
ලොව ඉහළම මුදල් ත්‍යාගයක් සහිත විද්‍යා සම්මානය දිනාගැනීමෙන් පසුව, ප්‍රමුඛ පෙළේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකු වන ජෙරාඩ් ‘ට් හූෆ්ට්, නූතන විද්‍යාවේ අනාගතය සහ තමන්ගේ මතභේදාත්මක අදහස් ගැන කතා කරයි.
නූතන භෞතික විද්‍යාවේ දැවැන්තයන් අතර, ජෙරාඩ් ‘ට් හූෆ්ට් (Gerard ’t Hooft) යනු සුවිශේෂී චරිතයකි. නෙදර්ලන්තයේ යූට්‍රෙක්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු, අපේ යථාර්ථය ගොඩනැගී ඇති මූලික බලවේග පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කිරීමට දශක පහක් පුරා කටයුතු කර ඇත. ඔහුගේ නිහතමානී, මෘදු කතා විලාසය පිටුපස ඇත්තේ, නොබෙල් ත්‍යාගයක් ඇතුළු ලොව ඉහළම සම්මාන රැසකින් පිදුම් ලැබූ, විද්‍යා ලෝකයේ දැවැන්තයෙකුගේ ප්‍රඥාවයි.
මෑතකදී, ඔහු විද්‍යා ලෝකයේ වැඩිම මුදල් ත්‍යාගය වන, ඩොලර් මිලියන 3ක ” Breakthrough Prize” විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ, ඔහු භෞතික විද්‍යාවට කළ අතිමහත් සේවය වෙනුවෙනි.
ඔහුට 1999 දී නොබෙල් ත්‍යාගය හිමිවූයේ, අංශු භෞතික විද්‍යාවේ පදනම වන “සම්මත ආකෘතිය” (Standard Model) ගොඩනැගීමට අත්‍යවශ්‍ය වූ ගණිතමය ගැටලු විසඳීමට ක්‍රමයක් සොයාගැනීම වෙනුවෙනි. නමුත්, අද වන විට ඔහු, තමන්ගේ ක්ෂේත්‍රයේ ප්‍රධානම න්‍යායක් වන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (Quantum Mechanics) ගැන දැඩි ලෙස සැක පහළ කරයි.
නූතන භෞතික විද්‍යාවේ නිහඬ යුගයක්ද?
‘ට් හූෆ්ට්ට අනුව, අංශු භෞතික විද්‍යාව අද නිහඬ යුගයක පසුවන බව පෙනෙන්නට තිබේ. සම්මත ආකෘතිය කොතරම් සාර්ථක වීද යත්, විද්‍යාඥයන්ට ඉදිරියට යාමට පැහැදිලි මාවතක් සොයාගැනීමට අපහසු වී ඇත. නමුත් ඔහු ඒ ගැන කනස්සලු වන්නේ නැත.
“විද්‍යාවේ හැමදාම අලුත් සොයාගැනීම් ගලාගෙන එන්නෙ නෑ. සමහර කාලවලදී දේවල් නිහඬ වෙනවා. ඒක ස්වභාවිකයි,” ඔහු කියයි.
නමුත් ඔහුට අනුව, සැබෑ ප්‍රශ්නය ඇත්තේ සොයාගැනීම් අඩු වීම නොව, විද්‍යාඥයන්ගේ චින්තනය එක තැනක සිරවීමයි.
“නව පරම්පරාවේ විද්‍යාඥයන්ට මම කියන්න කැමතියි, කලබල වෙන්න එපා කියලා. ඇත්තටම අලුත් දෙයක් එළියට එන්නෙ නැත්තෙ හැමෝම එකම විදිහට හිතන නිසා! මම දැකලා තියෙනවා, හැම අවුරුද්දකම පර්යේෂණ පත්‍රිකා දහස් ගණනක් එළියට එනවා. ඒත් ඒ එකකවත් ඇත්තටම දේවල් වෙනස් කරන, අලුත්ම ආකාරයේ දීප්තිමත් අදහසක් නෑ.”
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන ‘ට් හූෆ්ට්ගේ විප්ලවීය අදහස
‘ට් හූෆ්ට් විශ්වාස කරන්නේ, භෞතික ලෝකය අවසානයේදී ඉතා සරල, තර්කානුකූල සහ “සම්භාව්‍ය” (classical) එකක් විය යුතු බවයි. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වටා ගොඩනැගී ඇති අද්භූත, ගුප්ත ස්වභාවයට ඔහු දැඩි ලෙස විරුද්ධ වේ.
“ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන ලියන ගොඩක් අය ඒක වටා අද්භූත, ආගමික වගේ හැඟීමක් තියාගන්න කැමතියි. මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියන්නේ, සාමාන්‍ය භෞතික බලපෑම් විස්තර කරන්න පාවිච්චි කරන ගණිතමය ක්‍රමයක් විතරයි.”
ඔහුගේ ප්‍රධානම විවේචනය වන්නේ, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අපට ලබා දෙන්නේ සංඛ්‍යානමය (statistical) පිළිතුරු පමණක් වීමයි. එය කිසිවිටෙක නියත පිළිතුරක් ලබා දෙන්නේ නැත.
