දෙමව්පියන් විදිහට, අපිට තියෙන ලොකුම සතුටක් තමයි අපේ පොඩි දරුවෝ ලෝකය ගැන ඉගෙනගන්නවා බලන් ඉන්න එක. එයාලා හරිම කුතුහලයෙන් පිරිලා. පොඩි දෙයක් දැක්කත් ඒක ගැන හොයන්න, ප්‍රශ්න අහන්න එයාලා පෙළඹෙනවා. “අතේ තියෙන්නේ මොකක්ද? බෝලයක්ද? මේ කන්දෙන් පහළට ඒක පෙරළෙයිද බලමුද?” ඔබ ඔබේ පොඩි දරුවාගෙන් එහෙම අහන්න පුළුවන්. ඊටපස්සේ, ඒක ඇත්තටම වෙනවා දකිද්දී එයාලගේ මූණේ මැවෙන සතුට බලන්න ඔබත් ආසයි.
ඇත්තටම මේක තමයි විද්‍යාව කියන්නේ. යමක් නිරීක්ෂණය කිරීම, අදහසක් පරීක්ෂා කිරීම, මොකද වෙන්නේ කියලා බැලීම, සහ ඊළඟ ප්‍රශ්නය ඇසීම. උපතින්ම හැම දරුවෙක්ම විද්‍යාඥයෙක්.
ඒත්, කාලයත් එක්ක ගොඩක් දරුවන්ගේ මේ කුතුහලය, දේවල් ගැන හොයන්න තියෙන ආසාව අඩු වෙලා යනවා. “ඇයි එහෙම වෙන්නේ?” කියලා හොයන්න තියෙන උනන්දුව නැතිවෙලා යනවා. ඇයි මේ වෙනස සිද්ධ වෙන්නේ?
මේකට හේතු ගොඩක් තිබුණත්, පර්යේෂණ වලින් පුදුම හිතෙන කාරණයක් හොයාගෙන තියෙනවා: දරුවන්ගේ මේ උනන්දුව නැතිවෙන්න, අපි නොදැනුවත්වම පාවිච්චි කරන වචන බලපාන්න පුළුවන්. මේ වචන දෙමව්පියන්ගෙන් විතරක් නෙවෙයි, පාසලේ ගුරුවරුන්ගෙන්, රූපවාහිනී වැඩසටහන් වලින් පවා දරුවාට ඇහෙන්න පුළුවන්.
හැබැයි, හොඳ ආරංචිය තමයි, ඒ වචන ටිකක් වෙනස් කරලා, දරුවාගේ කුතුහලය දිගටම පවත්වාගෙන යන්න අපිට පුළුවන්.
පොඩි දරුවන් සඳහා: ක්‍රියාවට මුල්තැන දෙන්න, අනන්‍යතාවයට නෙවෙයි
ගොඩක් වෙලාවට අපි දරුවන්ව උනන්දු කරවන්න මෙහෙම කියනවා, “අපි අද විද්‍යාඥයෝ වෙමු!” නැත්නම් එයාලව අගය කරන්න, “ඔයා නම් හරිම දක්ෂ විද්‍යාඥයෙක්!”
අපේ අරමුණ හොඳ වුණාට, මේ වගේ වචන වලින් වෙන්නේ විද්‍යාව කියන්නේ යම්කිසි “අනන්‍යතාවයක්” (identity) කියන අදහස දරුවාගේ හිතේ ඇතිවෙන එකයි. “විද්‍යාඥයා” කියන්නේ යම්කිසි විශේෂ පුද්ගල කොට්ඨාශයක් කියලා එයාලා හිතන්න පටන් ගන්නවා.
මේක ගැටලුවක් වෙන්නේ මෙහෙමයි:
දරුවෙක් “විද්‍යාඥයා” ගැන හිතනකොට, එයාලගේ හිතේ මැවෙන්නේ අපි පොත්වල, චිත්‍රපටවල දකින සුදු ජාතික, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින්, ඒ “අනන්‍යතාවය” තමන්ට අයිති නැහැ කියලා හිතෙන දරුවෙක් (විශේෂයෙන්ම ගැහැනු දරුවෙක්), “විද්‍යාඥයන්ට” කියලා හඳුන්වන ක්‍රියාකාරකම් වලින් ඈත් වෙන්න පුළුවන්.
