ඔබ වටා ඇති සියල්ල දෙස මොහොතක් හොඳින් බලන්න. ඔබ දකින සෑම දෙයක්ම – ගස් කොළන්, සතා සිවුපාවා, ගොඩනැගිලි, ඔබේ මුළු නිවස, ඔබේ නගරය සහ මුළු රටම – හිතින් මවාගත් විශාල යන්ත්‍රයකට දමා කුඩු කරනවා යැයි සිතන්න. ඒ සියල්ල කුඩු වී පොඩි බෝලයක් බවට පත් වේ.
දැන්, ඉතිරි ලෝකයත් ඒකටම දමන්න. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක සහ අපේ ඉරත් ඒකට එකතු කරන්න. ඊට පස්සේ, අපේ ගැලැක්සිය වන ක්ෂීරපථයත්, එහි ඇති බිලියන 200ක් පමණ වන අනෙක් තරුත්, අවසානයේ විශ්වයේ ඇති අනෙක් ගැලැක්සි බිලියන 125ත් ඒකටම දමන්න. මේ සියල්ල එකට තද වී, ගඩොල් කැටයක ප්‍රමාණයට, පසුව ටෙනිස් බෝලයකට, කඩල ඇටයකට, අවසානයේදී නැවතීමේ ලකුණ තිතටත් වඩා කුඩා වෙනවා යැයි සිතන්න.
එවිට, ඒ සියල්ල නොපෙනී යයි. ඒ සියලු තරු, ග්‍රහලෝක, සහ සඳවල් එකම එක, නොපෙනෙන තිතක් බවට පත් වේ. විශ්වය ආරම්භ වූයේ එලෙසයි – විද්‍යාඥයන් පවසන පරිදි, “ඒ්කීයතාවක්” (singularity) ලෙස හැඳින්වෙන, නොපෙනෙන තිතක් ලෙස.
මේ නොපෙනෙන, අධික බරකින් සහ ඝනත්වයකින් යුත් තිත, ඇතුළත සිරවී තිබූ ශක්තිය නිසා අධික ලෙස උණුසුම්ව සහ දැවැන්ත පීඩනයකින් යුක්ත විය. මීට වසර බිලියන 13.7කට පමණ පෙර, යම් දැවැන්ත දෙයක් සිදු විය.
ඒක පුපුරලා ගියා.
ඒක සාමාන්‍ය පිපුරුමක් නෙවෙයි. ඒක තමයි මෙතෙක් සිදුවුණු ලොකුම පිපුරුම. අපි අද ඒකට කියන්නේ “මහා පිපුරුම” (Big Bang) කියලා. ඊළඟට සිදුවූ දේ ඊටත් වඩා විස්මයජනකයි. තත්පරයකින් ඉතා කුඩා කොටසකදී, විශ්වය නොපෙනෙන තිතක සිට, අපට අද දකින්නට ඇති සියල්ල – පෘථිවිය, ඉර, හඳ, තරු හදන්න ඕන කරන හැම අංශුවක්ම – ඇතුළත් දැවැන්ත දෙයක් බවට ප්‍රසාරණය විය.
මේක ඇත්තක් කියලා විද්‍යාඥයන් දන්නේ කොහොමද?
මහා පිපුරුම සිදුවන විට එය දකින්න කිසිවෙක් සිටියේ නැහැ. එසේනම්, මෙවැනි දෙයක් ඇත්තටම සිදුවූ බවට විද්‍යාඥයන් එකඟ වන්නේ ඇයි? ඔවුන් පවසන්නේ, සාක්ෂි අප වටා සෑම තැනකම තිබෙන බවයි.
- ඈතට යන ගැලැක්සි: 1929 දී, එඩ්වින් හබල් (Edwin Hubble) නම් විද්‍යාඥයා, ප්‍රබල දුරේක්ෂයකින් බැලීමේදී, අනෙක් ගැලැක්සි අපෙන් ඈතට යන බව සොයා ගත්තා. ඔහු දුටුවේ, ඈතින්ම තියෙන ඒවා තමයි වේගයෙන්ම යන්නේ කියලයි. මෙයින් අදහස් වන්නේ, මුළු විශ්වයම තවමත් ප්‍රසාරණය වෙමින් පවතින බවයි. එසේනම්, අතීතයේ කවදාහරි දිනක, මේ සියල්ල එකම තැනක තිබී, යම් පිපුරුමකින් ඈතට විසිවී යන්නට ඇත.
- මහා පිපුරුමේ දෝංකාරය: කුණාටුවක ගිගුරුම් හඬ කඳු අතර දෝංකාර දෙනවා වගේ, මහා පිපුරුම කියන්නෙත් කොච්චර ලොකු පිපිරීමක්ද කියනවා නම්, ඒකේ දෝංකාරය තාමත් අපිට ඇහෙනවා. 1964 දී, විද්‍යාඥයන් දෙදෙනෙක්, තමන්ගේ රේඩියෝ දුරේක්ෂයට දිගින් දිගටම ඇහෙන අද්භූත ශබ්දයක් ගැන පරීක්ෂා කරමින් සිටියා. ඔවුන් හිතුවේ ඒ ළඟපාතක සිටින පරවියන්ගේ ශබ්දයක් කියායි. නමුත් පසුව ඔවුන්ට තේරුම් ගියා, ඒ ඔවුන්ට ඇසෙන්නේ මහා පිපුරුමේ දෝංකාරය බව. ඔබටත් මේ දෝංකාරය අත්විඳින්න පුළුවන්. ඔබේ රූපවාහිනිය හරියට ටියුන් කරලා නැති වෙලාවට පේන කළු සුදු පොඩි තිත් තියෙන්නේ? ඒ තිත් 100කින් එකක් හැදෙන්නේ මහා පිපුරුමේ දෝංකාරය නිසා!
