රටවල් තුනක මිලියන 15කට ආසන්න ජනගහනයක් යොදාගෙන සිදුකළ විශ්ලේෂණයකට අනුව, අඹුසැමියන් අතර බොහෝවිට එකම මානසික රෝග විනිශ්චයන් පවතින බව සොයාගෙන ඇත.

යම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු, එවැනි රෝගයක් නොමැති අයෙකුට වඩා එම රෝගයෙන්ම පෙළෙන වෙනත් අයෙකු සමඟ විවාහ වීමට වැඩි ඉඩක් ඇති බව දැවැන්ත අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙම රටාව සංස්කෘතීන් සහ පරම්පරා ගණනාවක් පුරා පවතින බව එම අධ්‍යයනයෙන් හළෙිදරව් වේ.
පර්යේෂකයන් මීට පෙර නෝර්ඩික් රටවල මෙම ප්‍රවණතාව නිරීක්ෂණය කර තිබුණද, මෙම සංසිද්ධිය යුරෝපයෙන් පිටතදී විමර්ශනය කර ඇත්තේ ඉතා කලාතුරකිනි.
Nature Human Behaviour සඟරාවේ ගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද මෙම නවතම අධ්‍යයනය සඳහා තායිවානය, ඩෙන්මාර්කය සහ ස්වීඩනයේ මිලියන 14.8 කට අධික ජනතාවකගේ දත්ත භාවිතා කර ඇත. එම ජෝඩු අතර භින්නෝන්මාදය (schizophrenia), ද්විධ්‍රැවීය රෝගය (bipolar disorder), විශාදය (depression), කාංසාව (anxiety), අවධානය අඩුකමේ අධි ක්‍රියාකාරීත්වයේ රෝගය (ADHD), ඕටිසම් තත්ත්වය (autism), අනිවාර්යය ග්‍රස්තිමය රෝගය (OCD), මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත රෝගය (substance-use disorder) සහ ඇනරෙක්සියා නර්වෝසා (anorexia nervosa) යන මනෝ ව්‍යාධි නවයෙන් එකක් පැවති පුද්ගලයින්ගේ අනුපාතය මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණි.
මිනිසුන්ට මානසික රෝග ඇතිවීමට හේතු පිළිබඳව විද්‍යාඥයින්ට නිශ්චිත අවබෝධයක් නොමැති නමුත්, ජානමය සහ පාරිසරික සාධක දෙකම මෙයට බලපාන බව විශ්වාස කෙරේ.
එක් සහකරුවෙකුට මෙම රෝග නවයෙන් එකක් ඇති බවට රෝග විනිශ්චය කළ විට, අනෙක් සහකරුට ද එම හෝ වෙනත් මානසික රෝගයක් ඇති බවට හඳුනාගැනීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස වැඩි බව පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත. සහකරුවන්ට විවිධ රෝග පැවතීමට වඩා එකම රෝගය පැවතීමට වැඩි ඉඩක් ඇති බව, මෙම අධ්‍යයනයේ සම-කර්තෘ, ඕක්ලහෝමා හි ටුල්සා හි ලෝරියේට් මොළ පර්යේෂණ ආයතනයේ ජනගහන සහ ජාන පර්යේෂකයෙකු වන චුන් චියේ ෆෑන් පවසයි.
“ප්‍රධාන ප්‍රතිඵලය නම් මෙම රටාව රටවල්, සංස්කෘතීන් සහ, ඇත්ත වශයෙන්ම, පරම්පරා ගණනාවක් පුරා පැවතීමයි,” ෆෑන් පවසයි. පසුගිය වසර 50 තුළ මානසික සෞඛ්‍ය සේවාවේ සිදු වූ වෙනස්කම් නිසා පවා මෙම ප්‍රවණතාව වෙනස් වී නොමැති බව ඔහු සඳහන් කරයි.
ලොව පුරා විවිධ රටාවන් පෙන්නුම් කළේ අනිවාර්යය ග්‍රස්තිමය රෝගය (OCD), ද්විධ්‍රැවීය රෝගය සහ ඇනරෙක්සියා නර්වෝසා පමණි. උදාහරණයක් ලෙස, නෝර්ඩික් රටවලට සාපේක්ෂව තායිවානයේ විවාහක ජෝඩු අතර OCD තත්ත්වය බෙදාගැනීමේ සම්භාවිතාව වැඩි විය.
මෙම අධ්‍යයනය 1930 ගණන්වල සිට 1990 ගණන් දක්වා දස අවුරුදු කාල පරාසයන් ඔස්සේ පුද්ගලයන් උපන් වර්ෂ කාණ්ඩවලට වෙන් කරන ලදී. බොහෝ රෝග සඳහා, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත රෝග ඇති අය සඳහා, දශකයෙන් දශකයට සහකරුවන් අතර රෝග විනිශ්චයක් බෙදාගැනීමේ සම්භාවිතාව සුළු වශයෙන් වැඩි වී තිබේ.
මෙම ප්‍රවණතාවට හේතුව කුමක්ද? 🤔
මෙම සංසිද්ධියට හේතුව කුමක්දැයි අධ්‍යයනයෙන් විමර්ශනය නොකළද, එය පැහැදිලි කිරීමට න්‍යායන් තුනක් උපකාරී විය හැකි බව ෆෑන් පවසයි.