ඔහු එය පැහැදිලි කිරීමට අපූරු උදාහරණයක් ගෙන එයි:
“හිතන්නකො ග්‍රෑන්ඩ් පියානෝ දෙකක් එකිනෙක ගැටෙනවා කියලා. අපිට හරියටම දත්ත තියෙනවා නම්, ඒ පියානෝ දෙකේ කොයි කම්බිය කොයි කම්බියෙ වදිනවද, ගැටුනට පස්සේ මොකද වෙන්නේ කියලා හරියටම ගණනය කරන්න පුළුවන්. ඒක තමයි සම්භාව්‍ය ලෝකය.
ඒත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව, මූලික අංශු දෙකක් ගැටෙනකොට, අපිට කියන්න පුළුවන් ‘මෙහෙම වෙන්න මෙච්චර සම්භාවිතාවක් තියෙනවා’, ‘අනිත් විදිහට වෙන්න මෙච්චර සම්භාවිතාවක් තියෙනවා’ කියලා විතරයි. ඒ අංශු දෙක හරියටම මොකක් කරයිද කියලා කියන්න බෑ. අපේ න්‍යායන් වල අඩුව තියෙන්නේ එතනයි.”
“උපරිස්ථාපනය” (Superposition) යනු විකාරයක්
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලිකම අදහසක් තමයි “උපරිස්ථාපනය” (superposition). ඒ කියන්නේ, එකම දෙයක් එකම වෙලාවේ තැන් දෙකක හෝ අවස්ථා දෙකක තියෙන්න පුළුවන් කියන එක.
‘ට් හූෆ්ට් කියන්නේ මේක සම්පූර්ණ විකාරයක් කියලයි. ඔහු අර්වින් ශ්‍රෝඩිංගර්ගේ ප්‍රසිද්ධ “පූසාගේ උදාහරණය” ගෙන එයි.
“ශ්‍රෝඩිංගර් ඇහුවේ හරි ප්‍රශ්නය. ‘මගේ පූසා මැරිලා ඉන්නත් පුළුවන්, ජීවත් වෙලා ඉන්නත් පුළුවන්. ඒත් එකම වෙලාවේ මැරිලත් ජීවත් වෙලත් ඉන්න පුළුවන්ද? ඒක විකාරයක්!’ ඔහු හරි. මිනිස්සු මැරුණු පූසෙකුයි, ජීවත්වෙන පූසෙකුයි එකට තියන්න පුළුවන් කියලා දිගටම කියන එක තේරුමක් නැති දෙයක්.”
ඔහුට අනුව, “උපරිස්ථාපනය” යනු යථාර්ථය විස්තර කිරීමට අප තවමත් අපොහොසත් නිසා, තාවකාලිකව භාවිතා කරන ගණිතමය උපක්‍රමයක් පමණි.
එසේනම් ක්වොන්ටම් පරිගණක ක්‍රියා කරන්නේ කොහොමද?
එසේනම්, “උපරිස්ථාපනය” සැබෑ සංසිද්ධියක් ලෙස භාවිතා කරන බව කියන ක්වොන්ටම් පරිගණක ගැන ඔහු කුමක් කියයිද?
‘ට් හූෆ්ට් විශ්වාස කරන්නේ, ක්වොන්ටම් තාක්ෂණයේ යෙදෙන අය පවා, ඔවුන් කරන්නේ කුමක්දැයි හරියටම වටහාගෙන නොමැති බවයි.
“ඔවුන් හිතනවා ඔවුන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව තේරුම් අරගෙන කියලා. මම හිතන්නේ, ඔවුන් ඇත්තටම කළ යුත්තේ, විස්තරයෙන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඉවත් කරලා, ඊට යටින් තියෙන මූලික, සරල, සම්භාව්‍ය යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන එකයි,” ඔහු කියයි.
ඔහුට අනුව, ක්වොන්ටම් පරිගණක වල නිතරම “දෝෂ” (errors) ඇතිවීමම, ඒ යටින් පවතින නියත, දෝෂ රහිත ලෝකයකට යාමට ඇති අවශ්‍යතාවය පෙන්නුම් කරයි.
විද්‍යාවේ ඉදිරි ගමනට ඔහුගේ උපදෙස
‘ට් හූෆ්ට්ගේ අවසාන පණිවිඩය සරලයි: විද්‍යාවේ ඉදිරියට යාමට නම්, අප මුලින්ම පියවරක් පස්සට ගත යුතුය.
“ඔබ යමක් තේරුම් ගැනීමට පෙර, පියවර කිහිපයක් පස්සට යන්න. සමහරවිට ඔබට මුලටම යන්න සිදුවේවි. ‘ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නොතිබුණා නම්, ඔබේ මූලික නියමයන් මොනවා විය හැකිද?’ කියා සිතන්න.”
ඔහු විශ්වාස කරන්නේ, සියවස් ගණනකට පෙර විද්‍යාඥයන් කළාක් මෙන්, අද දවසේ විද්‍යාඥයන්ද, පිළිගත් න්‍යායන් පවා ප්‍රශ්න කර, නිර්භීතව, වෙනස් ආකාරයකින් සිතීමට පටන් ගතහොත් පමණක්, භෞතික විද්‍යාවේ ඊළඟ මහා විප්ලවය සිදුවනු ඇති බවයි.
සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාව ජෙරාඩ් ‘ට් හූෆ්ට් සමඟ කළ සාකච්ඡාවක් අසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න