විශ්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය
මහා පිපුරුමෙන් පසුව, දැවැන්ත ශක්තියක් මුදා හැරුණා. පළමුව, එය ගුරුත්වාකර්ෂණය නම් නොපෙනෙන මැලියම් වර්ගයක් බවට පත්වුණා. ඉන්පසු, ඒ ශක්තියෙන්, ලෙගෝ කෑලි වැනි, කුඩා ගොඩනැගිලි අංශු බිලියන ගණනක් නිර්මාණය වුණා. අද පවතින සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ, ඒ මහා පිපුරුමෙන් පසුව ඇතිවූ අංශු වලින්.
වසර 300,000කට පමණ පසුව, විශ්වය ප්‍රමාණවත් තරම් සිසිල් වූ විට, මේ අංශු එකට එකතු වී පරමාණු හැදුණා. කාලයත් සමඟ, ගුරුත්වාකර්ෂණ මැලියම් නිසා මේ පරමාණු එකතු වී, දැවැන්ත දූවිලි වළාකුළු සෑදුණා. ඒ වළාකුළු වලින්, පළමු තරු බිහිවුණා. ඒ තරු එකට එකතු වී, අපි ගැලැක්සි ලෙස හඳුන්වන තරු පොකුරු සෑදුණා. අපේ ක්ෂීරපථ ගැලැක්සිය සෑදී ඇත්තේ මීට වසර බිලියන 13.6කට පෙරයි.
අපි හැමෝම තරු දූවිලි වලින් හැදිලා තියෙන්නේ. අපේ ඉර කියන්නේ සාපේක්ෂව අලුත් තරුවක්. එය සෑදී ඇත්තේ, මීට පෙර පැවති තරු පිපිරී යාමෙන් (සුපර්නෝවා – supernova) ඉතිරි වූ වායු සහ දූවිලි වලින්. පළමු පරම්පරාවේ තරු වල තිබුණේ හයිඩ්‍රජන් සහ හීලියම් වැනි සරල වායු පමණයි. නමුත් සුපර්නෝවා පිපිරීම් වලදී, පරමාණු එකට ගැටී, යකඩ, ඔක්සිජන්, සහ කාබන් වැනි බර මූලද්‍රව්‍ය නිර්මාණය වෙනවා. පෘථිවිය වැනි ග්‍රහලෝක සහ ජීවය ගොඩනැගීමට මේ මූලද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ, අපි හැමෝගෙම ශරීරවල තියෙන්නේ, ඒ පුපුරලා ගිය තරු වලින් ඉතිරි වුණු දේවල්. අපි හැමෝම තරු දූවිලි වලින් හැදිලා තියෙන්නේ.
පෘථිවියේ සහ සඳේ දරුණු උපත
මීට වසර බිලියන 4.6කට පෙර අපේ සෞරග්‍රහ මණ්ඩලය සෑදෙන විට, එය හරිම භයානක තැනක් විය. ඉරෙන් නිකුත් වූ “සූර්ය සුළඟ” නම් තියුණු කුණාටුවක් වැනි අංශු ප්‍රවාහයක් නිසා, සෞරග්‍රහ මණ්ඩලය තුළ කිසිම ජීවයකට හටගන්නට ඉඩක් තිබුණේ නැහැ.
ඒ කාලයේ පෘථිවිය තිබුණේ, උණු වූ ලාවා ගංගා ගලන, ගිනියම් අපායක් ලෙසයි. දවසක් පැය හතරක් තරම් කෙටි විය.
ඊළඟට සිදුවූයේ අහඹු සිදුවීමකි. පෘථිවිය සහ තීයා (Theia) නම් තවත් තරුණ ග්‍රහලෝකයක් එකම කක්ෂයක ගමන් කරමින්, එකිනෙක ගැටුණා. එය මහා විනාශයක් විය. ගැටුමෙන් පසුව, තීයා ග්‍රහලෝකයේ කොටස් පෘථිවිය වටා ඝන දූවිලි වළාවක් ලෙස එකතු විය.
නමුත් මේ මහා ගැටුම, පෘථිවියේ ජීවය බිහිවීමට හේතු විය.
- චුම්බක පලිහ: ග්‍රහලෝක දෙකේම යකඩ හරයන් එකට එකතු වී, පෘථිවියට ප්‍රබල චුම්බක පලිහක් (magnetic shield) ලැබුණා. මෙම පලිහ, අර භයානක සූර්ය සුළඟින් අපව ආරක්ෂා කරයි.
- සඳේ උපත: පෘථිවිය වටා එකතු වූ දූවිලි හා පාෂාණ, ගුරුත්වාකර්ෂණය නිසා එකතු වී, අපේ සඳ නිර්මාණය විය.
ගැටුමෙන් පසුව පාලනයකින් තොරව ගැහෙමින් තිබූ පෘථිවිය ස්ථාවර කිරීමට සඳේ ගුරුත්වාකර්ෂණය උදව් විය. එය පෘථිවියේ භ්‍රමණය මන්දගාමී කර, පැය හතරේ දිනය, පැය විසිහතරේ දිනය බවට පත් කළේය. අයිස් මත ලිස්සා යන දෙන්නෙක් අත් අල්ලාගෙන එකිනෙකාට සමබරව රවුම් කරකැවෙනවා වගේ, එදා සිට අද දක්වා, පෘථිවිය සහ සඳ එකට බැඳී, ඉර වටා ගමන් කරයි.
ක්‍රිස්ටෝපර් ලොයිඩ්ගේ What on Earth Happened ?කෘතිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න