  • සමානකමට ආකර්ෂණය වීම: මිනිසුන් තමන්ට සමාන අයට ආකර්ෂණය විය හැකිය. “සමහරවිට ඔවුන් එකම ආකාරයේ දුක් වේදනා අත්විඳින නිසා එකිනෙකා හොඳින් වටහා ගන්නවා විය හැකියි, එනිසා ඔවුන් එකිනෙකාට ආකර්ෂණය වෙනවා,” ඔහු පවසයි.
  • පාරිසරික බලපෑම: හවුල් පරිසරයක් නිසා හවුල්කරුවන් එකිනෙකාට සමාන විය හැකිය – මෙය අභිසාරී වීම (convergence) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකි.
  • සමාජ අපවාදය: මානසික රෝගයක් පැවතීම හා සම්බන්ධ සමාජ අපවාදය නිසා පුද්ගලයෙකුට සහකරුවෙකු තෝරාගැනීමේ අවස්ථා සීමා වේ.
    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සක ජාන විද්‍යාඥවරියක වන ජෑන් ෆුලර්ටන් පවසන්නේ, සමාජීය සහ පාරිසරික පීඩනයන්, විශේෂයෙන්ම මෘදු, රෝග විනිශ්චය නොකළ රෝග ලක්ෂණ තිබූ සහකරුවෙකුට, නව රෝග විනිශ්චයකට දායක විය හැකි බවයි.
    මානසික රෝග වර්ධනය වීමට ජාන විද්‍යාව ද සම්බන්ධ වන නිසා, සමාන මානසික රෝග ලක්ෂණ ඇති සහකරුවෙකු තෝරාගැනීමේ ප්‍රවණතාව පසු පරම්පරාවල එවැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බව ෆුලර්ටන් පවසයි.
    එකම රෝගයෙන් පෙළෙන දෙමව්පියන් දෙදෙනෙකුටම දාව උපදින දරුවන්ට, එක් දෙමව්පියෙකු පමණක් රෝගී වූ දරුවන්ට වඩා එම තත්ත්වය වර්ධනය වීමේ සම්භාවිතාව දෙගුණයක් බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
    ඕස්ට්‍රේලියාවේ මෙන්සීස් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සංඛ්‍යානමය ජාන විද්‍යාඥයෙකු වන විලියම් රේ පවසන්නේ, මනෝ වෛද්‍යවරුන් විසින් රෝගීන්ට මානසික සෞඛ්‍ය ආබාධවල ජානමය අවදානම් පිළිබඳව සන්නිවේදනය කරන ආකාරය වෙනස් කිරීමට පෙර තවත් පර්යේෂණ අවශ්‍ය බවයි.
    නමුත් ඉන්දියාවේ රජිව් ගාන්ධි ජෛව තාක්‍ෂණ මධ්‍යස්ථානයේ අණුක ජාන විද්‍යාඥයෙකු වන මොයිනැක් බැනර්ජි ප්‍රකාශ කරන්නේ, එකම මානසික රෝගයක් ඇති අයෙකු සමඟ විවාහ වීමේ අවදානම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් නොවිය හැකි බවයි. එනම්, ජානමය අවදානම් පිළිබඳව ජෝඩු සඳහා උපදේශනය ලබා දීමේදී මෙම ප්‍රතිඵල ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
  • Nature සඟරාව, මෝහනා බාසු | 2025 සැප්තැම්බර් 3

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending