NASA ආයතනයේ Perseverance රෝවරය විසින් අඟහරු ග්‍රහයා මත පුරාණ ජීවය පැවති බවට සැලකිය හැකි ප්‍රබල සාක්ෂියක් සොයාගෙන ඇත. මීට වසර බිලියන ගණනකට පෙර විලක පතුලේ නිර්මාණය වූ රතු පැහැති පාෂාණ සාම්පලයක තිබී මෙම විභව ජීව සංඥාව (potential biosignature) හමුවී තිබේ. 🚀
මෙය පෘථිවියේ අසල්වැසියා මත වරෙක ජීවය පැවතියේද යන්න පිළිබඳව මෙතෙක් ලැබී ඇති හොඳම සාක්ෂිවලින් එකක් ලෙස විද්‍යාඥයෝ සලකති. කෙසේ වෙතත්, මෙම සාක්ෂියට පාදක වූ ඛනිජ වර්ග අජීවී ක්‍රියාවලීන් හරහාද සෑදිය හැකි බැවින්, මෙය ජීවය පිළිබඳ අවසන් නිගමනය නොවන බවද ඔවුහු අවධාරණය කරති.
තීරණාත්මක සොයාගැනීම
2021 වසරේ සිට අඟහරුගේ ජෙසෙරෝ ආවාටය (Jezero Crater) ගවේෂණය කරන Perseverance රෝවරය, මෙම සුවිශේෂී පාෂාණ සාම්පලය ලබාගෙන ඇත්තේ ‘Cheyava Falls’ ලෙස නම් කළ පාෂාණයකිනි. ‘Sapphire Canyon’ ලෙස නම් කර ඇති මෙම සාම්පලය, වසර බිලියන 3.2ත් 3.8ත් අතර කාලයකට පෙර ජෙසෙරෝ ආවාටය ජලයෙන් පිරුණු විලක්ව පැවති සමයේ නිර්මාණය වූවකි.
Nature සඟරාවේ පළවූ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන, ස්ටෝනි බෘක් විශ්වවිද්‍යාලයේ ජොයෙල් හුරොවිට්ස් පවසන්නේ මෙය “විභව ජීව සංඥාවක්” බවයි. NASA ආයතනයේ වැඩබලන පරිපාලක ෂෝන් ඩෆී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, “අපට වෙනත් පැහැදිලි කිරීමක් සොයාගත නොහැකි වූ නිසා, මෙය අඟහරු මත අප මෙතෙක් සොයාගත් පැහැදිලිම ජීව ලකුණ විය හැකියි,” යනුවෙනි.
‘ජීව සංඥාවක්’ යනු කුමක්ද?
ජීව සංඥාවක් යනු ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් නිසා ඇතිවූවක් විය හැකි යම් ද්‍රව්‍යයක් හෝ ව්‍යුහයකි. නමුත්, ජීවය පැවති බවට හෝ නොපැවති බවට අවසන් නිගමනයකට ඒමට පෙර තවත් දත්ත සහ අධ්‍යයනයන් අවශ්‍ය වේ.
NASA විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිකී ෆොක්ස් අවධාරණය කළේ ඔවුන් සජීවී පැවැත්මමක් සොයාගත් බවට ප්‍රකාශ නොකරන බවයි. “මෙය ජීවයම නොවේ,” ඇය පැවසුවාය.
විද්‍යාත්මක සාක්ෂි සහ පැහැදිලි කිරීම
රෝවරය විසින් කරන ලද විශ්ලේෂණයේදී, ප්‍රධාන ඛනිජ වර්ග දෙකක් හඳුනාගෙන ඇත. ඒවා නම් විවියනයිට් (vivianite) (යකඩ සහ පොස්පරස් අඩංගු) සහ ග්‍රේගයිට් (greigite) (යකඩ සහ සල්ෆර් අඩංගු) ය.
පෘථිවිය මත, මෙවැනි ඛනිජ වර්ග බොහෝවිට නිර්මාණය වන්නේ විලක පතුලේ ඇති මඩවල කාබනික ද්‍රව්‍ය සහ රසායනික සංයෝග අතර සිදුවන ප්‍රතික්‍රියා නිසාය. මෙම ප්‍රතික්‍රියා බොහෝ විට මෙහෙයවනු ලබන්නේ ක්ෂුද්‍රජීවීන්ගේ (microbes) ක්‍රියාකාරීත්වය මගිනි.
විද්‍යාඥ හුරොවිට්ස් පැහැදිලි කරන පරිදි: “ක්ෂුද්‍රජීවීන් මෙම පරිසරවල ඇති කාබනික ද්‍රව්‍ය පරිභෝජනය කරන අතර, ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ අතුරුඵල ලෙස මෙම නව ඛනිජ වර්ග නිපදවයි.”
මෙම පාෂාණයේ කාබනික කාබන්, සල්ෆර්, පොස්පරස් සහ ඔක්සිකරණය වූ යකඩ (මලකඩ) බහුලව ඇති බව රෝවරයේ උපකරණ මගින් සොයාගෙන ඇත. මෙම රසායනික සංයෝග එකතුව ක්ෂුද්‍රජීවී පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා පොහොසත් ශක්ති ප්‍රභවයක් වන්නට ඇතැයි සැලකේ.
විද්‍යාඥයින් ප්‍රවේශම් වන්නේ ඇයි?
මෙම සොයාගැනීම අතිශයින්ම උද්වේගකර වුවත්, එය ජීවය පිළිබඳ සාක්ෂියක් ලෙස ස්ථිරවම ප්‍රකාශ කළ නොහැක්කේ, ජීවීන්ගේ මැදිහත්වීමකින් තොරව සිදුවන රසායනික ක්‍රියාවලි මගින්ද මෙවැනි ඛනිජ වර්ග සෑදිය හැකි බැවිනි. “රෝවරයේ දත්ත පමණක් පදනම් කරගෙන එම අජීවී ක්‍රියාවලීන් සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකියි,” හුරොවිට්ස් පවසයි.
අනාගතය සහ අභියෝග
මෙම සොයාගැනීමේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ අදාළ පාෂාණ සාම්පලය පෘථිවියට ගෙන්වාගෙන මෙහි ඇති දියුණු විද්‍යාගාර තුළ පරීක්ෂා කිරීමයි.
කෙසේ වෙතත්, NASA ආයතනයේ අඟහරු සාම්පල නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම (Mars Sample Return mission) සඳහා වත්මන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අයවැය යෝජනාව මගින් ප්‍රතිපාදන අවලංගු කර ඇත. මේ නිසා, සාම්පල නැවත ගෙන්වා ගැනීමට හෝ අඟහරු මතදීම වැඩිදුර විශ්ලේෂණයන් සිදු කිරීමට විකල්ප ක්‍රම සොයමින් සිටින බව NASA ආයතනය පවසයි.
මෙම සොයාගැනීම, අඟහරු මත වරෙක ජීවය පැවතියේද යන්න පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ ගමනේ වැදගත් සන්ධිස්ථානයකි. අවසන් පිළිතුර ලැබෙන තෙක් ලෝකයම බලා සිටිනු ඇත.





ප්‍රතිචාරයක් ලබාදෙන්න