2025 වසරේ යුරෝපීය ගිම්හානය දැනටමත් වාර්තාගත එකක් වීමේ ලකුණු පෙන්නුම් කර තිබේ. දරුණු උෂ්ණ තරංග (heat wave) තුනක් යුරෝපය පුරා පැතිර ගොස්, උෂ්ණත්වය හා සම්බන්ධ මරණ සිය ගණනක් ඇති කර, ලැව්ගිනි උත්සන්න කරමින් සහ බලශක්ති පද්ධති ඒවායේ උපරිම සීමාවට තල්ලු කර තිබේ — තවත් උෂ්ණ තරංග ඉදිරියට පැමිණීමට නියමිතය.

ජූනි මස මැද භාගයේ සිට ජූලි මස මුල දක්වා, බටහිර යුරෝපය දශක ගණනාවකින් මෙම කාල පරිච්ඡේදය සඳහා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය අත්විඳින ලද අතර, එය වාර්තාගත ඉහළම උෂ්ණත්වයක් සහිත ජූනි මාසය විය (‘උණුසුම්ම ජූනි මාසය’ සටහන බලන්න). ‘තාප ගෝලාකාර’ (heat domes) — එනම්, යම් ප්‍රදේශයක් පුරා වායුගෝලයේ උණුසුම් වාතය සිරකරන අධි පීඩන තත්වයක් නිසා, එම ප්‍රදේශය දිගු කලක් උණුසුම්ව පැවතීමට හේතු වීම හේතුවෙන් ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා, ඇතැම් විට 46 දක්වා ඉහළ ගියේය.

පර්යේෂණවලින් පෙනී යන්නේ මෙම කලාපයේ උෂ්ණ තරංග වඩාත් සුලබ වෙමින් පවතින බවයි. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ ග්‍රැන්තම් ආයතනය (Grantham Institute) විසින් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ලන්ඩන් නුවරට සෑම වසර 60කට වරක් වෙනුවට, දැන් සෑම වසර 6කට වරක් මෙවැනි සිදුවීම් බලාපොරොත්තු විය හැකිය. “ජනතාව මත මෙහි වඩාත් බරපතළ ප්‍රතිවිපාක අපට දැකගත හැකි වනු ඇත,” යැයි ඔස්ට්‍රියාවේ ලැක්සන්බර්ග් හි පිහිටි ව්‍යවහාරික පද්ධති විශ්ලේෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ (International Institute for Applied Systems Analysis) දේශගුණික අවදානම් පිළිබඳ අධ්‍යයනය කරන සමාජ විද්‍යාඥයෙකු වන රෝමන් හොෆ්මන් (Roman Hoffmann) පවසයි. “සෞඛ්‍යය, යහපැවැත්ම, ජීවනෝපායන් සහ පුළුල් ලෙස මානව ආරක්ෂාවට බලපාන තවත් බොහෝ පීඩනයන් ඇතිවනු ඇත.”

මාරාන්තික තත්ත්වයන්

ග්‍රැන්තම් ආයතනයේ වාර්තාවට අනුව යුරෝපීය ප්‍රධාන නගර 12ක් පුරා, මේ වසරේ ඇස්තමේන්තුගත උෂ්ණත්වය හා සම්බන්ධ මරණ 2,300න් 1,500ක් පමණ — එනම් 65%ක් — පොසිල ඉන්ධන විමෝචනයෙන් ඇති වූ අමතර තාපය නිසා සිදු වූ ඒවා වේ. පර්යේෂකයන් 2025 ජූනි අග භාගයේ පැවති උෂ්ණ තරංගය අතරතුර සැබෑ උෂ්ණත්වය, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස නොමැතිව පැවතිය හැකිව තිබූ උෂ්ණත්වය පිළිබඳ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කර ඇත. ඉන්පසු, එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ උෂ්ණත්වය හා සම්බන්ධ මරණ ගණනය කිරීම සඳහා සෞඛ්‍ය ආකෘති භාවිතා කරන ලදී. මෙම අධික උෂ්ණත්වය විශේෂයෙන්ම වැඩිහිටියන්ට මාරාන්තික වූ අතර, මියගිය අයගෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය වූහ.

2015 සහ 2022¹ අතර ඔස්ට්‍රියාවේ උණුසුම් කාලගුණයේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව සොයා බැලූ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ, වැඩිහිටි ජනගහනයක් සහිත දිස්ත්‍රික්කවල, තරුණ ජනගහනයක් සහිත ප්‍රදේශවලට වඩා ඉතා උණුසුම් දිනවලදී 50% කින් පමණ වැඩි මරණ සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවයි. හෘද රෝග වැනි පෙර පැවති රෝග තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් වාර්තා වන නිසා, උෂ්ණත්වය හා සම්බන්ධ මරණ බොහෝ විට නිවැරදිව ගණනය නොවන බවත්, එම නිසා සැබෑ මරණ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකි බවත්, එම අධ්‍යයනයට නායකත්වය දුන් වියානා ආර්ථික හා ව්‍යාපාර විශ්වවිද්‍යාලයේ දත්ත විශ්ලේෂක හැනා ෂුස්ටර් (Hannah Schuster) පවසයි. 2050 වන විට ඔස්ට්‍රියාවේ බොහෝ ප්‍රදේශවල උණුසුම් දින ගණන දෙගුණයක් වනු ඇති අතර වැඩිහිටි ජනගහනයද බෙහෙවින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිනිසුන්ව උෂ්ණත්වයෙන් ආරක්ෂා කිරීමට පියවර නොගතහොත්, උෂ්ණත්වය හා සම්බන්ධ මරණ ඉහළ යාමට ඉඩ ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

සෞම්‍ය දේශගුණයක් ඇති රටවල් ශීත කාලගුණය කළමනාකරණය කිරීම සඳහා දීර්ඝ කාලයක සිට පද්ධති සකස් කර තිබුණද, අධික උෂ්ණත්වයේ වර්ධනය වන අභියෝගයට ඔවුන් සූදානම්ව ඇත්තේ ඉතා අඩුවෙන් බව ෂුස්ටර් පවසයි. මෙම සූදානම නොමැතිකම නිසා වසරේ පළමු උෂ්ණ තරංගය විශේෂයෙන්ම භයානක වන බව වියානා හි සංකීර්ණ විද්‍යා මධ්‍යස්ථානයේ (Complexity Science Hub) වෛද්‍ය දත්ත විද්‍යාඥ පීටර් ක්ලිමෙක් (Peter Klimek) පවසයි. ඔස්ට්‍රියාවේ රෝහල් සහ ගිලන්රථ දත්ත පිළිබඳව ඔහු විසින් වසර දහයක් පුරා සිදු කරන ලද, තවමත් ප්‍රකාශයට පත් නොකළ, විශ්ලේෂණයකදී, උෂ්ණ තරංග අතරතුර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය සහ මානසික සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධ රෝග විනිශ්චයන් 30% කින් ඉහළ ගොස් ඇති බව ඔහු සොයාගෙන ඇත.

විශේෂයෙන්ම රෝහල් සහ සාත්තු නිවාසවල වඩා හොඳ උෂ්ණ තරංග අනතුරු ඇඟවීමේ පද්ධති ඇති කරන ලෙසත්, නගරවල සිසිලස ලබා දෙන හරිත අවකාශයන් වැඩි කිරීම සහ ගොඩනැගිලිවල තාපය වඩා හොඳින් බැහැර වන ලෙස වෙනස් කිරීම වැනි දිගුකාලීන වෙනස්කම් සිදු කරන ලෙසත් ක්ලිමෙක් ඉල්ලා සිටී.

දහස් ගණනක් අවතැන් වෙති

අධික උෂ්ණත්වය නිසා පමණක් තම නිවෙස් අතහැර යාමට බලකෙරෙන පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිතව සොයා ගැනීම අපහසු වුවද, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන අභ්‍යන්තර අවතැන්වීම් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (IDMC) දත්ත පෙන්වා දෙන්නේ, මේ වසරේ යුරෝපයේ ඇති වූ උෂ්ණ තරංග අතරතුර සිදු වූ ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් තාවකාලිකව ඉවත් කර හෝ අවතැන් වී ඇති බවයි.