එක අධ්‍යයනයකින් පෙන්නුවා, අවුරුදු හතරක් වගේ පොඩි ගැහැනු දරුවන්, “අපි විද්‍යාඥයෝ වෙමු” (Let’s be scientists) කියලා කියනවාට වඩා, “අපි විද්‍යාව කරමු” (Let’s do science) කියලා කිව්වම, ඒ ක්‍රියාකාරකමේ වැඩි වෙලාවක් නිරත වෙලා ඉන්නවා කියලා.
“විද්‍යාව කරමු” කියලා කියනකොට, ඒක අනන්‍යතාවයක් නෙවෙයි, ක්‍රියාවක් බවට පත්වෙනවා. ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් බවට පත්වෙනවා.
ාඹර වියේ දරුවන් සඳහා: අනාගත අනන්‍යතාවය ගැන කතා කරන්න
පොඩි දරුවන්ට අනන්‍යතාවය ගැන කතා කරන එක අහිතකර වුණත්, දරුවන් ටිකක් ලොකු වෙනකොට, ඒ කියන්නේ ාඹර වියට එනකොට, තත්ත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
නහඹර විය කියන්නේ දරුවන් තමන් කවුද, අනාගතයේ කවුරු වෙන්නද ඕන කියලා හොයන කාලයක්. එයාලා විවිධ අනන්‍යතා ගැන හිතනවා, ඒවා තමන්ට ගලපගන්න උත්සාහ කරනවා.
මේ කාලෙදී, “ඔයාට හොඳ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්” හෝ “ඔයා හොඳ විද්‍යාඥයෙක් වෙයි” වගේ අනන්‍යතාවය ඉලක්ක කරගත් දේවල් කියන එක, එයාලව උනන්දු කරවන්න පුළුවන්. එක අධ්‍යයනයකින් හොයාගත්තා, මේ වගේ අනාගත අනන්‍යතාවයක් ගැන කතා කරන එක, දරුවන්ව ගෙදර වැඩ කරන්න පොළඹවනවා වගේම, විභාග ලකුණු ඉහළ යන්නත් හේතු වෙනවා කියලා.
ඒකට හේතුව, තමන් වෙන්න කැමති පුද්ගලයා බවට පත්වෙන්න අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න එයාලා පෙළඹීමයි.
ඉතින්, දෙමව්පියන් විදිහට අපි මොකක්ද කරන්න ඕන?
මේ හැමදෙයින්ම අපිට පැහැදිලි වෙන්නේ, දරුවාගේ වයසට ගැලපෙන විදිහට අපි පාවිච්චි කරන වචන වෙනස් කරන්න ඕන කියන එකයි.
- පොඩි කාලෙදී (අවුරුදු 10ට අඩු): “විද්‍යාඥයෙක් වෙන්න” කියනවා වෙනුවට, “විද්‍යාව කරමු”, “අපි මේක හොයලා බලමු”, “මේක වැඩ කරන්නේ කොහොමද බලමු” වගේ ක්‍රියාවට මුල්තැන දෙන වචන පාවිච්චි කරන්න. දරුවා කරන දේ අගය කරන්න.
- නහඹර වියේදී (අවුරුදු 10න් පස්සේ): ඔවුන් විද්‍යාව සම්බන්ධ ක්‍රියාවල නිරත වෙන ගමන්, “ඔයාට මේ හැකියාවෙන් අනාගතයේ හොඳ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්” වගේ අනාගත අනන්‍යතා ගැනත් කතා කරන්න. ඒක එයාලට ඉලක්කයක් ලබා දේවි.
අවසානයේදී, අපිට ඕන අපේ දරුවන් ඉගෙනීමට, ගවේෂණය කිරීමට සහ තමන්ම දේවල් තේරුම් ගැනීමට කැමති වෙනවටයි. මේ දේවල් තමයි විද්‍යාවේ හදවත. අපි හරි වචන, හරි වෙලාවට පාවිච්චි කළොත්, ඒ කුතුහලය ජීවිත කාලයටම රඳවාගන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන්.
සයන්ටිෆික් ඇමරෙිකන් සඟරාව ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න