වනු ඇත.
ක්‍රියා පටිපාටිමය අර්බුදයකට තවත් සාකච්ඡා වටයක් අහිමි කර ගැනීමට ලෝකයට හැකියාවක් නැත. ප්ලාස්ටික් අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. විද්‍යාව පැහැදිලිය. විසඳුම් හොඳින් දනී. මෙහිදී නොමැතිව ඇත්තේ දැනුම නොව, වචන, බැඳී සිටින ක්‍රියාමාර්ග බවට පත්කිරීමේ අධිෂ්ඨානයයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න