“ලැව්ගිනි සම්බන්ධයෙන් ගත් විට මේ වසර දැනටමත් වාර්තාගත එකක්,” යැයි IDMC හි ගෝලීය නිරීක්ෂණ කළමනාකාරිනී ඉවානා හජ්මානෝවා (Ivana Hajžmanová) පවසයි. සියලුම ලැව්ගිනි දේශගුණික විපර්යාස නිසා සෘජුවම ඇති නොවුනත්, වඩ වඩාත් උණුසුම් සහ වියළි තත්ත්වයන් ගින්න වේගයෙන් පැතිරීමට සහ දිගු කාලයක් පැවතීමට උපකාරී වේ. ජූනි සහ ජූලි මාසවලදී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිර ගිය අතර, සාඩීනියාවේ රෝහලකට සහ ගුවන්තොටුපළකට බාධා ඇති විය. තුර්කියේ ඉස්මීර් (Izmir) හි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් 50,000ක් දෙනා ඉවත් කිරීමට සිදු වූ අතර, එය එරට මෙතෙක් සිදු වූ විශාලතම ලැව්ගිනි ආශ්‍රිත අවතැන් වීමේ සිදුවීමයි. ඒ හා සමානව, ඇතැන්ස් අසල කලාපයේ ජූනි මස මුලදී 14,000ක් අවතැන් වූ බව IDMC සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

IDMC දත්ත වලට අනුව, 2024 දී ගංවතුර, ලැව්ගිනි සහ නියඟ වැනි කාලගුණය හා සම්බන්ධ ආපදා හේතුවෙන් මිලියන 45ක් පමණ අභ්‍යන්තර අවතැන්වීම් — එනම්, මිනිසුන් තම රටවල් තුළම තම නිවෙස් අතහැර යාම — සිදු වී ඇත. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ‘Institute for Economics & Peace’ නම් වූ පර්යේෂණ ආයතනය පුරෝකථනය කරන්නේ 2050 වන විට බිලියන 3.4ක ජනතාවක් දරුණු පාරිසරික තර්ජනවලට මුහුණ දෙන රටවල ජීවත් වනු ඇති බවයි (2022 දී එය බිලියන 2ක් විය). උණුසුම් ස්ථානවල සිට සිසිල් ස්ථාන කරා වඩාත් ස්ථිර පදනමක් මත නැවත පදිංචි වීමේ හැකියාව බොහෝ විට වැඩි සම්පත්, අධ්‍යාපනය සහ අවස්ථා ඇති අයට සීමා වන බව හොෆ්මන් පවසයි.

රටවල් 72ක දත්ත භාවිතා කරමින්, හොෆ්මන් සහ ඔහුගේ සගයන් සොයාගෙන ඇත්තේ නියඟය සහ වියළි තත්ත්වයන් නිසා — විශේෂයෙන්ම ග්‍රාමීය ගොවි ප්‍රදේශවල — වැඩි පිරිසක් තම රටවල් තුළම දිගුකාලීනව සංක්‍රමණය වීමට පෙළඹෙන බවයි². දුප්පත් ප්‍රදේශවලින් ප්‍රධාන වශයෙන් රැකියා කළ හැකි වයසේ පසුවන පුද්ගලයින් පිටව යන අතර, ධනවත් රටවල වැඩිහිටියන්, බොහෝ විට විශ්‍රාම ගැනීම සඳහා, මෙසේ සංක්‍රමණය වීමට වැඩි ඉඩක් ඇත.

ඵලදායිතාව අඩුවීම

ජර්මනියේ මියුනිච් හි පිහිටි ගෝලීය මූල්‍ය සේවා සමාගමක් වන Allianz හි ඇස්තමේන්තු නර ඇති පරිදි මෑත කාලීන උෂ්ණ තරංග යුරෝපයේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන්නට ඇති බවත්, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ග්‍රීසිය වැනි රටවල් අවම වශයෙන් 1%ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) අලාභයකට මුහුණ දෙන බවත්ය. මෙම අපේක්ෂිත පාඩුව, ශ්‍රම ඵලදායිතාව අඩුවීම, සේවා කාලය කෙටි වීම සහ කෘෂිකර්මාන්තය, ලොජිස්ටික්ස් සහ අනෙකුත් ප්‍රධාන අංශවල මන්දගාමී වීම් නියතය. Allianz ඇස්තමේන්තුවට අනුව, අධික උෂ්ණත්වයක් සහිත (සෙල්සියස් අංශක 32ට වැඩි ලෙස අර්ථ දක්වා ඇති) එක් දිනක් පමණක්, දින භාගයක වැඩවර්ජනයකින් සිදුවන තරම් ආර්ථිකයට හානි කළ හැකිය.

එක්සත් රාජධානියේ සේවකයින් 2,000කට අධික සංඛ්‍යාවක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින්, අධික උෂ්ණත්වය ඵලදායිතාවයට ඇති කරන අහිතකර බලපෑම මනාව පැහැදිලි වේ. 2024 ගිම්හානයේ විශේෂයෙන් උණුසුම් කාල පරිච්ඡේදයකින් පසුව, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1ක වැඩිවීමක් පවා, සේවකයින් තම සේවා කාලය අඩු කිරීමට හෝ අඩුවෙන් වැඩ කිරීමට 10% කින් පමණ වැඩි නැඹුරුවක් දක්වන බව පර්යේෂකයෝ සොයා ගත්හ.

“උෂ්ණත්ව විෂමතාව වැඩි වූ තැන්වලදී, සේවකයින් උෂ්ණත්වයේ අහිතකර බලපෑම් අත්විඳින බව වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බවට අප ඉතා විශ්වසනීය දත්ත ලබාගෙන ඇතැයි මම සිතනවා,” යැයි මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ලන්ඩන් ආර්ථික හා දේශපාලන විද්‍යා පාසලේ (London School of Economics and Political Science) පාරිසරික ආර්ථික විද්‍යාඥවරියක වන එළිසබෙත් රොබින්සන් (Elizabeth Robinson) පවසයි. “මෙහි පැහැදිලි ප්‍රතිපත්තිමය ඇඟවුම් තිබෙනවා. ඉන් එකක් නම් අපට වඩාත් ශක්තිමත් සේවක ආරක්ෂණයක් අවශ්‍ය වීමයි.”

ඉහළ බලශක්ති ඉල්ලුම

මෙම වසරේ උෂ්ණ තරංග යුරෝපයේ බලශක්ති පද්ධති ද ඒවායේ උපරිම සීමාවට තල්ලු කර තිබේ. වායු සමීකරණ යන්ත්‍ර අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් සමඟ, විදුලි ඉල්ලුම 14%කින් පමණ ඉහළ ගිය බව ලන්ඩන් පදනම් කරගත් බලශක්ති පර්යේෂණ ආයතනයක් වන Ember හි දත්ත පෙන්වා දෙයි. කේබල් සහ සිසිලන පද්ධති මත උෂ්ණත්වය නිසා ඇති වූ පීඩනය හේතුවෙන් සමහර බලාගාරවල බිඳවැටීම් සිදු වීමත් සමඟ, විදුලිබල ජාලයන්ට එය දරාගැනීමට අපහසු විය. තවද, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක විදුලි මිල ඒවායේ සාමාන්‍ය මට්ටම් මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් දක්වා ඉහළ ගියේය (‘බලශක්ති මිල ඉහළ යාම’ සටහන බලන්න).

ඉල්ලුම ඉහළ යද්දී, සූර්ය බලශක්තිය “තත්ත්වය ගලවා ගත්” බව Ember හි ජ්‍යෙෂ්ඨ බලශක්ති විශ්ලේෂිකා එළිසබෙත් ක්‍රෙමෝනා (Elisabeth Cremona) පවසයි. විශේෂයෙන්ම අමතර බලශක්තිය සැපයීමේ ක්‍රම සඳහා දැනටමත් ආයෝජනය කර තිබූ රටවල (උදාහරණයක් ලෙස, ජලාශවල ගබඩා කර ඇති ජලයෙන් ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාර භාවිතය) මෙය කැපී පෙනුණි. කෙසේ වෙතත්, ඉල්ලුමේ හදිසි ඉහළ යාම්වලට ඉක්මනින් අනුවර්තනය විය හැකි නම්‍යශීලී බලශක්ති ගබඩා පද්ධති සඳහා වැඩි ආයෝජනයක අවශ්‍යතාව මෙම අත්දැකීමෙන් මනාව පැහැදිලි විය. “ගබඩා කිරීම සහ නම්‍යශීලී බව එකට යන දෙයක්,” යැයි ක්‍රෙමෝනා පවසයි. “අනාගතයේදී අපට මීට වඩා ඉහළ උෂ්ණත්වයක් දැකගන්නට ලැබෙන බවට කිසිදු සැකයක් නැහැ, එබැයිවින් අප සූදානම්ව සිටිය යුතුයි.”

නේචර් වෙබ් අඩවියෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending